ක්‍රියාවෙන් තොර සිතුම් මොනවද? | දිනමිණ

ක්‍රියාවෙන් තොර සිතුම් මොනවද?

දුක දිනූ හැම හපනෙක්ම සමසේ බෙදාගෙන ඇත්තේ එකම මිනිස් ගුණයකි; එය ක්‍රියාකාරී පුරුද්දය. එනම් ක්‍රියාත්මකවීම ඔස්සේ කටයුතු නිම කිරීමය. හිත හිතා සිටීම නොවේ.

ක්‍රියාකාරී ගුණය අවුළුවා ගන්නා කවරකුගේ හෝ බුද්ධිය හා කුසලතාව සමග දියුණුවේ වේගය හා ධනයේ ප්‍රමිතියද ඉහළ නංවයි. මේ සංකල්පය කෙතරම් සරල වුවද, ඉස්තරම් ප්‍රතිඵල පිණිස මිනිස් අදිමදිකම දිගටම පවතින්නේ වෙනස් නොවන ගාණටය.

මනස තුළ රජයන අදහසක්, ක්‍රියාත්මක භාවයෙන් සාර්ථක කරගැනීම ක්‍රියාකාරී පුරුද්දේ ප්‍රතිඵලයයි. මිනිස් සංහතියේ ඉතිහාසය යනු, සිහින හා සූත්‍රයන්ගෙන් එළියට බැස ක්‍රියාකාරී වූ යෝධ ගණයේ ගැහැනු හා මිනිසුන්ගේ චරිතමය.

ඔහුට, බඩු අදින දුම් නැවේ පුංචි ඉඩක් ලැබුණේ පැරණි මිතුරෙකුගෙනි. සාක්කුවේ තිබුණු රුපියල් ශත කිහිපයේ වටිනාකම ඇමෙරිකන් ‍ඩොලර් හතක් පමණි. පොත්පත් හා අඩුම කුඩුම සහිත ට්‍රන්ක පෙට්ටිය හැර වෙනත් භෞතික බූදලයක් මොහුට තිබුණේ නම්, ඒ වැහැරී යන 66 වැනි වියේ ශරීර කූඩුව පමණි.

1965 වසරේ සැප්තැම්බර් මාසයයි. බොම්බායෙන් පිටත් වූ නැව බොස්ටන් කරා සේන්දු විය. එතැනින්, මෑන් හැට්න් නගර ඉම ආසන්නයේ පිහිටි බව්රි ප්‍රදේශයේ, බේබද්දන්ගෙන් ගහන සුරාසලක පිටුපස කුඩා කාමරයක් ඔහුගේ නවාතැන විය. බිම නිදියන ඔහුගේ හිස උඩින් තිබුණේ මළානික විදුලි බුබුලක් හා රෙදි වැලක් පමණි.

කල්කටා විශ්වවිද්‍යාලයේ සිසුවකුව සිටියදී ඔහුට තම අධ්‍යාත්මික ගුරුවරයා මුණ ගැසුණි. ඉංග්‍රිසි හා සංස්කෘත භාෂාවන් හා වේද සාහිත්‍යය පිළිබඳ දැනුම හා උනන්දුව දුටු ගුරු, ඔහු තුළ සිහිනයක් පළ කළේය. එනම්, වේද දර්ශනය හා ජීවන රටාව බටහිර ජාතීන් වෙත ව්‍යාප්ත කිරීමයි. එවිට ඔහුගේ වයස 22 කි. මේ සඳහා ඔහු වසර 44ක් සූදානම් වී දැන් එක්සත් ජනපදයට පා තබා ඇත.

ශ්‍රීල ප්‍රභූපාද තම ක්‍රියාකාරී ගුණය අවුළුවා ගත්තේ සුරාසළ ඉදිරියේ ගසක් යටදීය. ඔහු තාලම්පොට ගසමින් ‘හරේ ක්‍රිෂ්ණා - හරේ ක්‍රිෂ්ණා, ක්‍රිෂ්ණ- ක්‍රිෂ්ණා, හරේ හරේ ....’ නම් භක්ති ගීතය සුරම්‍ය වූ විවිධ හඬින් ගයන්නට විය. බේබද්දන්, පාදඩයින් හා ටැක්සි රියදුරන් ඔහු වැලඳ ගත්හ. ලැව් ගින්නක් මෙන් ‘වියපත් ඉන්දීය ස්වාමි’ පිළිබඳ ආරංචිය පැතිරෙන්නට විය. පුවත්පත්, ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යවේදීන්ගෙන් ඔහුට බේරිල්ලක් නොවීය. රෝනියෝ කඩදාසි හා පසුව කැපු තැටිවලින් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. රාජ්‍ය තාන්ත්‍රිකයින්, ධන කුවේරයන්, හමුදා -පොලිස් නිලධාරීන් හා මහාචාර්යවරුන් ඇතුළු සියලු පංතිවල ජනයා ඔහු කරා ඇදෙමින් තම ආධ්‍යාත්මිකත්වය දියුණු කරගන්නට පටන් ගත්හ.

ප්‍රභූපාදයන් ඉසිඹුවක් නොලබාම වෙළුම් ගණනින් වේද සාහිත්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කරමින්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය තුළින් දේශන පවත්වමින් බටහිර රාජ්‍යවල සංචාරය කරන්නට විය. ඔහු පිහිටවූ ‘ක්‍රිෂ්ණානුස්මෘති විඤ්ඤාණ සමිතිය’ හරේ ක්‍රිෂ්ණා ව්‍යාපාරය ලෙසින් ලොව පුරා අදත් සජීවීව පැතිරෙමින් තිබේ.

නිතර නිතර කරන ක්‍රියා පුරුද්දකට පත්වේ. පුරුද්ද කා තුළත් විශ්වාසයක් ඇති කරයි. ක්‍රියාකාරී පුරුද්ද දියුණු කරන අය .තමා ගැනත්, තමන්ට වඩා උසස් විශ්වීය බලයක් ගැනත් භක්තියක් ඇතිකර ගනියි. අපටත් ක්‍රියාක‍ාරී සිද්ධාන්තය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් පහත කාරණා අත්හදා බැලිය හැක.

සියල්ල සම්පූර්ණ වනතුරු නොසිටියහ.

සියලු සාධක පරිපූර්ණව එන තෙක් බලා සිටියහොත් ඔබට කිසිම වැඩක් ආරම්භ කිරීමට නොහැකිය. හොඳ කාලයක්, හරි ආණ්ඩුවක්, අඩු තරගකාරීත්වයක් එනතුරු අක්‍රීයව සිටිනවාට වඩා පැන නැඟී ඇති තත්ත්වයට මුහුණදීම වඩා හොඳය. ප්‍රභූපාදයන්ට ලැබුණු අවස්ථාවේදී කළු දුම් දාන බඩු නැවේ නොනැඟ සැප පහසු ගුවන් යානයක් ලැබෙනතුරු සිටියා නම් අද හරේ ක්‍රිෂ්ණා ව්‍යාපාරයක් ලොව හිමි වෙයිද?

හිතනවාට වඩා කරන්න

යමක් ගැන දිගින් දිගටම සිතනවාට වඩා, සිතෙන දේ සුළුවෙන් හෝ ක්‍රියාවට නැංවීමට උනන්දු වන්න. ක්‍රියාත්මක නොකර, සිතිවිල්ල හෙවත් ඒ අදහස, ඔබේ මනස තුළ සැප සේ දිගාවී පැවතියේ නම් මීදුමක් මෙන් දුර්වලව වියැතී යනු ඇත. මත්පැන් හළ ඉදිරිපිට ගස යටට නොපැමිණ පිටුපස කාරමයට වී සිහින දකිමින් සිටියේ නම් අද අප ප්‍රභූපාදයන් ගැන මෙසේ සටහන් තබන්නේ නැත. ක්‍රියාකාරිකයෙකු වීමෙන් අපේ ක්‍රියාදාමයට නව්‍ය අදහස් හා උත්තේජන එනු ඇත. පාදඩයන්ගෙන් හා බේබද්දන්ගෙන් ප්‍රභූපාදයන් උත්තේජනය ලද අතරම, ඔවුන් අත අත්පත්‍රිකා පැතිරවීමේ අදහස ඔහු ක්‍රියාත්මක කළේය.

අදහසකට තනිවම නැගිටින්න බැරිය.

අදහසකට වටිනාකමක් ලැබෙන්නේ එය ක්‍රියාත්මක කිරීමත් සමඟය. බටහිර ජාතීන් හට පෙරදිග ආධ්‍යත්මික දැනුම යැවීමේ අදහස තම ගුරුවරයා විසින් ප්‍රභූපාදයන් තුළට ඇතුළු කළේ වයස 20 ගණන්වලදීය. නමුත් වසර 40කට පසු එකී අදහස ක්‍රියාත්මක කරනතුරු එය ඔහුගේ මනස තුළ හුදු අදහසක්ම පමණි.

බියට බෙහෙත ක්‍රියාවයි

බියට හොඳම පිළියම ක්‍රියාත්මක වීමය. යමක් ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරම මොහොත, ආරම්භක මොහොතයි. රෝදේ කැරකෙනකොට ආත්ම විශ්වාසය වැඩි පහසුකම් සම්පාදනය වේ. ප්‍රභුපාදයන්ගේ මෙන්ම ලොව ජයගත් සෑම නායකයෙකුගේම සැබෑ රහස මෙයයි.

නිර්මාණාත්මක ආවේගය යාන්ත්‍රික කරන්න

ආවේගය, අනුප්‍රාණය හෝ ක්ෂණික ප්‍රතිභාව, ඔළුවට පාත්වනතුරු නිර්මාණාත්මකව වැඩ කළ නොහැකි යැයි කීම වරදවා වටහා ගැනීමකි. ස්විචයක් ඔබා විදුලි බුබුල දල්වනවා මෙන් ඕනෑම විටකදී ඔබේ ආවේශ යන්ත්‍රය පණ ගැන්වීමට ඔබට පුළුවන් විය යුතුය. ප්‍රභූපාදයන් එය කළේ හරේ ක්‍රිෂ්ණා මන්ත්‍රය තාලයට ගැයීමෙන් ඔහුගේ ලේඛන හා දේශන කලාව මිනිය හැක්කේ කඳු ගණනිනි.

ජීවිතය වර්තම‍ානයට හරවන්න

අතීතය හා අනාගතය යන දෙකම මීදුමක් තුළින් යන මායා දෙකකි. අපිට ගෝචර වන්නේ මේ මොහොත හෙවත් වර්තමානයයි. ඊයේ හෝ හෙට යනු අද ක්‍රියාකාරීත්මය. අද අප ගීතෝපදේශය හෙවත් භගවත්ගීතාව හදාරන්නේ, එය මීට වසර 5000කට පෙර වෛස්‍යමුනි සංස්කෘතයෙන් ග්‍රන්ථාරූඪ කළ නිසාය. අනාගතයේ එය සිංහල භාෂාවෙන් කියවනු හැකි වන්නේ අප අද එය ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කළහොත් පමණි.

සමුනි විසිනි

මේ ලිපි පෙළ පිළිබඳ කුතුහලයක් හා උනන්දුවක් දක්වන පාඨක අදහස් පහත ලිපිනයට ලියන්න.

“මනසට විටමින්”
විශේෂාංග අංශය, දිනමිණ, ලේක්හවුස්, කොළඹ

නව අදහස දක්වන්න