නෝ රඟ­ම­ඬ­ලින් පෙම් කතා තුනක් | දිනමිණ

නෝ රඟ­ම­ඬ­ලින් පෙම් කතා තුනක්

‘ජපානයට පළමු වරට ගොඩ බැස්සා වූ අමුත්තෙකුට නොබෝ දවසක් යාමට පෙර පෙනී යන කරුණක් නම් ජපනුන් තරම් නාට්‍යාභිලාෂී ජනතාවක් ලොව දුර්ලභ බවය. තෝකියෝ නගරයේ පිහිටි කබුතිසා නම් නෘත්‍ය ශාලාවේ මසකට විසිපස් වරක් පමණ උදේ 11.30 සිට රෑ 9.30 දක්වා හාරදහස් දෙනෙකුගෙන් පමණ යුක්ත වූ පිරිසක් ඉදිරියේ නාට්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරනු ලැබේ. කබුකි නමින් හැඳින්වෙන මෙම නාට්‍ය විශේෂය වර්තමාන ජපනුන්ට පවා එතරම් පහසුවෙන් නොතේරෙන බසකින් ලියැවී ඇත. එහෙත් ජපානයෙහි ඇත්තාවු නොයෙක් නාට්‍ය විශේෂ අතර කබුකි තරම්, ලොකු කුඩා සියලුදෙනා ප්‍රිය කරන නාට්‍ය විශේෂයක් නොමැත්තේය.

තෝකියෝ නගරයෙහි නෝ නාට්‍ය නමින් හැඳින්වෙන කබුකි නාට්‍යයට වඩා පැරණි වූ නාට්‍ය විශේෂය රඟ දැක්වීම සඳහා වෙන් කරන ලද ශාලා පහක් තිබේ. ‘නෝ’ නාට්‍ය කබුකි නාට්‍යයට වඩා පැරණි භාෂා විලාසයකින් රචිත හෙයින් වර්තමානිකයන් විසින් තේරුම් ගැනීම අපහසුය. එහෙත් අටුවා සන්න සහිත නාට්‍ය පෙළ රැගෙන අවුත් ඒවා වරින් වර බලමින්, මේ නාට්‍යයන් අවබෝධකොට ඒවායේ රස විඳීමට අවුරුදු දහඅටේ, දහ නවයේ තරුණ අය ද, අසූවේ අනූවේ මහලු අය ද දරන තැත පුදුම එළවන්නකි.’

ඉහත දැක්වුණේ 1967 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද ‘නාට්‍ය ගවේෂණ’ නම් ලිපි එකතුවෙහි එන ‘ජපානයේ නාට්‍ය කලාව’ නම් ලිපියෙන් උධෘත කොට ගත්තකි. සරච්චන්ද්‍රයන් ජපානය පසුබිම් කරගත් නවකතා දෙකක් ලියු අතර, එරට නාට්‍ය කලාවෙන්ද ආභාෂයක් ලැබුවේය.

පසුකාලීනව, ජපන් නාට්‍ය කලාව හා සාහිත්‍යය සිංහල පාඨකයා වෙත වඩාත් සමීප කරවීමේ ගෞරවය හිමිවිය යුත්තේ මහාචාර්ය ආරිය රාජකරුණාටය.

‘ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට කථා’ හා ‘රෂෝමොන්’ කෘතීන් ඇතුළුව, ජපන් තිර නාටක හයක් සිංහලටද, පහක් ඉංග්‍රීසියටද පරිවර්තනය කළ මහාචාර්ය රාජකරුණා, ජපන් නාට්‍ය කීපයක්ම සිංහලට නඟා පළ කළේය. ඉන්, ‘ජපන් නාට්‍ය සංග්‍රහය’ නම් කෘතියට 1981දී හොඳම පරිවර්තනය සඳහා වන රාජ්‍ය සම්මානය හිමි විය. 1975 දී ඔහු, ‘ජපන් නාට්‍ය තුනක්’ මැයින් පරිවර්තන ග්‍රන්ථයක් පළ කළේය. එහි එන ‘පියා ආපසු එයි’ නමැති ඒකාංගික නාට්‍යය ජපානයේ බෙහෙවින් ජනප්‍රිය වූවකි. කිකුචි හිරොෂි විසින් රචනා කරන ලද මෙම නාට්‍යයට පහළ මැද පංතික පවුලක ජීවිතය වටා ගෙතුණු පුවතක් වස්තු වේ. ‘ජපන් නාට්‍ය තුනක්’ කෘතියට අයත් අනෙක් නාට්‍ය දෙක, මිෂිම යුකිඔ විසින්, පැරණි නෝ නාට්‍ය සාහිත්‍යයට අයත් කතා පුවත් දෙකක් ඇසුරින් රචිතය.

මහාචාර්ය රාජකරුණාගේ සාහිත්‍ය සේවාව පරිවර්තන නාට්‍යයට පමණක් සීමා නොවීය. ‘ කවබත යසුනරිගේ කෙටිකතා’ දුෂ්ටාර්ථ සිද්ධිය’ (ආරිය රාජකරුණාගේ පරිවර්තන කෙටිකතා හතරක් ඇතුළත් ජපන් කෙටිකතා සංග්‍රහයකි.) ජපන් හයිකු කාව්‍යය, ගැහැනියකගේ චරිතාපදානය (නවකතාව) ජපන් ළමා කතා පොත් 2ක් එහි ලා දැක්විය හැකිය. ඊට අමතරව සිංහල සාහිත්‍ය පිළිබඳව කළ විචාර ග්‍රන්ථයන්ද බෙහෙවින් අගැයුමට ලක් වූ අතර, අද පවා පරිශීලනය කෙරෙයි.

මහාචාර්ය ආරිය රාජකරුණා ග්‍රන්ථාවලියට එක්වන ඔහුගේ නවතම පරිවර්තන කෘතිය ‘ මධ්‍යකාලීන නෝ නාට්‍යය’යි. නෝ නාට්‍යයෙහි නිර්මාතෘවරුන් දෙදෙනෙකු ලෙස සැලකෙන ශෙඅමි මො‍තොකියො හා කන්අමි කියොත්සුගු විසින් රචිත නාට්‍ය තුනක් මෙම කෘතියට ඇතුළත් වේ.

ක්‍රිස්තු වර්ෂ 14 වෙනි සියවසේදි ප්‍රභවය ලැබුවක් වන නෝ නාට්‍ය සම්ප්‍රදාය, නැටුම් ගැයුම් හා වැයුම්වලින් පෝෂිතය. පැරණි පෙරදිග දැකිය නොහැකි තරමේ නවීනත්වයක් ‍නෝ නාට්‍යයෙහි ගැබ්ව ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. සමකාලීන නාට්‍ය හා සිහින නාට්‍ය වශයෙන් නෝ නාට්‍ය කොටස් දෙකකට බෙදා දැක්වේ. ඉන් දෙවෙනි කොටස වර්තමාන රුචිකත්වයට බෙහෙවින් ගැළපෙයි. අසම්මත රංගයේ විශිෂ්ටයෙකු ලෙස සැලකෙන, රුමේනියානු ප්‍රංශ ජාතික යුශේන් ඉයොනෙස්කෝ ‘නෝ’ නාට්‍යය තුළ ඇති නවීනත්වය හඳුනාගත් හෙයින් එය ‘ඇවන්ගාඩ් තියටර්’ (Avant-garde Theatre) ලෙස නම් කළේය. ( කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණාත්මක හෝ නව විධි ක්‍රම හඳුන්වාදීමට භාවිත කෙරෙන ප්‍රංශ යෙදුමකි.)

මහාචාර්ය රාජකරුණා සිය පෙරවදනෙහි ලා සඳහන් කරන ඇන්දමට නෝ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාට නාට්‍ය රසයත්, කියවන පාඨකයාට සාහිත්‍ය රසයත් ලබාගත හැකිය. මධ්‍යතන යුගයට අයත්, දැනට ඉතිරිව තිබෙන නෝ නාට්‍ය පිටපත් සංඛ්‍යාව දෙසිය පනහක් පමණි. මේවා ගද්‍ය, පද්‍ය මිශ්‍ර භාෂාවකින් රචිතය. වාචිකාභිනය බෙහෙවින් අගය කොට සළකන නෝ නාට්‍යය, කාව්‍යමය ලක්ෂණවලින් අනූන පෙළින් යුතුය.

සිහින නෝ නාට්‍ය (Theatre of Dreams) කොටස් දෙකකින් යුතු අතර, පළමු කොටසේදී වර්තමාන සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු මුලින්ම වේදිකාවට පිවිසෙයි. ඉන්පසු අතීතයේ ජීවත් වූ ප්‍රසිද්ධ තැනැත්තකුගේ අවතාරයක් (ඔහු ප්‍රධාන චරිතයයි) ඔහුට මුණ ගැසෙයි. දීර්ඝ සංවාදයකින් පසුව, අවතාරය තමා කවරෙක්ද (කාගේ අවතාරයද) යන්න පිළිබඳ ඉඟියක් ලබා දෙයි. දෙවෙනි කොටසේදී, ඔහු පසුගිය ආත්මයේ තමාට සිදුවූ දෙය රඟ දක්වයි.

‘මධ්‍යකාලීන ජපන් නෝ නාට්‍යය’ කෘතියට අයත් වන ‘උමතු ප්‍රේමය’, ‘කිවිඳියකගේ ප්‍රේමය’ හා ‘මහල්ලෙකුගේ ප්‍රේමය’ යන නාට්‍ය තුනම, එම නම්වලින්ම ඇඟවෙන පරිදි ප්‍රේම කථා ඇසුරු කර ගනී. එම නාට්‍ය ත්‍රිත්වයෙන්, වඩාත් මා සිත් ගත්තේ කියොත්සුගු රචනා කළ ‘කිවිඳියකගේ ප්‍රේමය’යි.

කොමචි යනු මහත් ප්‍රසිද්ධියක් ඉසිලු කිවිඳියකි. එසේම ඇය අසාමාන්‍ය රූපශ්‍රීයකින්ද යුතු වූවාය. එහෙයින් ‍බොහෝ තරුණයන් ඇයට පෙම් කළද, කොමචි ඒ සැම දෙන සරදමට ලක් කිරීමෙන් කුරිරු ආස්වාදයක් ලැබුවාය.

මේ අතර රාජ සේවයෙහි නියුක්තව සිටි තරුණ නිලධාරියකු වන ෆුකකුස මෙම අහංකාර කිවිඳිය කෙරෙහි දැඩි ප්‍රේමයකින් බැ‍ඳෙයි. ඔහුගේ ප්‍රේමය පිළිගැනීමට නම්, එහි අවංක බව ඔප්පු කිරීම පිණිස රාත්‍රී සියයක් තම නිවෙසහි රථ ගාලෙහි වු ලී බංකුව මත නිදාගත යුතු යැයි ඇය දන්වයි. එසේම හිමිදිරියෙහි ආපසු යාමට පෙර, ඔහු එහි ආ වාර ගණන බංකුවේ සටහන් කළ යුතුය. ඇගේ ප්‍රේමය දිනා ගැනීමට තිබූ බලවත් ආශාව නිසා තරුණයා මේ අභියෝගය පිළි ගනී. එහෙත් සියවන රාත්‍රිය එළඹෙත්ම ඔහු අසාධ්‍ය රෝගයක් වැළඳී මිය යයි. ඇය ඔහු සරදමට ලක්කරමින් කාව්‍යයක් රචනා කරයි.

මේ අතීත කතාව පසුබිම් කරගත්, නෝ නාට්‍යය තුළින් ඉදිරිපත් කෙරෙනුයේ කොමචි කිවිඳිය බොහෝ වියපත් වීමෙන් පසු (අවුරුදු 100ක් පමණ) ඇයට අත්වන ශෝකජනක ඉරණමයි. අන්ත අසරණභාවයට පත්වන ඇය, අගනුවර වීදිවල සිඟමන් යදී.

බෞද්ධ භික්ෂුන් කීප දෙනෙක් මේ මහලු කත කලකට ඉහත සුප්‍රසිද්ධව සිටි, කොමචි කිවිඳිය බව හඳුනා ගනිති. ඕ තම තරුණ කාලය පිළිබඳව විස්තර කරයි. ඉන්පසු ඇයට මියගිය තරුණයාගේ අවතාරය ආවේශ වෙයි. එතැන් සිට ඇය, ඔහු රාත්‍රී අනූනවයක්ම තම ප්‍රේමය පතා නිවසට පැමිණි ආකාරයත්, ඔහුගේ සිතුම් පැතුම් ආදියත් නිරූපණය කරයි.

නාට්‍ය අවසාන වන්නේ, බුදුන් සරණ යන ඇය ජීවිතය පිළිබඳ සත්‍යය සාක්ෂාත් කොට ගෙන, මානසික සුවය අත්පත් කර ගැනීමෙනි. කොමචි චරිතය, ථෙරිගාථා සිහිගන්වන සුළුය. තුරුණු වියේදි තම රූපාලංකාරයෙන් දුටු දුටුවන් උමතු බවට පත් කළ කොමචි, මහලුව ජරාවට පත්වූ කළ මෙසේ ශෝක වෙයි.

භද්‍ර යෞවනයේදි මගේ රූපාලංකාරය ගැන අහංකාර වීමි.

එය ගැන සිහිවන විට පවා දුකක් උපදියි.

අතිශයින් කාලවර්ණ මගේ කෙස් කලඹ වසන්තයේ මඳ පවනට සරසර ගා සැලෙන

වැලපෙන විලෝ අත්තක් මෙන් පහළට ඇද හැලෙමින් තිබිණ.

කොවුලඟනන්ගේ මිහිරි නාදය

මගේ කට හඬට පරාජය විණි

පරවී බිම හැලෙන්නට පෙරාතුව

පිනි වැටී බබළන රෝස මල්පෙති

මගේ රූ සපුව හමුවේ

හිරු දුටු කණා මැදිරියෙකු බඳු විය

දැන් මා මෙලොව සිටින පහත්ම මිනිසාට පවා පිළිකුල් දර්ශනයකි

අර කොමචි කිවිඳිය නේදැයි

ඔවුනොවුන් කතාබහ කරනු ඇතැයි බියෙන් සිටිමි.

‘උමතු ප්‍රේමය’ නමැති නාට්‍යයෙහිදීද , රූප සම්පන්න කිවිඳියක හා ඇයට පෙම් කරන චීන අධිරාජයෙකු පිළිබඳ කතාවක් මූලාශ්‍රය වෙයි. මෙම නෝ නාටකයෙහි නම් භූතාත්මයක් දක්නට නොලැබෙන නමුදු, හනගෝ නමැති තරුණිය (ප්‍රධාන චරිතය) උමතු භාවයට පත්වෙයි.

‘මහල්ලෙකුගේ ප්‍රේමය’ නාට්‍යයේදී රජ මැදුර අමදින මහල්ලෙකු හා ඔහුට පොකුණක් අසලදී දක්නට ලැබෙන රූමත් තරුණියක හා ඇතිවන සබඳතාවක් වස්තු කර ගනී. කොමචි කිවිඳිය මෙන්ම, මෙහි එන රූමතියද මහල්ලාට අභියෝගයක් කරයි. එනම් උයනේ කත්සුර ගසක බෙරයක් එල්ලා තබන බවත්, එය තමාට ඇසෙන සේ වාදනය කළහොත් පමණක් ඔහුට හමුවීමට අවස්ථාවක් ලබාදෙන බවත්ය. එහෙත් එය, හඬක් නොනැ‍ඟෙන සේ, සේද වස්ත්‍රයක් (සම වෙනුවට) යොදා කළ බෙරයකි. ඉන් කලකිරීමටත් , වේදනාවටත් පත්වන මහල්ලා දිවිනසා ගනී.

පසුව, නෝ නාට්‍ය සම්ප්‍රදායට සුපුරුදු පරිදි, මහල්ලාගේ අවතාරය තරුණියට ආවේශ වෙයි. නෝ නාට්‍ය තුළ දක්නට ලැබෙන ශුභවාදී දෘෂ්ටිය වෙනුවට මෙහි ඇත්තේ අශුභවාදී දෘෂ්ටියකින් යුත් අවසානයකි.

මෙම නාට්‍ය කියවන්නෙකුට ජාතක කතාවන්හි, එන වර්තමාන කතාව හා අතීත කතාව (ඉකුත් වත) කීමේ ශෛලිය සිහිපත් වනු ඇත. එසේම, නෝ නාට්‍යයේ මුඛ්‍ය පරමාර්ථයද බුදු සමයේ බලමහිමය හා මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබිඹු කිරීමයි. එහෙයින් නෝ නාට්‍ය ප්‍රේක්ෂකයා, රඟහලින් නික්ම යන්නේ ආනන්දය තුළින් ප්‍රඥාව ලබමිනි.

නෝ නාටකයෙහි කාව්‍යමය සංවාද සරල ලෙස සිංහලයට නැඟීමට මහාචාර්ය රාජකරුණා සමත්ව ඇත්තේ, දෙබස පිළිබඳ ඔහුගේ වියත් බවද පෙන්වමිනි. එසේම, ඒ සරල බව මෙම කෘතිය එකදිගට කියැවිය හැකි රසවත් කෘතියක් බවටද හේතුවක් වෙයි.

‘මධ්‍යකාලීන නෝ නාට්‍යය’ කෘතිය සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ කෙටි සංවාදයකදි, මාහාචාර්ය රාජකරුණා මෙසේ පැවසුවේය.

‘සමහරවිට මෙය මගේ අවසන් පරිවර්තන කෘතිය විය හැකිය.’

නෝ නාටකයක අවසානයේදි මෙන්ම, මම ඉන් සසල වීමි.

‘ඔබ තුමා ඇයි එහෙම කියන්නේ?’

‘අපි දැන් වයසයිනෙ’

එමොහොතේ, ඔහු මුවඟ නැ‍ඟෙන්නට අති මන්දස්මිතය මම මවා ගතිමි.

ආරිය රාජකරුණා යනු, සිංහල සාහිත්‍යයට ඉමහත් සේවාවක් කළ, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහාචාර්යවරයෙකි. මෙබඳු වියතුනට අනුප්‍රාප්තිකයන් බිහි නොවීමද මෙරටින්, සරසවිය පලාගොස් ඇති බවට කියා පාන්නකි.

තම ජීවිතය පිළිබඳ ආවර්ජනයක යෙදෙන කල, නෝ නාටක සිංහලයට නැඟීමෙන් කළ විශිෂ්ට සේවාව පමණක් වුව, එතුමාට සෑහීමකට පත්වීමට ප්‍රමාණවත් යැයි සිතමි.

කපිල කුමාර කාලිංග

 

නව අදහස දක්වන්න