පිස්සුද? හැටිද? | දිනමිණ

පිස්සුද? හැටිද?

“උඹට මතකයිද බුද්ධදාස? ‍ජෙමා, කුමාගෙන් ඇහුවා. ටිකක් වෙලා කල්පනා කළ කුමා, 'කොයි...?, මේ අර හිටපු නගරාධිපතිද, කියලා ඇහුවා.

“නෑ බන්. උඹත් එක්ක ඒ දවස්වල පොළේ ගියේ.“

“ආහ්...ඔව්.ඔව්. දැන් මිනිහා අනුරාධපුර පැත්තෙ කුඹුරු වැඩ කරගෙන ඉන්නවා කියලා ආරංචියි. ඒත් අවුරුදු දහයකින් වත් හම්බවුණේ නෑ“ කුමා කිව්වෙ සිරාවටමයි. ඒ කතා බහ අහගෙන හිටපු නෙළුමා මැද්දට පැනලා බිබී හිටපු කහට කෝප්පය බිමට හළලා කේන්තියෙන් වගේ ජෙමා දිහා බැලුවා.

“මේ මේ අනං මනං සද්ද බෑ. බුදු දහමට, බුදුන් වහන්සේට නිගා දෙන නම් දාන්න බෑ.“ නෙළුමා ටිකක් සද්දෙන් කීවා. ඒ වෙද්දි ගල් බනිස් ගෙඩියක බාගයක් ගිල දමා හිටපු ඉස්කෝලෙ මහත්තයාට ඉස්මුරුත්තාවට වගේ ආවා. මං ලෑල්ල උඩ තිබිච්චි වතුර ‍ජෝගුව ඉස්කෝලෙ මහත්තයාට ළං කෙරුවා.

“කවුද බුදුන් වහන්සේට අපහාස කරන කතා කීවේ?' ජෙමා ඇහුවා.

“නෑ දැන් මේ ටිකකට ඉස්සරලා කීවේ, 'බුද්ධදාස' කියල නමක්. එ් වගේ නම් දාන්න බෑ.“

“යකෝ අපි දාපු නමක් නෙවෙයි, ඒක බුද්ධයගෙ අම්ම හරි තාත්ත හරි දාන්න ඇති. අපි කීවේ අපේ හිටපු පරණ යාළුවෙක් ගැන“ කුමා කීවා.

“එහෙම බෑ. බුද්ධ කියන වචනය ගාවන්න බෑ. ඒක බුදුන් වහන්සේට කරන අපහාසයක්. අර 'බුදුන්ගේ රස්තියාදුව' කියලා පොතක් ලීව කෙනෙකුටත් හෙන පෝරියල් එකක් සෙට් වෙලා තිබුණා. ඔහෙලට ඒවා ආරංචි නැද්ද?“ නෙළුමා ඇහුවා. ඉස්කෝලෙ මහත්තයා හිනාවෙලා ගල් බනිසයේ ඉතිරි කෑල්ලත් ගිල දාලා, වතුර ටිකක් බීවා.

“තරුවන් සරණයි' කීව කියලත් කවුද රේඩියෝ මහත්තයෙකුට ගේම දීලා.“ නෙළුමා, තමන් දන්න තවත් කතාවක් ඒකට ඈදලා ගත්තා.

“යකෝ අර පීටරයා..උඹට මතකද? පීටර් තිසරණ පෙරේරා...අර ‍අතින් කයිට් කරගෙන ෆොටෝ ගගහ යන මෑන්...උගෙ තාත්තලා කතෝලික වුණත් මිනිහට 'තිසරණ' කියලා නම දාලා තියෙන්නෙ?“ ජෙමා, කුමාට මතක් කළා.

“අපොයි ඔව්. හිත හොඳ එකා. මං පෙරේදත් බුකියෙ එකෙකුගෙ මඟුල් ගෙදරක ෆොටෝ ගගහ ඉන්නවා දැක්කා“

“හිත හොඳ වුණාට කරන්න දෙයක් නෑ. ඒ නම අයින් කරගන්න කියන්න වෙනවා. විශේෂයෙන් අන්‍යාගමික කෙනෙක් වෙලා බුදු දහමට එහෙම අපහාස කරන්න දෙන්න බෑ.“ නෙළුමා කියන්න ගත්තා. මෙතෙක් වෙලා කට වහගෙන පැත්තකට වෙලා හිටපු ඉස්කෝලෙ මහත්තයා කට ඇරියා.

“මං මේ අපහාසයකට උපහාසයකට කියනව එහෙම නෙවෙයි. අපේ නෙළුමා ඉතිං ඉස්කෝලෙ හතරෙ පංතියට විතරක් ගිය එකා නොවැ. කුලියකට මලියකට ත්‍රීවීල් එකක් දක්කලා හරි, කාටවත් බරක් නොවී දවසේ වේල හොයාගන්න එකා. ඒත් අනුන්ගෙන්ම කාලා, ඇඳලා ඉන්න ආචාර්ය මහාචාර්ය පට්ටම් ගහ ගත්තු සමහර ගණින්නාන්සේලා මේ නෙළුමා වගේ කවුරු හරි කියපු දෙයක් අහලා කුලප්පු වෙලා, එහෙමත් නැත්නම් පොතක පිට කවරයක් දැකලා නටන නාඩගම් දැක්කම ශාසනේ විතරක් නෙවෙයි ජීවිතේම එපා වෙනවා.“

“මං හතරෙ පංතියට ගියාට මට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙනවා.“ නෙළුමා රවා බලමින් කීවා.

“කැක්කුම තියෙන එක නරක නෑ. කැක්කුම හොඳටම වැඩි නම් ඔය ජෙමාගෙන් සිද්ධාර්ථෙ තෙල් ටිකක් ඉල්ලගෙන ගාපන්. බඩේ අමාරුවකුත් තියෙනව නම් 'බුද්ධ රාජ කල්කයෙන්' ගුලියකුත් ඉල්ලගෙන බීපන්“ ඉස්කෝලෙ මහත්තයා කීවා.

“ඒ පාර එක එක තෙල් බෙහෙත් කාරයොත් බුද්ධාගමේ නම විකුණගෙන කනවද?“ නෙළුමාට තවත් තරහ ගියා.

“ජෙමාගෙ පෙට්ටි කඩේ කියන්නෙ බුද්ධාගම විනාශ කරන තැනක්. මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. අධිරාජ්‍යවාදී ආගමික මූලධර්මවාදීන්ගේ ඕනෑ එපා කම් මත දේශීය සංස්කෘතිය විනාශ කරන, උතුම් බුදු දහමට නිගාදෙන විදිහේ කට්ටිය එකතුවෙලා සාකච්ඡා කරන තැනක්. මේ වගේ තැන් විනාශ කරන්න ඕන. බුදු දහම රැකගන්න ඒ වගේ උතුම් වැඩකට හවුල් වෙන එක මට සතුටක්. මං මේ ගැන මොකක් හරි කරනවා.“ එහෙම කියලා නෙළුමා, තරහින් පුපුරමින් වටේ ම හිටපු උන්ගෙ මූණු දිහා බලලා, ඔළුව හොල්ලලා යන්න ගියා.

“ඒ මට බනිස් ගෙඩියෙයි ප්ලේන්ටියෙයි සල්ලි දීලා යන දේවාලෙක පලයන්“ ජෙමා කෑගැහුවා.

ඒත් ඒ කතාව ඇහෙන තෙක් මානයක නෙළුමා හිටියෙ නෑ.

“මූට ඇත්තටම පිස්සුද? නැත්නම් තේ එකේ ගාණ දෙන්න වෙනවට තක්කඩි කමටද?“ ඉස්කෝලෙ මහත්තයා ඇහුවෙ මගෙන්.

දීපං කො උත්තර. පිස්සු බල්ලො වගේම ජාතියයි, ආගමයි ඉස්සරහට දාගෙන නාඩගම් නටන හැමෝම දැක්කම අහන්න තියෙන්නෙත් ඔය ප්‍රශ්නයමයි.

“මුන්ට ඇත්තටම පිස්සුද නැත්නම් තක්කඩිකමද?“

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...