සැබෑ වූ සිහිනයක පෙර දැක්ම | දිනමිණ

සැබෑ වූ සිහිනයක පෙර දැක්ම

අලුත උපදින මාතර-කතරගම දුම්රිය මාර්ගය

යටත් විජිත සමයෙන් ලාංකිකයාට ලැබුණු වටිනාම දායාදය දුම්රථ සේවය ලෙස හකුලුවා ගතහොත් ඊට උරණ වන්නකු සිටී යැයි සිතිය නොහැකිය. අති දුෂ්කර මාර්ග පද්ධතියක් සමඟ ගමනාගමනයට මහත් වෙහෙසක් දැරූ සිලෝන් වැසියෝ දුම්රථ සේවාව ලැබුවේ බෝනසයක් ලෙස ය. කොළඹ-නුවර පළමු දුම්රිය මාර්ගය තැනෙන්නේ බ්‍රිතාන්‍යයන්ට කෝපි ප්‍රවාහනයේ පහසුව පිණිසය. ඒ 1864 දීය. එහෙත් 1871 වන විට කෝපි වගාව මරාගෙන තේ උත්පාදනය විය. තේ ප්‍රවාහනය පිණිස තවත් අලුත් දුම්රිය මං තැනෙන්නට විය. රබර් සහ සෙසු වගාවන් ව්‍යාප්ත වීමත් සමඟ රට වටා රේල් මාර්ග තැනුණි. එහෙත්

නිදහසින් පසුව, මේ වනතෙක්ම නව දුම්රිය මාර්ග තැනීමට අපොහොසත් වීමේ ලැජ්ජාව අප දරා ගත යුතු විය. එහි සීමාවෙන් පැන මිය යාමට ඔන්න-මෙන්න කියා තිබියදී ය මාතර-කතරගම නව දුම්රිය මාර්ගය තැනෙන්නේ.

එහි සම්පූර්ණ දිග කිලෝමීටර් 127කි. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක නව දුම්රිය මාර්ගයේ පළමු වැන්න වූ මාතර-බෙලිඅත්ත මාර්ගය 2019 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතය. දැනට එහි වැඩකටයුතු 90%ක් අවසන්ය. මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 27කි.

දෙවැන්නේ දිග කිලෝමීටර් 48ක් වන අතර එය තැනෙන්නේ බෙලිඅත්තේ සිට හම්බන්තොට තෙක්ය. තෙවැන්න හම්බන්තොට සිට කතරගමට තැනෙන අතර ඒ මාර්ගයේ දිග කිලෝමීටර් 39.5කි. මේ සුවිශාල ව්‍යාපෘතියට ඩොලර් මිලියන 278.2 ක් ණය ආධාර ලෙස ලබා දී ඇත්තේ චීනයේ ඇක්සිම් බැංකුව විසිනි.

එමෙන්ම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීනයේ ජාතික යන්ත්‍රෝපකරණ ආනයන හා අපනයන සංස්ථාව (සී.එම්.සී) දරනු ලබයි.

මාතර-කතරගම දුම්රිය මාර්ගය තැනීමේ සැලසුම පළමුව ක්‍රියාත්මකව ඇත්තේ 2006 දී මුත් අදාළ ඇස්තමේන්තුගත මුදල ලබා ගැනීමේ අපහසුතා මැද එහි ඉදිකිරීම් කටයුතු නතර වී තිබේ. විශාල කාලයක් මුළුල්ලේ අකර්මණ්‍යව පැවැති සැලසුම නැවත පණ ගැන්වී ඇත්තේ චීන ණය ආධාර ලැබීමත් සමඟය.

දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු සඳහා ලාංකික සේවකයන් 1500 ට ආසන්න සංඛ්‍යාවක් සහ චීන ජාතිකයන් 200 ට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියැළෙති. විශේෂයෙන්ම මෙහි සේවයේ නියතු ලාංකිකයන්ට ලැබෙන අත්දැකීම් සහ පුහුණුව නිසා යළි දුම්රිය මාර්ගයක් තැනීමේ කටයුත්තකදී එය ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉදිකිරීමට පහසු වනු ඇත.

මාතර සිට බෙලිඅත්තට තැනෙන දුම්රිය මාර්ගයේ ලංකාවේ දිගම උමඟ ඉදිවීම ද සුවිශේෂී ය. එය මීටර් 615 ක දිගකින් යුක්තය. නාකුටියේ ඉදිකර ඇති එම උමග අනාගතයේදී අයත් වන්නේ කැකුණදුර දුම්රිය පොළටය. එසේම දිගම දුම්රිය පාලම ඉදිවන්නේද මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වත්තේගම ආසන්නයේය. එහි දිග කිලෝ මීටර් 1.5කි. යුහුසුළුව ඉදිකෙරෙන දිගම පාලමේ සේවයේ නියතු චීන සහ ලාංකික සේවකයන් කාර්යක්ෂමතාව යනු කුමක්දැයි නිහඩ පාඩමක් කියා දෙන්නාක් බදු ය. රේල් පාරේ කළු ගල් ඇතිරීමේ සිට රේල් පීලි පෑස්සීම තෙක් එක සීරුවට කෙරෙන රාජකාරි සමූහය අති මහත්ය.

ඔවුන් සුළු දේ කෙරෙහි දක්වන සැලකිල්ල ද සාර්ථක සහ කල්පවත්නා ව්‍යාපෘතියක ස්ථීරභාවය කෙරෙහි විශ්වාසයක් ඇති කරවයි.

කිලෝ මීටර් 115ක් දිග සම්පූර්ණ දුම්රිය මාර්ගයට අයත් දුම්රියපොළ හයකි. ඒවා පිළිවෙළින් සඳහන් කළ විට කැකුණදුර, බඹ‍රැන්ද, වැවුරුකන්නල සහ බෙලිඅත්ත වන අතර උප ප්‍රධාන දුම්රිය මාර්ග ලෙස පිලදූව සහ වෙහෙරහේන යි.

චීන සී.එම්.සී සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු උපදේශක පද්මසිරි හල්ඕවිට මහතා ඉදිකෙරෙමින් පවතින නවීන දුම්රිය මාර්ගය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

‘මාතර-කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර තව මාස හයකින් හදලා ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සැප පහසුවට කොළඹ ඉදන් බෙලිඅත්තටම කෝච්චියේ එන්න, ඊට පස්සේ මගීන්ට පුළුවන්. අදියර තුනම හදලා ඉවර කළාම කතරගම වන්දනා කරන්න යන්න බැතිමතුන්ට ලොකු පහසුවක් වේවි කියලා අපි හිතනවා. ලංකාවේ දුම්රිය මාර්ගයක ඉදිකරලා තියෙන උමං මාර්ග අතරින් දිගම උමං මාර්ගය විදිහට නාකුටිය උමග ඉතිහාසෙට එකතු වෙනවා. ඒක විශේෂ කාරණයක් විදිහට කියන්න පුළුවන්.’

සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගවීම සෑම සාර්ථක ව්‍යාපෘතියකම දියුණු බව පෙන්වීමේ කැඩපතකි.

තුෂාර ගුණරත්න මහතා සී.එම්.සී සමාගමේ සේවක ආරක්ෂාව සහතික කිරීම ගැන පවසන්නේ මෙවැන්නකි.

‘අලුතින් වැඩට එන කම්කරුවන්ට රේල්පාරේ වැඩ කරන විදිහ ගැන ලොකු අවබෝධයක් නෑ. මේක ලංකාවෙ කරගෙන යන අලුත්ම දුම්රිය ව්‍යාපෘතියක් නිසා වැඩකරන විදිහෙ වෙනස්කම් ගොඩක්තියෙනවා. ඒ වගේම අනතුරු වෙන්න තියෙන සම්භාවිතාවත් ටිකක් වැඩියි. ඒ නිසා සයිට් එකේ වැඩ කරන්න කලින් ඔ‍ෆිස් එකට ගෙන්නලා පෙරපුහුණුවක් දෙනවා. එයාලගේ ක්‍රියාකාරකම් ගැනයි අපි මුලින්ම අවබෝධයක් ලබා දෙන්නේ. ආරක්ෂිතව සේවය කරන්නෙ කොහොමද, අනතුරක් වලක්වා ගන්නෙ කොහොමද වගේ දේවල් ගැන පූර්ණ අවබෝධයක් දීලා තමයි සයිට් එකේ වැඩ කරන්න පටන් ගන්න යොමු කරන්නේ. ඒක සේවකයන්ගෙ පැත්තෙන් වගේම සමාගමේ පැත්තෙනුත් හරිම වැදගත් දෙයක් කියලයි අපි විස්වාස කරන්නේ.’

ජානක චමින්ද මහතා සී.එම්.සී සමාගමේ රසායනාගාර ඉංජිනේරුවරයා ය. ඔහුගේ කාර්යභාරය ව්‍යාපෘතියේ භාවිත වන සියලුම අමුද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කිරීමයි.

‘අපි කරන්නේ මේ ව්‍යාපෘතියට පාවිච්චි කරන්න ගේන සියලුම අමුද්‍රව්‍ය හරි ප්‍රමිතියට තියෙනවද කියලා පරීක්ෂා කරන එක. කොන්ක්‍රීට්වල තත්ත්ව පරීක්ෂාවේ ඉදන් සෑම සියලු දෙයක්ම රසායනාගාර පරීක්ෂාවකට ලක් කරනවා. මේ රේල්වේ ප්‍රොජෙක්ට් එක විශේෂයි. ඒකට හේතුව මේ ප්‍රොජෙක්ට් එකේ දි අපි පරීක්ෂා කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය ගොඩක් වැඩියි. අනිත් ව්‍යාපෘතිවලට සාපේක්ෂව ඒකට අදාළ රසායනාගාර පරීක්ෂණ ගාණත් ගොඩක් වැඩියි. හේතුව ලංකාවෙ පළවෙනි වතාවට තමයි අලුත් දුම්රිය මාර්ගයක් හැදෙන්නේ.

සාමාන්‍යයෙන් අනෙක් ව්‍යාපෘතිවලදි ඒවාට කෙරෙන්න ඕනා වැඩ ලැයිස්තුවක් අපි ළඟ තියෙනවා. ඒත් අලුත් දුම්රිය ව්‍යාපෘතියට අදාළව, කලින් පාවිච්චි කරපු වැඩ ලැයිස්තුවක් අපි ළඟ නැහැ. ඒ නිසා අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු ප්‍රමිති ඔක්කෝම සලකලා බලලා තමයි ඒ වැඩ ලැයිස්තුව හැදුවේ. සියලු පහසුකම් සහිත රසායනාගාරයක් අපිට තියෙනවා.’

කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්. අබේගුණවර්ධන මහතා දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ සේවය කරන ඉදිකිරීම් සේවකයෙකි.

මේ ඔහුගේ අත්දැකීම්ය.

‘ඉදිකිරීම් ව්‍යාපෘතියක මම වැඩ කරන පළවෙනි වතාව මේක. මම කලින් වැඩ කළේ රියදුරෙක් විදිහට. මේකත් එක්ක බැලුවම ඒ රස්සාව සෑහෙන්න දුෂ්කරයි. නියමිත වෙලාවකට ඕෆ් වෙලා හවසට ගෙදර යන්න ලැබෙන්නෙ නෑ. ඒ වුණාට මේ ව්‍යාපෘතියේ වැඩ කරනකොට නියමිත වෙලාවකට වැඩට එන්න - ඕෆ් වෙන්න පුළුවන්. ඒක මට ලොකු උදව්වක්. දැන් නම් වැඩ ටිකක් අඩුයි. ඕ.ටී. කරන්න ලැබෙන කාලය ටිකක් අඩුයි. මොකද අපේ ප්‍රොජෙක්ට් එක දැන් ඉවර වෙන්න ළඟයි. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක්ක මට ආයෙත් ඉදිකිරීම් ව්‍යාපෘතියක රස්සාවක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි කියලා විස්වාසෙකුත් තියෙනවා.

මුල් දවස්වල අපිට චීන භාෂාව කතා කරන්න බැරි එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණා. චීන නිලධාරීන් එක්ක කතා කරන්න අපිට පොදු භාෂාවක් තිබ්බෙ නෑ. ඒ නිසා ඒ අය කියන දේවල් අපිට තේරුණේ නෑ. අපි කියන දේවල් ඒ අයට තේරුණෙත් නෑ. ඒත් ටික කාලයක් ගිහිල්ලා මම ඒ ප්‍රශ්නෙ විසදාගත්තා. ගූගල් ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරලා මට කියන්න ඕන දේවල් ඊට පස්සේ කියන්න පුරුදු වුණා. දැන් ඉතිං තාක්ෂණය පාවිච්චි කරන්න දන්න නිසා භාෂා ප්‍රශ්නෙත් විසඳාගත්තා.’

ඩබ්ලිව් දිසානායක මහතා ද මේ ව්‍යාපෘතියේ වසර හතරක් මුළුල්ලේ සේවය කරන කම්කරුවෙකි. ඔහු 56 වියැතිය. මහලු වුවත් ශක්තිවන්තව වැඩ කිරීමේ හැකියාව ඇති දිසානායක පැවසුවේ මෙවැන්නකි.

‘අවුරුදු හතරක් තිස්සේ රේල් පාර හදන ප්‍රොජෙක්ට් එකේමම වැඩ කරනවා. අපිට හොඳට ගෙවනවා. ඒ නිසා සතුටින් වැඩ කරගෙන යනවා’

අති නවීන දුම්රිය මාර්ගය සැකැස්මට අනුව වැඩි දියුණු කළ දුම්රියපොළක්, ස්වයංක්‍රීය ටිකට් මැෂින් යන්ත්‍ර, සේවක නවාතැන් සඳහා තට්ටු නිල නිවාස, සුඛෝපභෝගී සුපිරි වෙළෙඳ පොළ සංකීර්ණයක් ද ඉදිවෙමින් පවතී. මේ අනුව මාතර-කතරගම නව දුම්රිය මාර්ගය සමඟ දුම්රිය සංස්කෘතියේ නව පි‍ටුවක් පෙ‍රැළෙන බවට සැකක් නැත. වසර 160ට ආසන්න දුම්රිය ගමනාගමන ඉතිහාසයේ දිගු අනාගත පිම්මක් පැනීමේ අභිලාශය තවත් නව දුම්රිය මාර්ග බොහොමයක් ඉදිකිරීමේ නව සැලසුම් තැනීමට හේතු විය යුතුය.

 

කාංචනා අමිලානි
ඡායාරූප - සුසන්ත විජේගුණසේකර

නව අදහස දක්වන්න