සුනිල් ආරි­ය­ර­ත්නයෝ කව්සි­ළු­මිණි වරුණ කියා පෑහ | දිනමිණ

සුනිල් ආරි­ය­ර­ත්නයෝ කව්සි­ළු­මිණි වරුණ කියා පෑහ

කව්සිළුමිණ කවි රසයට මා පළමුවෙන් ලොබ බඳින්නේ සරසවියේ පළමු වසර උසස් පෙළ ශිෂ්‍ය මාණවකයෙකුව සිටිය දීය. එදවස මහැදුරු සුචරිත ගම්ලත්ගේ කව්සිළුමිණි විනිස (1966) කියවන්නට ලැබුණු පසුව ය. “කව්සිළුමිණ හෙළ කව් ලොවේ පමණක් නො ව සකු කව් ලොවේ ද සිළුමිණ යි. එය විශ්ව සාහිත්‍යයට ඇතුළත් විය යුතු ශ්‍රේෂ්ඨ ගණයේ නිර්මාණයකි.“ කව්සිළුමිණ පිළිබඳ මෙම අර්ථකථනය කරන ලද්දේ අස්මදාචාර්ය සරච්චන්ද්‍ර මැතිඳුන්ගේ වාචනා මාර්ගයෙහි පිහිටා බව මහාචාර්ය ගම්ලත්හු තම පෙර වදනේ සඳහන් කොට ඇත. ප්‍රථම වර්ෂ පරීක්ෂණය සඳහා ද ඉන් පසුව උපාධිය සඳහා වූ දෙවසරෙහි ද පැරැණි සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ දෙසුම් හි දඹදෙණි රාජ්‍ය සමයේ දී කලිකල් සවැනි පැරකුම්බා නරදේවයන් විසින් රචිත කව්සිළුමිණ පිළිබඳ කියැවුණු කරුණු අභිරුචියකින් සවන් දුන් බව මතකය. මහැදුරු ගම්ලතුන්ගේ කව් සිළුමිණි විනිසෙහි අතිශයින් රසවත් බසින් විවරණය කොට තිබූ අනු මාතෘකා යටතේ වූ තොරතුරු කව්සිළුමිණ සොයා ගෙන කියවීමට තරම් අප පෙළඹ වූ බව සඳහන් නොකොට සිටිය නොහැකිය. කවි සිත උපන් ලිය, සැබෑ වූ සිහිනය, නිසයුරු අඳුරු කො සමඟ? සැළමුතු නුගිනුරා රස වන් අනු මාතෘකා ඔස්සේ විස්තර කෙරුණු උත්සව වර්ණනා, ස්ත්‍රී රූ සොබා, මධුපානෝත්සව වර්ණනා , කුස රජු වලප , සෘතු වර්ණනා එදවස අප සිත් පැහැර ගත්තේ ගම්ලත් මහැදුරුතුමන්ගේ අපූරු භාෂා ශෛලිය නිසාම නොවේද? කව් සිළුමිණෙහි 317 වන පද්‍යය මෙසේය.

සවසනෙලෙ යතමෙන් ලවනත රතු වුවන් ගත්

වලඳුතු ළපිරුණු නුරා නුවනග වහන් ගත් මෙන්

ගම්ලත් මහැදුරුතුමා මෙහි අර්ථය පවසන බසෙහි රසවත්බව විමසීම වටී.

“රජු මෙහෙසිය වැලඳ ගනුත් ම ඇගේ පයෝධරයන්ගෙන් රජුගේ ළෙහි තැවරුණු කොකුම් ආලේපය අනංගයාට රජුගේ හදවත නමැති ගෙට ඇතුළු වීම සඳහා තැබූ මණ්ඩලයක් බඳු වීය.“

දශක කිහිපයකට පෙර යෞවන ශිෂ්‍ය මාණවකයෙකුව සිටිය දී කව්සිළුමිණ ආශ්‍රයෙන් විඳි මිහිර පෙර දා මෙන්ම මෙම දා ද හදවත රැඳී තිබුණ ද එය යළි අවදි කරවන්නට මහැදුරු සුනිල් ආරියරත්නයෝ පසුගිය දිනෙක සමත්වූහ. 2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල සමගාමීව අගෝස්තු 28 වනදා කොළඹ ශ්‍රී ලංකා පදනමෙහි දී පැවැත් වූ සාහිත්‍ය දේශනයෙහි මාතෘකාව වූයේ කව්සිළුමිණ, සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පද්‍ය කාව්‍යය ද යන්න යි. හෝරාවක් හා අඩකටත් ආසන්න කාලයක් පුරා එතුමන් පැවැත්වූ දේශනය, ශාස්ත්‍රීය හා සරල දෙබසින්ම මිශ්‍රව ඉදිරිපත් වූවක් බැවින්, ඊට වශීකෘත වූ පිරීතිරී ගිය පදනම් ආයතන ප්‍රෙක්ෂාගාරය ඇවැසි තන්හි නිසි ප්‍රතිචාර ද දක්වමින් උපරිම වූ වින්දනයක් ලැබූ බව පෙනිණ. මහාචාර්ය සුනිල් තම මාතෘකාවට ප්‍රවේශ වූ තන්හි සිට ඊට ඇතුළත් වූ ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක අන්තර්ගතය ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට හේතු වූවැයි සිතමි. මාතෘකාවට අදාළ එතුමන්ගේ ප්‍රතිසේවනය හා විමර්ශනය එතුමන් තුළ ජීවත්වන නිර්මාණශීලී කලාකරුවාත්, පර්යේෂණකාමී ඥාන ගවේෂකයාත්, ප්‍රවිචාරී ප්‍රකාශකයාත් පිළිබඳ සමවායී සමායෝගයෙහි ප්‍රතිමූර්තිය බව හඳුනාගන්නට ලැබුණු දුලබ අවස්ථාවක් ලෙස දකිමි. ඔහු වැනි ශාස්ත්‍රඥයෝ වර්තමාන සරසවි ආචාර්ය ප්‍රජාව තුළ දක්නට ලැබෙන්නේම නැති තරම්ය. ඔහුගේ දේශනයෙන් මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලෙහි සමාරම්භය සටහන් කිරීමට ලැබීම මෑත කාලීන රාජ්‍ය සාහිත්‍ය උළෙල ඉතිහාසයෙහි විශිෂ්ට කඩඉමක් වූ බව විවාදයෙන් තොරය. ඒ සඳහා මුල් වූ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා, අගනා සාහිත්‍යකාමී ආරම්භයක පෙර ගමන්කරුවා වූ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය මෙරට සාහිත්‍ය ලෝලී රසික ප්‍රජාවගේ ගෞරවයට හා කෘතවේදීත්වයට පාත්‍ර වූ බව නොඅනුමානය.

කව්සිළුමිණි කර්තෘවරයා, කෘතියෙහි කාව්‍ය මාර්ගය, මූලාශ්‍රය, කුස ජාතකය, මූලාශ්‍ර සංස්කරණය, කුස පුවත කව් සිළුමිණි මහා කාව්‍යය සඳහා බෙදා ගත් සර්ග පහළොව, කුස කතා වැනි කතා, කාව්‍ය ආකෘතිය හා විරිත්, සංශෝධන, කවිත්වය හා සමෝධානය යටතේ තම දේශනය ගොඩනගා ගත් සුනිල් ආරියරත්න ඇදුරුතුමා විසින් කව්සිළුමිණි කාව්‍ය මාර්ගය හා කවිත්වය පිළිබඳ දීර්ඝව ඉදිරිපත් කොට ඇති ශාස්ත්‍රීය කරුණු අපගේ සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍යය පිළිබඳ පර්යේෂණයන්හි නිරත විද්වතුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මතු නොව, වර්තමානයේ කාව්‍යකරණය ඉතා පහසු කලා මාධ්‍යයක් යැයි සිතමින් කාව්‍යකරණයට පිවිසෙන නවීන කවි කිවිඳියන් විසින් ද කියවා බැලිය යුතු අගනා, වටිනා කරුණු දැක්වීමක් ලෙස හඳුන්වමි. සියබස්ලකර ඔස්සේ සිංහලට ආ අලංකාරවාදය නමැති විචාර චින්තාව ඔහු විසින් අපූරුවට විග්‍රහ කොට තිබෙන්නේ මෙලෙසය.

“ අලංකාරවාදීහු කාව්‍යය (1) කාව්‍ය ශරීරය, (2) අලංකාර යනුවෙන් දෙකොටසකට බෙදති. කාව්‍ය ශරීරය යනු කවියාගේ අදහස් ප්‍රකාශ කරන්නා වූ වචන සමුදාය යි. අලංකාර යනු වචන සමුදාය නොහොත් කාව්‍ය ශරීරය සරසන්නා වූ ආභරණ යි. මේ අලංකාර (1) ශබ්දාලංකාර (2) අර්ථාලංකාර යනුවෙන් දෙ වැදෑරුම් වේ. ශබ්ද මාධූර්යය උපදවන්නා වූ එළිසමය, අනුප්‍රාසය ආදිය ශබ්දාලංකාර යි. උපමා රූපකාදිය අර්ථාලංකාර යි. අලංකාර අතුරින් උත්තම අලංකාරය වනාහි අතිශයෝක්ති අලංකාරය සහ උපමාලංකාරය යි.“ ( දේශන පිටපත් - පිටුව 29 )

අලංකාරවාදයෙන් වුව කවිය පිළිබඳ අපගේ ඥාන සම්භාරයට එක් කර ගත හැකි අගනා විග්‍රහයක තතු ඇදුරුතුමා විසින් දක්වා ඇත. සිංහල කවි කලාවට බහුල වශයෙන් ශෘංගාරය කාන්දු වී ඇත්තේ සංස්කෘත කවි කලාව ඔස්සේ බවයි ආරියරත්න දේශකයා විසින් පවසා තිබූයේ. ඕනෑම රසිකයකුගේ සිත් පැහැර ගන්නා ශෘංගාර රසය, සහෘදයන් වෙහෙසට පත්වීම වළක්වන බව සකු පඬුවෝ විශ්වාස කළ බව ද ඔහු තවදුරටත් පෙන්වා දී තිබේ.

කව්සිළුමිණි කරුවා ගේ කවිත්වයට අපූරු නිදසුන් සේ දැක්විය හැකි ස්ත්‍රී වර්ණනා උපුටන කිහිපයක්ම ආරියරත්න මහැදුරු විසින් තම දේශනයට ඇතුළත් කොට ගෙන තිබිණ. පබාවතියගේ රූප සෝබාව කව්සිළුමිණි කවියා වර්ණනා කරන්නේ මෙලෙසය.

 

දුවන් පියවුරු දුටු මහපතරාම මුත් බඹ

සියුම් කැමි නොපොහොයී දිය බඳ සඳ විහිදි මැද ( 234 )

මෙහි අරුත මෙසේය.

උකුළු ප්‍රදේශය හා පයෝධරයන් දුටු අයගේ සිත්හී 'මහාබ්‍රහ්මයා විශාල කර්මාන්තයන් කිරීමෙහි මිස සියුම් කර්මාන්තයන් කිරීමෙහි අපොහොසත් ය ' යනුවෙන් ඇතිවුණු සැකය ඇයගේ ඉඟටිය නිසා දුරු විය. මේ පබවත් වැනුම, දෙවන පරාක්‍රමබාහු රජුගේ මහාකවිත්වයත්, ශාබ්දිකත්වයත්, චින්තන ශක්තියත් මිශ්‍ර වූ අවස්ථාවක් ලෙස යි. ඉහත ගීය ඒ ප්‍රකාශයට අතිශයින් යෝග්‍ය නිදසුනකි.

මධුපානෝත්සව වර්ණනාව කව්සිළුමිණි කවියාගේ ශෘංගාර හැඟුම් ජනනය කෙරෙන කවිත්වයට දෙස් දෙන ගී රැසකින් සමන්විත සර්ගයකි.

 

රඟොත මතඟනක ඉහිල් වසන් දෙසේ නෙත්

තහත පියොදමිනෙ නිරිඳු කෙළේ මීමත ම වෙසෙස් ( 296 )

මෙහි අරුත පාඨක සිත රාග නිශ්‍රිත හැඟුමින් අවදි කරනු ලබන සුන්දර අවස්ථාවකි. මත් වූ රජුගේ හැසිරීම් විලාසය කෙබඳු ද?

' නැටුම් ගත් මත් වූ එක් කාන්තාවකගේ ලිහිල් වූ වස්ත්‍රය දෙස නරේන්ද්‍රයා නිරතුරු ව බලමින් මී බී මත් වූ ඒ කාන්තාව ම අන්‍යයන්ගෙන් විශේෂ කෙළේය.( ඒ කාන්තාව ම කෙරෙහි සැලකිලිමත් විය )

සම්භෝග ශෘංගාරය කව්සිළුමිණෙහි බොහෝ ගී තුළ පෙනේ. එහෙත් සංස්කෘත විචාරකයන් පවසා ඇත්තේ විප්‍රලම්භයෙන් තොර ශෘංගාරය රසවත් නැති බවයි. කුස වැලපුමෙහි එන මෙම ගීය විප්‍රලම්භ ශෘංගාරය මුසු වූ අවස්ථාවකි.

 

රතොට රතැදියෙම් කොපොල් පතලේ බිඳියෙම්

තනහස මුස කළෙම් නිදොසිම් ලු හා නුගියට (559 )

රතු වූ තොල්වල රත් පැහැය ඇද ගත්තෙමි; කම්මුල්හි පත්‍ර ලේඛා බින්දෙමි; පයෝධර නමැති හංසයන් මූර්ජා කළෙමි; භාර්යාවට මම නිර්දෝෂයෙම් ලු - අහෝ ( 559 )

මහගම සේකර වැනි කවියකු ගේ ගේය පද සංකල්පනාවක මේ කවියේ සෙවණැල්ල වැටී තිබෙනු දැක ගත හැකිය. නල දමයන්ති මුද්‍රා නාටකයෙහි නල කුමරු වර්ණනයේ දී කුමරු යෞවන කාන්තාවන්ගේ පියවුරු නමැති හංසයන් මුසපත් කළ බව ඈත කඳුකර ගීතයෙහි දී කියැවේ. “රනින් කළ වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ...“

විද්වතුන් අතුරින් බහුතරය පවසන්නේ සම්භාව්‍ය සිංහල පද්‍ය කාව්‍ය සාහිත්‍යයෙහි අග්‍ර කෘතිය කව්සිළුමිණ බව යි. මහාචාර්ය සරච්චන්ද්‍ර, වැලිවිටියේ සෝරත හිමියෝ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජයවර්ධන හා මහාචාර්ය ඒ.වී.සුරවීර ආදීහු ඒ අතර වෙත්. එහෙත් මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට අනුව, සිංහලයේ අග්‍රගණ්‍ය පද්‍ය කාව්‍යය වන්නේ ගුත්තිලයයි. මහාචාර්ය සුනිල් ආරියරත්න තම දේශනය අවසන් කරන්නේ කව්සිළුමිණ සිංහල කවියෙහි චූඩා මාණික්‍යය බැවින් කව්සිළුමිණ යන නම කව් සිළුමිණට අන්වර්ථ වේ යැයි පවසමිනි.

කුස ජාතකය විෂය කොටගත් පසුකාලීන නිර්මාණ කෘති හා ප්‍රාසංගිකාංග විවරණය ඉදිරිපත් කළ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩල සභාපති මහාචාර්ය සමන්ත හේරත් විසින් කුස ජාතක කාව්‍යය, කුස නාඩගම, කුස ජාතක දෘශ්‍ය කාව්‍යය, පබාවතී නාට්‍යය යන කෘතීන්ගෙන් උපුටා ගත් ගීත හා කවි අනුසාරයෙන් නිමැවුණු ප්‍රාසාංගිකාංග පිළිබඳ අර්ථකථනය ද මුඛ්‍ය දේශනයට ආලෝකයක්ම විණැයි සිතිණ. මුඛ්‍ය දේශකයා කුස පබවත පුවතට පෙම් බැඳි සහෘදයකු බව සිහිපත් කරමින් ඔහුගේම සිනමා කෘතියක් වූ කුස පබාහි අපූරු ප්‍රේම ගීතයක් ද ප්‍රාසාංගිකව වේදිකාව මත රංගගත වනු දිටිමි. ඉන්දිකා උපමාලි, නිශ්ශංක දිද්දෙණිය, රවිබන්ධු විද්‍යාපති , මහානාම වික්‍රමසිංහ , අනුෂ්කා ඒකනායක , නුවන් තීක්ෂණ ලියනගේ ආදී වූ පරිවාර කලාකරුවන්ගේ ප්‍රාසාංගික දායකත්වය, කව්සිළුමිණි වරුණ කියා දුන් මහැදුරු සුනිල් ආරියරත්නගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානයෙහි අරුත ද රසය ද ඉහළට ඔසවා තුබූ නිර්මාණශීලී කාර්යාවලියක් වීය.

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...