වසර 152ක් සමරන ශ්‍රී ලංකා පොලිසිය | දිනමිණ

වසර 152ක් සමරන ශ්‍රී ලංකා පොලිසිය

නිතිඥ රුවන් ගුණසේකර පොලිස් අධිකාරී
අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

ලෝකයේ පැවැත්ම උදෙසා මානව සත්ත්වයා අන් සියලු සත්ත්වයන් අබිබවා උසස් මනසකින් යුතුව විශ්වයට දායදවී සිටී. මිනිස් කළලයක් මවු කුසෙහි පිළිසිඳ ගත් දින පටන්, මවු කුසෙහි හැදී වැඩී මෙලොවට ජනිතවී, සමාජ හවුල්කරුවකුව ජීවත්වී, මිය යන තෙක් අප මාතෘ භූමිය තුළ දී මානවයාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම දරනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. ‘ධම්මො හවේ රක්ඛති ධම්මචාරි’ (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකියි) යන බුදු වදන ආදර්ශ පාඨය කර ගනිමින් අභීත හස්තියකු මැදිකර ගනිමින් ධර්ම චක්‍රය සහිත ලාංඡනය හිසෙහි දරා ගනිමින් ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකා පොලිසිය මෙරට ස්ථාපිත වූ පළමු රාජ්‍ය ආයතන ත්‍රිත්වයෙහි ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන අතර, වසර එකසිය පනස් දෙකක ඉතිහාසය අභිමානනීය ලෙස සනිටුහන් කරමින් 152 වැනි සංවත්සරය මහත් හරසරින් අද දින සමරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලද ප්‍රථම ආරක්ෂක සේවාව වන්නේ ද, ශ්‍රී ලංකා පොලිසියයි. මෙරට ආරක්ෂක සේවා ඉතිහාසය පණ්ඩුකාභය රාජ්‍ය සමය දක්වා දිවයන අතර නගර ගුත්තික යන නාමයෙන් එහි ආරම්භය සිදුව ඇත. එය ක්‍රමානුකූලව විකාශනය වෙමින් ලන්දේසි, පෘතුගීසි යුග දක්වා පැමිණ ඇත. ඉංග්‍රීසීන් විසින් වර්ෂ 1796 දී, ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසුව පොලිස් සේවාවක් මෙරට තුළ ආරම්භ කර ඇත. වර්ෂ 1806 දී, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ප්‍රකාශයට පත් කළ අංක 14 දරන ආඥා පනත මගින් පනවන ලද රෙගුලාසි යටතේ තව දුරටත් පොලිස් බළකාය විධිමත් කළ අතර, එවකට පොලිස් බළකාය කොස්තාපල්වරුන් 28 දෙනකුගෙන් සමන්විත විය. වර්ෂ 1833 ජූලි මස 09 වැනි දින සිට පොලිස් බළකායට වැටුප් ගෙවීම ආරම්භ කර ඇත.

අනතුරුව, වාණිජ නගර කේන්ද්‍ර කර ගනිමින් ස්ථාන 47ක පොලිස් ස්ථාන පිහිටුවමින්, පොලිස් නිලධාරීන් 585 දෙනකු නගර ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇත. මෙහි දී ප්‍රථමයෙන්ම පිහිටු වූ පොලිස් ස්ථානය ලෙස මරදාන පොලිස් ස්ථානය ඉතිහාසයට එක්ව ඇත. වර්ෂ 1865 අංක 16 දරන පොලිස් ආඥා පනතේ විධි විධාන අනුව 1866 සැප්තැම්බර් මස 03 වැනි දින ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මහතා ප්‍රථම පොලිස්පති ධුරයට පත්වීමත් සමඟ ව්‍යවස්ථාපිතව හා සංවිධානාත්මකව මෙරට පොලිස් සේවාවේ ආරම්භය සිදුවිය. එම දිනය පොලිස් දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රථම ශ්‍රී ලාංකීය පොලිස්පතිවරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මහතා 1947 ජනවාරි මස 06 වැනි දින පත්වීමත් සමඟ එතෙක් බටහිර මුහුණුවරක් ගෙන තිබූ පොලිස් සේවාව ලාංකීයකරණය වීමේ ආරම්භය සිදු විය.

වර්තමානයේ දී රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකාරි කොට්ඨාස 64 කින් සහ ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 42 කින් ද, පොලිස් ස්ථාන 492 කින් යුක්තව පොලිස් නිලධරයන් 85000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ශක්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත.

පොලිස් (POLIS) යන වචනය ප්‍රංශ ශබ්ද කෝෂය තුළ නිර්මාණය වූ වචනයක් වන අතර, එහි අර්ථය වනුයේ සිවිල් පරිපාලනයේ ආරක්ෂකයා යන්නයි. අභ්‍යන්තර අරගලයන්ගෙන් තොර සිවිල් පරිපාලනය පවතින ඕනෑම රටක පොලිසිය තරම් අභියෝගයන්ට මුහුණ දෙන වෙනත් රාජ්‍ය ආයතනයක් නොමැති තරම්ය. වෙනත් ඕනෑම රටක ක්‍රියාත්මක වන පොලිස් සංවිධානයක රාජකාරිය වන්නේ, නීතිය හා සාමය පවත්වාගෙන යමින් අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය සහ රථ වාහන කළමනාකරණයයි. ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියකුගේ රාජකාරි භූමිකාව මීට වඩා සංකීර්ණව සිදුවේ. නීතිය හා සාමය පවත්වාගෙන යමින් අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය සහ රථ වාහන කළමනාකරණය වැනි මූලික පොලිස් රාජකාරිවලට අමතරව වර්තමානයේ දී මද්‍යසාර හා මත්ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක කිරීම, ඩෙංගු ඇතුළු බෝවන රෝග දුරු කිරීම සඳහා සහාය වීම, වන සම්පත ආරක්ෂා කිරීම, වෙරළ ආරක්ෂනය, වන සතුන් ආරක්ෂා කිරීම, අනවසර වැලිගොඩ දැමීම වැළැක්වීම, අනවසර පස් කැපීම වැළැක්වීම වැනි පරිසරයට බලපාන නීති ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන පිහිටුවා තිබුන ද, එම නීතීන් පොලිසිය මගින් ක්‍රියාත්මක කරවීම රටේ මහජනතාවගේ අපේක්ෂාව වී ඇත.

වසර 152 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය, විවිධ ක්ෂේත්‍රයන් අවරණය කරමින් සේවාවන් සමුදායක් දෙකෝටියකට අධික වූ ශ්‍රී ලාංකීය ජනතාව වෙත සලසා දෙමින් සිටී. විවිධ විවේචන සහ පැසසුම් මැද අව්ව, වැස්ස, පින්න නොතකමින්, දිවා රාත්‍රී නොබලමින් සියලු දුෂ්කරතාවන්ට හා අභියෝගයන්ට මුහුණ දෙමින් මහවනය සිසාරා නැ‍ඟී සිටින මහවනස්පති වෘක්ෂයක් ලෙසින් ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂා කරමින් වර්තමානයේ දී මහජනතාවගේ ආරක්ෂකයා බවට පත්ව සිටී.

පොලිසිය සහ මහජනතාව අතර දුරස්ථ භාවය දුරස් කොට මහජන අවශ්‍යතාවන් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට අවශ්‍ය මූලික පහසුකම් හා සේවා පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති, 34වැනි පොලිස්පති ලෙස වර්ෂ 2016ක් වූ අප්‍රේල් මස 20වැනි දින පත් වූ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2015 වර්ෂය වන විට දිවයිනේ පැවැති 437 ක් වූ පොලිස් ස්ථාන සංඛ්‍යාව මේ වන විට 492 දක්වා වැඩි කිරීම සිදු කර ඇත. පොලිස් රාජකාරි සහ සේවාවන් ලබා ගැනීම සඳහා ඉතා දුෂ්කරතාවයෙන් යුතුව දුර බැහර ගෙවා පැමිණීමට සිදුව තිබූ ජනතාවට මේ තුළින් විශාල පහසුවක් සැළසුණි. ප්‍රමාණයෙන් විශාලව පැවැති පොලිස් වසම් කණ්ඩ කොට නව පොලිස් ස්ථාන පිහිටුවා තිබේ. මේ තුළින් සේවා සැපයෙන ජන ඝණත්වයේ අඩුවීම ද, සිදුව ඇති බැවින් තම රාජකාරි අවශ්‍යතාවන් කාර්යක්ෂමව සිදු කර ගැනීමටද, ජනතාවට අවකාශ සැළසී ඇත. එමෙන්ම සාමකාමී දේශයක් තුළ සුරක්ෂිත ජන සමාජයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය තුළ මානව හා භෞතික සම්පත් වැඩි දියුණු කිරීමට පියවර ගැනීම මෙරට ප්‍රජාව ලත් ජයග්‍රහණයක් ද වේ.

ශ්‍රී ලංකා පොලිසිය දැනුම, තාක්ෂණය හා පුහුණුව යොදා ගනිමින් අපරාධ වැළැක්වීමට සහ අපරාධ විමර්ශනයට විවිධ ක්‍රියා මාර්ග ගනිමින් සිටී. වර්තමානයේ දී අපරාධ සිදුවීම් වැඩිවීමක් පිළිබඳ කතා බහට ලක්ව තිබුණ ද, අපරාධ වාර්තාවීමේ සංඛ්‍යා දත්ත සංසන්දනය කළ විට අපරාධ අඩුවීමක් විනා අපරාධ වැඩිවීමක් දක්නට නොමැත. වසර 15ක පමණ දත්ත වාර්තා විශ්ලේෂණය කර බැලූ කළ මෙය ඉතා පැහැදිලිව දැකගත හැකි වන අතර, අපරාධ සිදුවීම් පිළිබඳ කතා බහට ලක්වීමේ ප්‍රවණතාව වර්තමානයේ දී වැඩිවී තිබේ.

උදාහරණයක් වශයෙන් 2008 වර්ෂයේ සහ 2017-2018 (ජූලි 31 දක්වා) වර්ෂයේ අපරාධ සිදුවීම් දත්ත පහත පරිදි වේ.

2017 වර්ෂයේ දී වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1732 කි. ඉන් වයස අවුරුදු 16 වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් සිදු වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 294 කි, අවුරුදු 16 අඩු දැරියන් සම්බන්ධයෙන් වන විට ඇයගේ කැමැත්ත ඇතිව සිදු වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1205 කි, වයස අවුරුදු 16 ට අඩු දැරියන් සම්බන්ධයෙන් ඇයගේ කැමැත්ත නොමැතිව සිදු කළ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 142 කි. වයස අවුරුදු 16ට අඩු දැරියන් මවු පිය රැකවරණ තුළ සිටින දරුවන් වන අතර, ඔවුනට මවු පිය අවධානය හා රැකවරණය නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන් අකාලයේ දූෂණයට ලක්ව ඇති බව මින් පෙනෙයි. 2018 වර්ෂයේ වාර්තාවී ඇති ස්ත්‍රී දූෂණ සිදුවීම් විසඳාලීම 94% කින් සිදු කිරීම තුළින් පොලිසියේ කාර්යභාරය කාර්යක්ෂමව සිදුවී ඇති බව මනාව පැහැදිලිවේ. අපරාධ නිවාරණ කාර්යයේ දී පුරවැසියා තුළ ඇති සමාජයට වගවීමේ කාර්යභාරය ඉටුවීම ද, ඉතා වැදගත් සාධකයක් බව මෙයින් පැහැදිලිවේ.

වර්තමානයේ දී අපරාධ විමර්ශනයට නවීන තාක්ෂණය භාවිත කිරීම තුළින්, විමර්ශන කාර්යයෙහි කැපී පෙනෙන වර්ධනයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව ඇත. මනා පුහුණුවක් ලබා ඇති අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO), පොලිස් නිල සුනඛ අංශයේ නිල සුනඛයන් හා නිලධාරීන්, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් පරීක්ෂක නිලධාරීන් හා ඡායා රූප නිලධාරීන් විසින් අපරාධ විමර්ශනයන් පහසු කිරීමටත් අපරාධකරුවන් හඳුනා ගැනීමටත් අනගි සහායක් ලබා දෙමින් සිටී.

මුළු මහත් විශ්වයම කුඩා ගම්මානයක් බවට පත්වෙමින් පවතින ලෝකය හමුවේ නවීනත්වයට ප්‍රවේශ වෙමින් ගෝලීයකරණයට නතුව ඇති අප රටේ අපරාධකරුවන් ද, නවීන තාක්ෂණය හා සංනිවේදනය භාවිත කරමින් අපරාධ සිදු කිරීමට පෙළඹී සිටී. සංවිධානාත්මකව හා ජාලගතව අපරාධ සිදුකරන අපරාධකරුවන් හමුවේ ජනතාව ආරක්ෂා කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් තම වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර, ඊට දිවයිනේ පිහිටි සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන සුවිසල් සහායක් ලබාදෙමින් සිටී.

අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පරිගණක අපරාධ අංශයක් ස්ථාපිත කර ඇත. මේ අංශය වෙතින් සිදු කරනු ලබන කාර්යය මහජනතාව වෙත තව දුරටත් පුළුල් කිරීම සඳහා මධ්‍යම පළාත් උප ඒකකය ද, පිහිටුවා ඇත. මේ උප ඒකකය මගින් මධ්‍යම පළාත තුළ ජංගම දුරකථන හා පරිගණක භාවිතයෙන් අන්තර්ජාලය හරහා සිදුකරන අපරාධ සම්බන්ධයෙන් නීති බලාත්මක කර ගැනීම කඩිනම් කර ගැනීමට මහජනතාවට අවකාශ සලසා තිබේ.

යුදමය වාතාවරණයක් පැවැති සමයේ මෙන්ම වර්තමානයේ දී ද, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් බුද්ධි තොරතුරු රැස් කරමින් දේශයේත් මහජනතාවගේත් ආරක්ෂාව උදෙසා කටයුතු කරමින් සිටී. සංවිධානාත්මකව සිදු කරනු ලබන අපරාධ, සාහසික මනුෂ්‍ය ඝාතන, සූක්ෂමව සිදුකරණ මහා පරිමාණ කොල්ලකෑම්, වංචාවන්, දේපළ සොරා ගැනීම් වැනි අපරාධ කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොතබා තම දැනුම, බුද්ධිය, පරිණත අතිදැකීම් හා තාක්ෂණික භාවිතයෙන් අනාවරණය කර ගනිමින් සැකකරුවන් නීතිය හමුවට පමුණුවනුයේ මහත් කැපවීමකිනි. අතීතය තුළ අප ලත් අමිහිරි අත්දැකීම් මේ රටේ අනාගත දරු පරපුරට අත් විඳීමට ඉඩ නොතැබීමේ දැවැන්ත වූ වගකීම ත්‍රස්ත විමර්ශන නිලධරයන් මනා ලෙස ඉටු කරමින් සිටී.

අප රට දිනෙන් දින ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන මේ වකවානුව තුළ දී, පුළුල් ලෙස සංවර්ධනය වී ඇති ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය තුළ දිනකට රථ වාහන ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ධාවනය වේ. පාසල් දරුවන් ලක්ෂ ගණනක්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඇතුළු තම අවශ්‍යතාවන් වෙනුවෙන් දිනපතා මහා මාර්ගයට ප්‍රවේශ වන මහජනතාවට නියමිත වේලාවට ආරක්ෂිතව ගමනාන්තයට යාම සඳහා දිවා රාත්‍රියේ රථ වාහන පොලිස් නිලධාරයන් තම වගකීම ඉටු කිරීමට ඇප කැපව ඇත. තම දරුවන් වෙනත් අයකු භාරයේ පාසල් යවමින් මහජනතාවගේ දරුවන් සුදු ඉරෙන් පාර මාරුකර ආරක්ෂිතව පාසලට යවන්නට රථවාහන අංශයේ නිලධරයන් සිදු කරනු ලබන කැපවීම කිසිවකුට ලඝුකොට දැක්විය නොහැක.

ගමක සිදුවන කුඩා සොරකමේ සිට ලෝක ත්‍රස්තවාදය දක්වා ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මද්‍යසාර වර්තමාන ශ්‍රී ලංකාවේ බරපතළ ව්‍යසනයක් බවට පත්වෙමින් පවතී. සිය බුද්ධි අංශය මෙහෙයවමින් මහජනතාව සමඟ සමීප සම්බන්ධතාව ගොඩනඟා ගනිමින්, තොරතුරු ඒකරාශී කර ගනිමින්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව වැටලීම් සිදුකරමින් ජාවාරම්කරුවන් නීතිය හමුවට පමුණුවමින් සිටී. මීට අමතරව වැළැක්වීමේ කාර්යයේ ද, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමු කිරීමේ කාර්යයේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රමුඛ කොටගත් සමස්ත පොලිසිය නිරතව සිටී.

දේශයේ දරු සම්පතට මෙන්ම කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ, අපයෝජන හා අපචාර පිළිබඳ විමර්ශනයන් සිදුකර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඔවුන් එම උවදුරුවලින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය, ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය, කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ සහ පොලිස් ස්ථාන මට්ටමින් ළමා හා කාන්තා කාර්යාංශ පිහිටුවා ඇත.

තවද, ශ්‍රී ලංකා පොලිසියට එක් වූ නවතම පොලිස් කොට්ඨාසයක් ලෙස වින්දිතයන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසය ද, පෙන්වා දිය හැකිය.

අප රට තුළ විවිධ අවස්ථාවල ප්‍රභූන් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, සිවිල් පරිපාලනය ස්ථාපිතව ඇති රටක් වශයෙන් ප්‍රභූ ආරක්ෂාවේ වගකීම ද, ශ්‍රී ලංකා පොලිසිය සතුවේ. ඒ අනුව ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ඇතුළු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස කිහිපයක් ශ්‍රී ලංකා පොලිසිය තුළ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන මාවතකට ප්‍රවේශව ඇති මෙවන් යුගයක සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම මහජනතාව ද, ඉතා කාර්යබහුල තත්ත්වයට පත්ව ඇති අතර, එදිනෙදා මහජන අවශ්‍යතාවන් ඉටු කරන ප්‍රධානතම රාජ්‍ය අයතනයක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියේ කාර්යක්ෂමතාව ද, වේගවත් කිරීමට නව තාක්ෂණික භාවිතය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් පරිගණක භාවිතය, අන්තර්ජාල භාවිතය වේගවත් සංන්නිවේදන ක්‍රමවේද සඳහා පොලිස් නිලධරයන් යොමු කිරීමට පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය ස්ථාපිත කර ඇත. මේ යටතේ සියලුම පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන ජාලකරණයට ලක්කර (VPN) පද්ධතිය මගින් කාර්යක්ෂව සේවා සැපයීම සඳහා ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම කොළඹ නගරය තුළ රථවාහන කළමනාකරණය සඳහා CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් රථවාහන තදබදය අවම කිරීමට මෙන්ම විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇත.

පොලිසිය වෙතින් මහජනතාවට, තම අවශ්‍යතාවන් සපුරා ගැනීමේ දී අසාධාරණයක් සිදු වුවහොත් එය පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දීම සඳහා Tell IGP විද්යුත් තැපෑල මගින් පහසුකම් සලසා තිබේ. මීට අමතරව තම අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකර ගැනීම සඳහා මහජනතාව වෙත අවකාශ සලසමින් පොලිස් මූලස්ථානය විසින් සතියේ සෑම සිකුරාදා දිනකම මහජන දිනය ද, දිනපතා ක්‍රියාත්මක වන පොලිස් සහන මැදිරිය සහ 119 හදිසි ඇමතුම් අංශය ආරම්භකර පවත්වාගෙන යාම සිදු කරනු ලබයි.

මුළුමහත් විශ්වයේම ස්වභාව සෞන්දර්ය‍යෙන් අනූන වූ ශ්‍රී ලංකාව, සංචාරක ව්‍යාපාරය තුළින් වාර්ෂිකව විශාල විදේශ විනිමයක් උපයා ගනිමින් සිටී. විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාවට හා ඔවුන් හට මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු අතර ඇති වන නෛතිකමය ගැටලුවල දී සහායවීම සඳහා පොලිස් සංචාරක කොට්ඨාසයෙන් ලැබෙනුයේ අතිමහත් වූ සේවයකි.

ශ්‍රී ලංකා පොලිසියේ තිබෙන තවත් සුවිශේෂී වූ කොට්ඨාසයකි පරිසර ආරක්ෂණ කොට්ඨාසය. ජනතාවට සුවදායී හා නෙත් ගන්නා සුලු පරිසරයක් දායාද කිරීමට අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කර දීමටත් එම කොට්ඨාසයෙන් ලැබෙනුයේ මහත් වූ පිටිවහලකි.

දෛනිකව, ජීවිතයේ තරගකාරී පරිසරයක කටයුතු කරන මහජනතාව තම දරුවන් හා සමාජයේ එදිනෙදා පවතින සමාජ ව්‍යසනයන් පිළිබඳ විශේෂ අවධානය යොමු නොකිරීම හේතුවෙන් තම දරුවන් පවුලේ සාමාජිකයන් විවිධ සමාජ අපරාධවලට ගොදුරුවීම වැළැක්වීමට නිරතුරුව මහජන දැනුවත් කිරීම සඳහා මෙන්ම, පොලිසියත් මහජනතාවත් අතර සම්බන්ධතාව පවත්වාගෙන යාමට පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය පිහිටුවා ඇත. මෙමගින් පාසල් දරුවන්, වැඩිහිටියන්, ඉලක්කගත කණ්ඩාම් දැනුවත් කිරීම සිදු කරන අතර, මේ සඳහා දැනුවත් කිරීමේ දේශන, වැඩමුළු පැවැත්වීම සිදු කෙරේ. අතුරුදන් පුද්ගලයන් සොයා ගැනීම සඳහා මහජනතාවට විශාල සේවයක් සපයන මේ කොට්ඨාසය, හඳුනා නොගත් මළ සිරුරු පිළිබඳ මහජනතාව දැනුවත් කර මිය ගිය පුද්ගලයාගේ දේහයට සමාජ සාධාරණත්වය හා ගෞරවනීය භූමදානයකට අවශ්‍ය මහජන සම්බන්ධතාව ලබා දෙමින් කටයුතු කරනු ලබයි. මීට අමතර ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා අවශ්‍ය කරන පසුතල ලබා ගැනීම, පොලිස් චරිත සහාය ලබාගැනීම ඇතුළු නිර්මාණ කටයුතු සඳහා සුවිශාල දායකත්වයක් සපයන කොට්ඨාසයක් වශයෙන් දිවයිනේ සියලු කලාකරුවන්ගේ හා නිර්මාණකරුවන්ගේ ආදරය හා විශ්වාසය දිනාගෙන සිටී.

සංනිවේදන භාවිතයේ ඉහළම ස්ථානයක සිටින ශ්‍රී ලංකාව තුළ සක්‍රීය මාධ්‍ය ආයතන සියයකට අධික ප්‍රමාණයක් දෛනිකව මහජනතාව වෙත තොරතුරු සැපයීමේ කාර්යයෙහි නිරතව සිටී. මහජනතාව වෙත නිවැරැදිම තොරතුරු හා කාර්යක්ෂමව තොරතුරු සැපයීමේ කාර්ය සඳහා පොලිස් මධ්‍ය කොට්ඨාසය පිහිටුවා ඇත. දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට වාර්තාවන සියලුම අපරාධ සිදුවීම්, අතුරුදන්වීම්, අත්අඩංගුවට ගැනීම්, හදිසි ආපදා තත්ත්වයන්, මාර්ග අවහිරතාවන්, රිය අනතුරු සහ පොලිසිය විසින් සිදුකරන සාර්ථක අත්අඩංගුවට ගැනීම් මෙන්ම යහපත් ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ක්ෂණිකව ලබාගනිමින් මාධ්‍ය ආයතන වෙත මුදා හැරීම හා මාධ්‍ය සාකච්ඡා මගින් මහජනතාව දැනුවත් කිරීම තුළින් සාමාන්‍ය ජන ජීවිතයේ යහපැවැත්ම උදෙසා මහඟු මෙහෙවරක් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදේශ රැකියා නියුක්තිකයන් හා අධ්‍යාපනික ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ගතවීමේ දී අත්‍යවශ්‍ය වන නිශ්කාෂණ වාර්තා ලබා දීම සඳහා පොලිස් මූලස්ථානයට අනුයුක්තව පොලිස් නිශ්කාෂණ අංශය පිහිටුවා ඇත.

දිවයිනේ මුහුදු තීරය ඔස්සේ රට තුළට ඇතුළු වන විවිධ නීති විරෝධී ද්‍රව්‍ය, වෙළෙඳ භාණ්ඩ, මත්ද්‍රව්‍ය, මිනිස් ජාවාරම වැනි නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා පොලිස් නාවික කොට්ඨාසය පිහිටුවා දිවා රාත්‍රී ඔවුන්ගේ සේවය අපරිමිත ලෙස දේශය වෙනුවෙන් සපයා දෙමින් සිටී. මුහුදු බඩ ප්‍රදේශවල සහ ගොඩබිමෙහි වැව් හා ගංගා ආශ්‍රිතව ස්නානය කෙරෙන සහ ස්නානයට අවදානම් ස්ථාවල දී ජලයේ ගිලීමෙන් සිදුවන ජීවිත අනතුරු වළක්වා ගැනීම සඳහා පොලිස් පිහිනුම් හා ජීවිත ආරක්ෂක ඒකකය පිහිටුවා ඇති අතර, එමගින් මේ වන විට ජීවිත දහස් ගණනක් රැකදීමට හැකිවී තිබීම කිසිසේත් ලඝුකොට තැකිය නොහැක. රට තුළ ඇති වූ නොයෙකුත් ආපදා තත්ත්වයන්වල දී පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් මෙන්ම පොලිස් නාවික කොට්ඨාසය මගින් ද, සිදු වූ මෙහෙය අපරිමිතය.

රට අභ්‍යන්තරයේ විවිධ අපරාධවලට සම්බන්ධ වෙමින් සැඟව සිටින සැකකරුවන් පිළිබඳ තොරතුරු, අපරාධ සිදුවීම් පිළිබඳ තොරතුරු, සමාජ විරෝධී ක්‍රියා ඇතුළු තොරතුරු ඒකරාශී කිරීමේ කාර්යය සඳහා දිවා රාත්‍රියේ මහජන සුබ සිද්ධිය සඳහා පොලිස් බුද්ධි අංශවලට අයත් නිලධරයන් කැපවීමෙන් සිය රාජකාරියේ විසිහතර පැය පුරා නිරතව සිටිනුයේ කිසිදු පුද්ගලික ලාභ අපේක්ෂාවකින් නොව, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම දේශයේ මුර දේවතාවුන්ගේ මෙහෙවර පරිපූර්ණය කිරීම සඳහා වේ.

අතීත රජවරුන්, මුතුන් මිත්තන් සිය දේශයේ ශ්‍රී විභූතිය හා අභිමානය උදෙසා රට අභ්‍යන්තරයෙහි ඉදිකර ඇති පෞරාණික වටිනාකමකින් යුතු විවිධ නිර්මාණ පිහිටි භූමි භාගයන් ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුරට දේශයේ අභිමානය දායාද කිරීම සඳහා පුරාවිද්‍යා කොට්ඨාසය පිහිටුවා ඇත. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරමින් නිදන් වස්තු කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම හා එම ස්ථාන ආරක්ෂා කිරීමේ කාර්යය තුළින් පොලිස් නිලධාරියා යනු දේශයේ සැබෑම ආරක්ෂකයාය, යන්න තීව්‍ර ලෙස සමාජගත කර ඇත.

සමාජයේ සිටින විවිධ වංචනික පුද්ගලයන් විසින් සිදු කරන ලද රැවටිලි අභියස තම ධනය හා දේපළ අහිමිවී, වින්දිත භාවයට පත්වී අසරණ වන මහජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා පොලිස් වංචා විමර්ශන කොට්ඨාසය හා කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති වංචා විමර්ශන අංශවලට අනුයුක්ත නිලධාරීන් ඉතා සූක්ෂම අයුරින් කටයුතු කරමින් තම සේවය මහජනතාව වෙත නොපිරි හෙළා ලබාදීමට ඇප කැපව කටයුතු කරමින් සිටී.

දෛනිකව ඉතා කාර්ය බහුල කොළඹ නගරයේ රථවාහන හැසිරවීමේ රාජකාරිවලට අනගි සහායක් ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරයට විදහා දැක්වීමට නොමද මෙහෙවරක් ඉටු කරන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය, ජාතික උත්සව අවස්ථාවල දී එම අවස්ථාවන් වර්ණවත් කිරීමට සුවිසල් දායකත්වය ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම බටහිර තූර්යවාදක කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්ව ඇති පොලිස් තූර්යවාදක කණ්ඩායම හා පොලිස් සංස්කෘතික අංශය ද, දේශීය නර්තන කලාවේ අනන්‍යතාව සුරකිමින් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙරට තුළ සංචාරයන් සිදු කිරීමේ දී ඔවුන් පිළිගැනීම හා විශේෂාංග ඉදිරිපත් කිරීම සෑම අවස්ථාවකදීම සිදු කරනු ලබන අතර, විදෙස් සංචාරයන්ට සහාභාගිවී ශ්‍රී ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තරය තුළ දී කථා බහට ලක් කිරීමට සමත්ව සිටී.

ශ්‍රී ලංකා පොලිසිය වසර එකසිය පනස් දෙකක ඉතිහාසය තුළ අධිරාජ්‍යවාදී පොලිස් යුගය සහ සංග්‍රාමික පොලිස් යුගය යන යුග දෙක පසුකරමින් වර්තමානයේ දී ප්‍රජා පොලිස් යුගයට අවතීර්ණවී සිටී. ලෝකයේ සෑම රටකම ක්‍රියාත්මක වන පොලිස් සේවාවන් ක්‍රමක්‍රමයෙන් විවිධ අත්හදා බැලීම් ඔස්සේ දියුණු තාක්ෂණික ක්‍රමවේද මෙන්ම මහජන හවුල්කාරී පදනමින් ගොඩනැ‍ඟෙන පොලිස් සේවාවන් වර්තමානය වන විට ක්‍රියාවට නංවා ඇති අතර, ලෝකයේ ඉතා දියුණු රටවල් වන අමෙරිකාව, එංගලන්තය, ජපානය, ස්විස්ටර්ලන්තය, ඉන්දියාව වැනි රටවල් සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, තාක්ෂණ ක්‍රමවේද හා ප්‍රායෝගික ක්‍රියාවලියකින් සම්මිශ්‍රණයවී සැකසුන ප්‍රජා පොලිස් ක්‍රමවේදය ක්‍රියාවට නංවමින් සිටී.

ශ්‍රී ලංකා පෙලිසිය ද, ප්‍රජා පොලිස් සංකල්පය මෙරට ජනතාවට හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කර ඇත. මේ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසය පිහිටුවා ඇත. දිවයිනේ ග්‍රාම නිලධාරි වසම් 14022 ක ප්‍රජා පොලිස් කමිටු 14068ක් පිහිටුවා ඇති අතර, මේ වනවිට පොලිස් ස්ථාන 486ක ප්‍රජා පොලිස් මවු කමිටු හා උපදේශක සභා 486 ක් ද, පිහිටුවා ක්‍රියාත්මක කරමින් සිටී. පොලිස් වසම් මට්ටමින් ගැටලු හා අර්බුද මතුවන අවස්ථාවල දී උපදේශක සභාවල සහාය පොලිස් රාජකාරි සඳහා ලබාගැනීම තුළින් ප්‍රජාවට හිතකාමී ලෙස ගැටලු නිරාකරණයට විශාල පිහිටුවහලක් මේ තුළින් ලැබී ඇත. ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් පවතින විවිධ ගැටලු (සොරකම්, ගෙවල් බිඳුම්, පාසල් නොයන දරුවන්, මත්ද්‍රව්‍ය ව්‍යසනය, මාර්ග පිළිසකර කිරීම්, බෝවන රෝග මර්දනය, මන්ද පෝෂණය ආදි) හඳුනා ගනිමින් ඊට විසඳුම් සෙවීමට පොලිසිය මැදහත්කරු ලෙස කටයුතු කරමින් ප්‍රජා පොලිස් කමිටුව හවුල්කාරී පාර්ශ්වය ලෙස කටයුතු කරමින් ක්‍රියාත්මක වන මේ සංකල්පය ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇත.

ප්‍රජා පොලිස් සංකල්පය යටතේ වත්මන් පොලිස්පතිවරයා විසින් ක්‍රියාවට නංවන ලද ‘ගමට පොලිසියක්’ නමින් පොලිස් ජංගම සේවා වැඩසටහන මූලික වශයෙන් ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශ්‍රමදාන යන තේමාවන් ඔස්සේ ක්‍රියාවට නංවමින් සිටී. 2018 වර්ෂයේ මුල් කාර්තුව මේවන විට අවසන් කර ඇති අතර, එමගින් මහජනතාව උදෙසා දියත් කරන ලද වැඩසටහන්වල ඇස්තමේන්තුගත වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 523කට අධික වේ. මේ වැඩ සටහනට සමගාමීව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමකම විවිධ හේතු මත අසරණ භාවයට පත් පවුල් වෙනුවෙන් නිවෙසක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට නව නිවාස 367ක් වැඩ අවසන්කර හිමිකරුවන් වෙත පිරිනමා ඇති අතර, අලුත්වැඩියා කර බාර දෙන ලද නිවාස සංඛ්‍යාව 62කි. මේ නිවාස ඉදි කිරීම හා අලුත්වැඩියා කිරීමේ කාර්යය සඳහා ඇස්තමේන්තු ගත දළ වටිනාකම රුපියල් මිලියන 446 කට අධික වේ.

මේ කටයුතුවලට අමතරව ප්‍රජා පොලිස් සංකල්පය යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් පාසල් නොයන දරුවන් නැවත පාසල් වෙත යොමු කිරීම හා ඔවුනට අවශ්‍ය පාසල් උපකරණ හා ද්‍රව්‍ය ලබාදීම, ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙත පාසල් උපකරණ හා ද්‍රව්‍ය ලබාදීම, කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ‘ලක්විදු’නමින් පෙර පාසලක් පවත්වාගෙන යාම සහ ගැබිනි මවුවරුන්ට පෝෂණ ද්‍රව්‍ය සැපයීම සහ උපදේශන වැඩ මුළු පැවැත්වීම ආදී වූ විවිධ සමාජ සත්කාරයන් පැවැත්වීම ද, වර්තමාන ශ්‍රී ලංකාවේ පොලිස් සේවය මහජනතාවගේ සැබෑම මිතුරා බවට පත්වීමේ ප්‍රතිඵල සමජගත වීමක් ලෙස දැක්වීම අතිශයෝක්තියක් නොවනු ඇත.

වසර 152ක ඉතිහාසය තුළ පොලිස් නිලධාරියාගේ භූමිකාව, මෙරට ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂා කිරීමට පමණක් සීමා නොවුණු අතර, පොලිස් නිලධාරියකුගේ සාමාන්‍ය රාජකාරි ජීවිතයේ දී පවා දැඩි ජීවිත අවදානමකින් යුතුව මහජන සේවය පිණිස 24 පැය පුරා බැඳී සිටිමින් හා රැඳී සිටිමින් කටයුතු කිරීම සුවිශේෂි වේ. පොලිස් සේවය මෙරට ආරම්භ වූ දා පටන් වර්තමානය දක්වා මහජන ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා සිය රාජකාරිය ඉටු කිරීමට යාමේ දී පොලිස් නිලධාරීන් 3128 දෙනකු ජීවිත පරිත්‍යාග කර ඇත. එමෙන්ම පොලිස් නිලධාරීන් 22ක් පූර්ණ ආබාධිත තත්ත්වයටත් නිලධරයන් 1513 දෙනෙක් ආබාධිත තත්ත්වයටත් පත්ව පත්ව ඇත. සිවිල් අරගල ත්‍රිත්වයේ දී හා ඉන් පසුවත් ජීවිත පරිත්‍යාග කරමින් මහජනතාවගේ සුරක්ෂාව වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන එකම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය බව මෙහි දී අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

152 වැනි වසර අභිමානයෙන් සමරන ශ්‍රී ලංකා පොලිසිය කොතරම් අභියෝග අභිමුවෙහි වුව ද, මහජන අපේක්ෂාවන් ඉටුකරමින් සේවා සැපයීමට කටයුතු කර තිබේ ද, යන්න ඉහත කරුණුවලින් තීව්‍ර වේ. අතීතයේ දී මෙන්ම වර්තමානයේදීත් මතු අනාගතයේදීත් මහජන ජීවිත හා දේපළ සුරක්ෂා කරමින් සාමකාමී පරිසරයක් තුළ මහජනතාවට කටයුතු කිරීම සඳහා මහජන සේවකයන් ලෙස ශ්‍රී ලංකා පොලිසිය කැපවනු ඇත.

වසර එකසිය පනස් දෙකක් පුරා ශ්‍රී ලංකාවාසී ප්‍රජාව සමඟ සුහදශීලීව කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසිය ප්‍රජා පොලිස් සංකල්පය සමඟ මහජනතාවගේ හෘදයාංගම මිතුරා පොලිසිය බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව ‘නොනිමි මෙහෙවරක අභිමානය’ තේමාව කර ගනිමින් 152 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා පොලිසිය චිරාත් කාලයක් වැජඹේවායි ප්‍රාර්ථනය කරමු.

 

 

නව අදහස දක්වන්න