නියඟය අමතකයි! | දිනමිණ

නියඟය අමතකයි!

රටේ ප්‍රදේශ ගණනාවකට දැඩි නියං තත්ත්වයක් පවතින්නේ වුව; බොහෝ දෙනකුට එය අමතකවී ඇතැ’යි සිතන්නට පුළුවන. ඊට බලපාන හේතු-සාධක කිහිපයක් ද පවතී. එක අතෙකින් මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවකට නොකඩවා වැසි ඇද වැටිණි. ඇතැම් ජලාශවල වාන් දොරටු විවෘත කරන්නට සිදුවිය. තවත් ප්‍රදේශ කිහිපයකට දැඩි සුළඟින් අලාභහානි සිදුවිය. සුළං පැවැති ප්‍රදේශවල වර්ෂාව ද පැවැතිණි. මේ කාලගුණික විපර්යාසවලට අමතරව රටේ දේශපාලනය ද තරමක් උණුසුම්වී ඇති බවක් පෙනෙයි. නියඟය පොදුජනයාගේ මනසින් ඈත්වන්නට ඉහත සාධක බලපාන්නට ඇත.

දැනට වාර්තා වන අන්දමට දිස්ත්‍රික්ක එකොළහක් තුළ දැඩි නියං තත්ත්වයක් පවතී. උතුරු පළාතේ යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය හා මන්නාරම නියඟයට හසුවී ඇත. උතුරුමැද පළාතේ අනුරාධපුරය හා පොලොන්නරුව නියඟයට ගොදුරුවී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වැව් විශාල ප්‍රමාණයක් සිඳී ඇත. ඇතැම් ප්‍රදේශවල කන්න පහක් වගාකර නැති බව කියති. මේ වනවිට කෘෂිකර්මයට ජලය පමණක් නොව; ජනතාවට අවශ්‍ය පානීය ජලය ද බරපතළ ගැටලුවක් වී ඇති බව වාර්තා වෙයි. රජය බවුසර් මගින් පානීය ජලය සපයන්නේ වුව එය ප්‍රමාණවත් නොවන බවට චෝදනා ද පවතී. ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් නියඟයෙන් පීඩා විඳින බව කියති. නියඟයෙන් පීඩාවට පත්වන සතුන් ගැන සංඛ්‍යා දත්ත නැත.

ඊයේ පුවත්පත් වාර්තා කර තිබූ අන්දමට සෝමාවතිය රක්ෂිතයේ වන අලි හත්දෙනෙක් ගොහොරු බිමක එරී මියගොස් සිටිති. මේ වන අලින් ජලය සොයා මහවැලි ග‍ඟෙහි අතුගංගාවක් දිගේ ගොස් අනතුරට මුහුණපා ඇති බව කියති. අලින් මියගොස් ඇත්තේ ගොහොරු බිමෙහි එරීමෙන් බව වාර්තා වෙයි. අලින්ගේ මළ සිරුරු හතක් හමුවී ඇති අතර මේ අයුරින් තවත් වන සතුන් මියගොස් සිටින්නට පුළුවන් බව වන ජීවිය කියා සිටී. මෙය බලවත් ‍ඛේදවාචකයක් ලෙස පෙනී යයි. මිනිස් සමාජයට ජලය සපයාගත හැකි විකල්ප මාර්ග පවතී. එහෙත් සතා සීපාවා වෙනුවෙන් සිදු කරන ජල සැපයුමක් නැත. ඔවුන්ට ඒ සඳහා යොදාගත හැකි උපායමාර්ගයක් ද නැත. නියඟය නිසා වන සතුන් අතිශය අසීරු අඩියකට වැටී ඇති බව පැහැදිලි ය.

රටක වන සතුන් සැලැකිය හැක්කේ ඒ රටට අයත් වටිනා සම්පතක් හැටියට ය. ඒ අනුව වන සතුන් ආරක්ෂා කිරීමට ද, ඔවුන්ගේ ජීවන පැවැත්ම ගැන සොයා බැලීමට ද රජයකට සිදුවනු ඇත. රජය පමණක් නොව; පොදුවේ මහජනයාට ද වන සතුන් ගැන සොයා බැලීමේ වගකීමක් පවතී. විවිධ නීති හා ප්‍රඥප්ති මගින් ද එය පැහැදිලි වෙයි. දැනට පවතින තත්ත්වයට අනුව වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමට කුමන හෝ පියවරක් ගත යුතුව තිබේ. වනාන්තර තුළ ජල භාජන තැබීම හා කුඩා වැව්වලට ජලය සැපයීම මේ අංශයෙහිලා යොදා ගනු ලබන එක් උපාය මාර්ගයකි. වියළි කලාපයට අයත් රක්ෂිත හා වනාන්තර තුළ මේ උපායමාර්ගය කිහිප වරක් ක්‍රියාත්මක කළ බව අපට මතකය. දැන් නැවතත් එය සිදු කිරීමට කාලය පැමිණ ඇතැ’යි කිව හැකි ය.

නියඟය දැඩිව පවතින ප්‍රදේශවල ජනතාව ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණදෙති. එක; පානීය ජලය ප්‍රමාණවත් ලෙස සපයා ගැනීම ය. දෙක; ගොවිතැන් පාළුවීම නිසා ජීවනෝපාය අහිමි වීම ය. වී ගොවිතැන, එළවළු වගාව, හේන් ගොවිතැන පමණක් නොව; වියළි කලාපයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයත් දැන් අභියෝගයට ලක්වී ඇත. වියළිකලාපයේ බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන බව අමුතුවෙන් කිව යුතු නැත. එක දිගට කන්න පහක් වගා නොකළ ප්‍රදේශ පවතින්නේ යැයි කියති. එය බරපතළ තත්ත්වයකි. මීට මුහුණදෙන පවුල්වල දරුවන්ගේ තත්ත්වය අතිශය ඛේදජනක විය හැකි ය. දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව; සමස්ත ජීවිතය පවා නියඟයෙන් අවුල් වී ඇත.

සහන හා ආධාර ලබාදීම දිගටම සිදුවන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියා සිටී. නියං ආධාර, වගා පාළුව සඳහා ආධාර හා තවත් සහන ඊට ඇතුළත් ය. එහෙත් සහන හා ආධාරවලින් පමණක් මේ ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි ය. එක අතෙකින් වැව් පද්ධතිය පිළිසකර කොට ඒවා සක්‍රීය කළ යුතු ය. තව අතෙකින් අලුත් ජල යෝජනා ක්‍රම ඇති කළ යුතු ය. මොරගහකන්ද ජලාශය හා බහුකාර්ය ව්‍යාපෘතිය ද, වැව් පිළිසකර කිරීමේ හා නව වැව් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද මේ අතින් අගය කළ යුතු වැඩසටහන් ය. මෙබඳු ක්‍රියාමාර්ග මීට දසකයකට පමණ පෙර ඉටුකළේ නම්; අද මෙවැනි නියංසායක් නොපවතින බවද මෙහිලා සඳහන් කළ යුතුය. පැවැති ආණ්ඩුවල නාස්තිකාර වියදම් දෙස බලනවිට වියළි කලාපයේ ජනතාව කෝපගැන්වීමට ද ඉඩ තිබේ.

ජල සම්පත් ආරක්ෂා කිරීම හා ජල කළමනාකරණය රටක පාලකයන්ගේ අවධානයට ලක්විය යුතු ප්‍රධාන කාරණයෙකි. ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රාජ්‍යයක එම වගකීම තවත් වැඩි වෙයි. අපේ ජල මූලාශ්‍ර හා වැව් පද්ධතිය නිසි ලෙස නඩත්තුවට හා ආරක්ෂාවට පියවර ගන්නේ නම්; නියඟය රටට ගැටලුවක් නොවන බව විද්වතුන්ගේ මතය යි. අතීත පාලකයන් වැව් හා වාරිමාර්ග ඉදිකිරීම තම ප්‍රධාන වගවීමක් ලෙස සැලකුව නමුදු නිදහසින් පසුව එම තත්ත්වය දකින්නට ලැබුණේ අඩුවෙන් ය. කොටින්ම අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ක්‍රිකට් පිටි, වරායවල් හා ගුවන්තොටුපොළවල් තැනීමට පාලකයන් උනන්දුවුව එක වැවක් තැනීමට උත්සාහ කළේ නැත. එහි විපාක අද ජනතාවට විඳින්නට සිදු වී තිබේ.

අපේ ජල සම්පත් හා ඒවායෙහි ස්වාභාවික ක්‍රියාවලිය ගතහොත් දකින්නට ලැබෙන්නේ විකෘති තත්ත්වයකි. එක පළාතක දැඩි නියඟයක් පවතින අතර තව පළාතක ගංවතුර හා දැඩි සුළං පවතී. එක පළාතක ජලාශවල වාන් දොරටු හැර ජලය ඉවත් කරන අතර තවත් පළාතක ජලාශ අඩියටම සිඳීයයි. ජලය රැස්කිරීම හා ඒවා බෙදාහැරීම පිළිබඳ විධිමත් ක්‍රමවේද අඩු බව ඉන් පෙනී යයි. උතුර, උතුරුමැද, වයඹ යන ප්‍රදේශ ජලයෙන් ආඪ්‍ය කළ හැකි එකම ක්‍රමය වන්නේ මධ්‍යම කඳුකරයෙන් ලැබෙන ජලය ඉහත කී ප්‍රදේශවලට ගෙන යෑමය. එය පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය කළ යුතුව පවතින ජාතික කාර්යයකි. දේශපාලකයන් එබඳු දුෂ්කර අභියෝග ජයගත යුතුව තිබේ. එසේ නොවුණහොත් නියඟයට ස්ථාවර විසැඳුමක් නැත.

 


නව අදහස දක්වන්න

Or log in with...