රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙක් සිරගත කරයි | දිනමිණ

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙක් සිරගත කරයි

රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ගවේෂණය කරමින් සිටි රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු රාජ්‍ය රහස් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ වරදට මියන්මාර අධිකරණයක් විසින් වසර හතකට සිරගත කරනු ලැබිණි.
 
වා ලෝන් (Wa Lone) සහ ක්යව් සෝ ඌ (Kyaw Soe Oo) යන දෙදෙනා අත්අඩංගුවට පත්වූයේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ට සපයන ලද නිල ලේඛණ කිහිපයක් සමගිනි.
 
තමන් නිර්දෝෂී බව දිගටම කියා සිටි ඔවුහු, මෙය පොලිසියේ සැලැස්මක් බව පවසති.
 
මෙම සිදුවීම මියන්මාරයේ මාධ්‍ය නිදහස පරීක්ෂාවට ලක්කළ අවස්ථාවක් බව පුළුල්ව සැලකිණි.
 
"මම බය නැහැ" යැයි නඩු තීන්දුවෙන් පසු කී, වා ලෝන් "මම වැරද්දක් කර නැහැ. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන මම විශ්වාස කරනවා" යැයි ද සඳහන් කළේය.
 
කුඩා දරුවන් ද සහිත පවුල් ඇති මේ මාධ්‍යවේදීන් දෙදෙනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට පත්වූ තැන සිට සිරගත කර සිටියහ.
 
"රොයිටර්ස් මාධ්‍යවේදීන් වන, වා ලෝන් සහ ක්යව් සෝ ඌ හට වගේම අද මියන්මාරයටත්, ඕනෑම තැනක මාධ්‍ය නිදහසටත් කනගාටුදායක දිනයක්," යැයි රොයිටර්ස් ප්‍රධාන සංස්කාරක ස්ටීවන් ඇඩ්ලර් (Stephen Adler) පැවසීය.
 
 
32 හැවිරිදි වා ලෝන් මෙන්ම 28 හැවිරිදි ක්යව් සෝ ඌ ද, උතුරු රඛයින් හි පිහිටි ඉන් ඩින් (Inn Din) ගම්මානයේ පුද්ගලයින් 10 දෙනෙකු හමුදාව විසින් මරාදමනු ලැබීම සම්බන්ධයෙන් සාක්ෂි රැස් කරමින් සිටියහ.
 
එම ගවේෂණය අතරේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලේඛන කිහිපයක් ඔවුන්ට දෙනු ලැබුව ද පසුව ඒවා සමග ඔවුන්ව අත්අඩංගුවට ගැනිණි.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුව තමන් විසින් ම විමර්ශනයක් කරන ලද බලධාරීහු, එවැනි ඝාතනයක් වී ඇති බව තහවුරු කළහ. ඊට සම්බන්ධවූවන්ට එරෙහි පියවර ගන්නා බවට ද ඔවුහු පොරොන්දු වූහ.
 
මියන්මාරයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින්, "මෙම තීන්දුව අතිශයින් ම කනස්සල්ලට පත්කරන්නක්," බව පැවසී යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
 
එසේම, "අද අධිකරණ තීන්දුවෙන් අතිශයින්ම කනස්සල්ලට පත්වුණා," යැයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරකවරයා ද කියා සිටියේය.

නව අදහස දක්වන්න