ආපදාවන් වෙනුවෙන් පැවැති කිසිම රජයක් මේ තරම් වන්දි ගෙවා නැහැ | දිනමිණ

ආපදාවන් වෙනුවෙන් පැවැති කිසිම රජයක් මේ තරම් වන්දි ගෙවා නැහැ

ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක

ගංවතුර, නියං, සුළි සුළං වැනි විවිධ ආපදාවන්ගෙන් පසුගිය කාලයේ දී මේ රටේ ජනතාවට විශාල හානි සිදු වූවා සේම මෑත කාලයේ දී මෙවැනි ආපදාවන් වෙනුවෙන් කිසිම ආණ්ඩුවක් වත්මන් ආණ්ඩුව තරම් වන්දි මුදල් ගෙවා නැතැයි, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා බෙන්තොට දී පැවැසීය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ සුළි සුළඟින් ගේ දොර, ව්‍යාපාරික ආයතනවලට සිදු වූ හානි වෙනුවෙන් වන්දි චෙක් පත් ලබා ගැනීමට පැමිණි ජනතාව අමතමින් ඒ මහතා එසේ කීය. බෙන්තොට පැරැණි ගාලු පාරේ කෂිගුන්ඩා ශ්‍රී ලංකා ආයතන ශාලාවේ දී මේ වන්දි චෙක් පත් ප්‍රදානය කිරීම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහි දී ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද කීය. ගංවතුරක්, නියඟයක්, විතරක් නොවෙයි, සුළඟකට අත්තක් කඩා වැටුණත් ඒකට ආණ්ඩුව මුහුණ දිය යුතුයි. ආපදාවක් වූ වහාම ඒ සඳහා ගෙවිය යුතු වන්දි සම්බන්ධව අදාළ අමාත්‍යංශයෙන් කැබිනට් එකට පත්‍රිකාවක් එවනවා. අපි ඒක අනුමත කළාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වහා ක්‍රියාත්මක වී ඒවා ජනතාවට ලබා දෙනවා. පසුගිය ගංවතුරෙන් හානි වූ විශාල පිරිසකට පසුගිය දා අපි වන්දි මුදල් ගෙවුවා. මේ විදියට වන්දි ගෙවීමේ දී තක්සේරු කටයුතුවල යම් යම් වැරැදි සිදු වෙනවා. ඒ අඩුපාඩු හැකි තරම් අවම කර ගැනීමට ආණ්ඩුවක් හැටියට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරේ සුළි සුළඟින් හානි වූ මේ කොට්ඨාසයේ විශාල පිරිසකට මූලික ආධාරයක් වශයෙන් රුපියල් දස දහසක් බැගින් ලබා දුන්නා. මෙවැනි අනපේක්ෂිත වැඩ කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ලොවේ බොහෝ රටවල්වල මෙවැනි විපත් සිදුවෙනවා. නිවෙස්වල වහලවලට මෙන්ම බිත්තිවලටත් හානි සිදුවෙනවා. ඒ විතරක් නොවෙයි, මිනිස් ජීවිතවලටත් හානි සිදුවෙනවා. වාසනාවකට මෙන් මේ ප්‍රදේශයේ එවැනි අවාසනාවන්ත දේවල් සිදු වුණේ නැහැ. මේ වෙලාවට ජනතාව කලබල වෙනවා.

ආණ්ඩුවත්, දේශපාලනඥයන් වශයෙන් අපත්, මෙවැනි අවස්ථාවන්හි ප්‍රායෝගික වශයෙන් දැඩි අපහසුතාවන්ට ලක් වෙනවා. මෙවැනි විපතක් සිදු වූ වහාම අප පැමිණ ඒ ගැන සොයා බැලිය යුතු යැයි සමහරුන් සිතනවා. නොගියොත් දොස් පවරනවා. විදුලිය විසන්ධි වීමක් වූ විට ඉක්මනින් ලබා දීමට නොහැකි වුණත් සමහරුන් අපට දොස් පවරනවා. යම් විපතක් වූ විට ක්ෂණිකව යථා තත්ත්වයට පත් කිරීම අපහසුයි. මේවාට හැම දෙනාම යම් තරමකට හැඩ ගැසිය යුතුයි. මේවා යථා තත්ත්වයට පත් කරන තුරු ප්‍රාදේශීය ලේකම්වරුන්ට පාරකවත් යන්න බැහැ. යම් විනාශයක්වීමට ගත වන්නේ සුළු කාලයක් වුවත් එය යථා තත්ත්වයට පත් කිරීම ඉක්මනින්ම කළ නොහැකියි. අප මේවා නොකර මඟ හරින්නේ නැහැ. මේ සඳහා ආණ්ඩුව විශාල මුදලක් වැය කර තිබෙනවා. ඒ සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළ නිලධාරීන්ට ස්තුතිය පුද කළ යුතුයි. එසේම හානි සිදු වී අද මේ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙහි පැමිණි ඔබ සැම දෙනාටත් ස්තුතිය පුදනවා. මේවා ඵලදායක ලෙස යොදා ගන්නා ලෙසටත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ මහතා- මේ සුළි සුළඟින් හානි සිදු වූ අයට මුල් අදියරේ අත්තිකාරම් වශයෙන් එක් කෝටි තිස් තුන් ලක්ෂයක් ගෙවා තිබෙනවා. අද මෙහි දී ග්‍රාම සේවා වසම් දහ නවයක හාරසිය දෙනකුට පමණ මේ වන්දි චෙක් පත් ලබා දීම සිදු කෙරෙනවා. මීට පෙර සිදු වූ ගංවතුර විපතින් වූ හානි වෙනුවෙන් වන්දි ගෙවීම පසුගිය දා අවසන් කළා. සුළි සුළඟින් වූ වන්දි ලබා දීමට 1500 දෙනකු පමණ සිටිනවා. ඉදිරි කාලයේ දී මේ වන්දි සියල්ල ගෙවා නිම කරනවා. දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස
ඡායාරූප ඉඳුරුව සමූහ


නව අදහස දක්වන්න

Or log in with...