දෙවැනි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන්... | දිනමිණ

දෙවැනි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන්...

ඩඩ්ලි සේනා­නා­යක

ගතවෙමින් පවතින දවස්වල මැතිවරණයක් නැතත් මැතිවරණ පිළිබඳව කතාබහක් නම් පවතී. 2020 අවුරුද්දට නියමිත ජනාධිපතිවරණය උදෙසා කල්තබා ම සූදානමක් පවතිනු නිරීක්ෂණය කළ හැක. නිල කාලය අවසන් වූ පළාත් සභා තුනක් සඳහා මැතිවරණ පැවැත්විය යුතුවේ ලු. මේ වනාහි මැතිවරණ උදෙසා පොරපිටි සකස් වීමට නියමිත කාලයයි. ඉතින් අපිදු පැරණි මැතිවරණයක් පිළිබඳ ව ඔබේ මතකය අවදි කරන්නට කල්පනා කළෙමු. ඒ 1952 මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයයි. අදින් අවුරුදු 66 කට පෙර පැවති ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. දෙවන පාර්ලිමේන්තු මැතිවරණය වුව ද එම මැතිවරණය අපට 1948 නිදහස ලැබීමෙන් පසු පැවති ප්‍රථම මැතිවරණයයි. මන්ද මුල් ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ නිදහස ලැබෙන්නට පූර්වයෙන් 1947 දී බැවිනි.

1952 මහ මැතිවරණය පිළිබඳ ව මතකයක් ඇති අය අප අතර සිටිය හැක්කේ සුළු පිරිසකි. 1952 දී ඡන්දය ප්‍රකාශ කළ අය ඇත්නම් ඒ ඉතා අල්ප පිරිසක් විය යුතු ය.

1952 මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ මාස 7ක් පමණ කල් ඇතිව ය. ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා ව්‍යායාම් පිණිස අසු මතින් ගමන් කරන විට ‘චිත්‍රා’ නම් වෙළඹ පිටින් වැටී 1952 මාර්තු 22 වනදා මිය ගියේ ය. ඔහු පුත් කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා 1952 මාර්තු 26 වනදා නව අග්‍රාමාත්‍යවරයා සේ දිවුරුම් දුන්නේ ය. ඔහු 1952 අප්‍රේල් 8 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. පියාගේ අභාවය හේතුවෙන් ජනතාව තුළ ඇති වූ ශෝකාකූල හැඟීම් සහිත වාතාවරණය වැඩි බලයක් ලබා ගැනීමට හේතුවෙති’යි ඩඩ්ලි සේනානායක මහතා කල්පනා කරන්නට ඇත.

1952 දී මැතිවරණ කොමසාරිස් ධුරය දැරූ ‘වික්ටර් ලොයිඩ් වීරසිංහ’ මහතා 1952 අප්‍රේල් 28 වැනි දා නාමයෝජනා කැඳවී ය. ආසන 95ක් සඳහා ස්ථාන 43ක දී අපේක්ෂකයෝ 304ක් නාම යෝජනා ලබා දුන්හ. මැතිවරණ සඳහා පහත ආකාරයෙන් දින නියම කෙරිණි.

මැයි 24 - කොට්ඨාස 20 (ආසන 23) මැයි 26 - කොට්ඨාස 24 (ආසන 25)

මැයි 28 - කොට්ඨාස 21 (ආසන 21) මැයි 30 - කොට්ඨාස 24 (ආසන 26)

(කොට්ඨාස ප්‍රමාණය සහ ආසන ප්‍රමාණය එකිනෙකින් වෙනස් වන්නේ ඇතැම් කොට්ඨාස බහු මන්ත්‍රී ආසන වන බැවිණි.)

එදවස එක ම දිනයක මැතිවරණ නොපැවැත්විණි. 1947 මැතිවරණය පවත්වන ලද්දේ දින 18ක් තුළ දී ය. 1952 මැතිවරණය දින 4 දක්වා අඩුකිරීම සාධනීය ලක්ෂණයකි. එකම දිනක් තුළ මැතිවරණ පැවැත්වීම ආරම්භ වන්නේ 1960 මාර්තු මැතිවරණයේ පටන් ය.

1952 මැතිවරණය වන විට 1947 මැතිවරණයට සාපේක්ෂව සාධනීය ලක්ෂණ රැසක් ඇතිවී තිබිණි. 1947 දී එකම පක්ෂයෙන් එක් ආසනයකට අපේක්ෂකයන් කීපදෙනකු ඉදිරිපත් කරනු දැකගත හැකි විය. එහෙත් 1952 දී එක් ආසනයකට ඉදිරිපත් කරන ලද්දේ එක් අපේක්ෂකයකු පමණි. එහෙත් බහු මන්ත්‍රී ආසන සඳහා නම් එක් පක්ෂයකින් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අවස්ථා තිබිණි. මෙම තත්ත්වය දේශපාලන පක්ෂ ක්‍රියාකාරිත්වයේ සාධනීය වර්ධනයකි.

1952 මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෝ 79 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ. එහෙත් ඊට පූර්වයෙන් වූ 1947 මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෝ 182 ක් ඉදිරිපත් වූහ. 1947 ස්වාධීන මන්ත්‍රීවරුන් 21 දෙනෙක් පත්වී සිටියහ. 1952 දී එම ප්‍රමාණය 12 දෙනෙක් දක්වා අඩුවිය. ස්වාධීන අපේක්ෂකයන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ අඩුවීම දේශපාලන පක්ෂ ක්‍රමයේ වර්ධනය පිළිබිඹු කරයි.

1947 සිට 1952 දක්වා දේශපාලන ගමන් මගේ දී දේශපාලන පක්ෂ තුළ වෙනස්කම් සිදුවෙමින් නව දේශපාලන පක්ෂ බිහිවෙමින් තිබිණි.

එක්සත් ජාතික පක්ෂ රජයේ සෞඛ්‍ය හා පළාත්පාලන අමාත්‍ය, සභානායක එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් හා ඉන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගෙන තිබිණි. 1947 පැවති බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය එක් වූ අතර, ල.ස.ස.ප ය නැවත දෙකට බෙදිණි. ආචාර්ය එන්. එම්. පෙරේරා නායකත්වය දුන් කණ්ඩායම නව ලංකා සමසමාජ පක්ෂය වූ අතර, පිලිප් ගුණවර්ධන මහතා නායකත්වය දුන් කණ්ඩායම විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය විය. පිලිප් ගුණවර්ධන මහතාගේ කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ ලංකා කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගතව ය. ද්‍රවිඩ සංගමය ද දෙකට බෙදී ඉන් වෙන් වූ එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා ඇතුළු පිරිසක් ‘පෙඩරල් පක්ෂය’ පිහිටුවා තිබිණි. අලුත් දේශපාලන පක්ෂ අතර එම්. ඩබ්ලිව්. එච්. සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ‘මහජන සමූහාණ්ඩු පක්ෂය’ ද ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාගේ නායකත්වයෙන් යුත් ‘බෞද්ධ ජනරජ පක්ෂය’ ද විය.

කාන්තාවෝ දොළොස් දෙනෙක් (12) මැතිවරණයට තරග කළහ. කැලණිය (විමලා විජේවර්ධන ශ්‍රී.ල.නි.ප. - විවියන් ගුණවර්ධන න.ල.ස.ස.ප.) හා අවිස්සාවේල්ල (කුසුමා ගුණවර්ධන වි.ල.ස.ස.ප. -ක්ලෝඩා ජයසූරිය එ.ජා.ප.) ආසන සඳහා අපේක්ෂිකාවෝ තරග වැදුණහ. දෙහිඕවිට ආසනයට තරග වැදුණු එඩ්මන්ඩ් සමරක්කොඩිට එරෙහිව ඔහුගේ සොහොයුරිය වන ආර්. ඊ. ජයතිලක මහත්මිය කම්කරු පක්ෂයෙන් තරග වැදුණා ය. අවසානයේ දී ජයග්‍රහණය කළේ කුසුමා ගුණවර්ධන (අවිස්සාවේල්ල - වි.ල.ස.ස.ප.) ඩොරීන් වික්‍රමසිංහ (අකුරැස්ස - කො.ප.) යන දෙදෙන පමණි.

අඹු සැමි යුවළ සතරක් මැතිවරණයට තරග කළහ. න.ල.ස.ස.ප. යෙන් ලෙස්ලි ගුණවර්‍ධන (උතුරු කොළඹ) හා විවියන් ගුණවර්‍ධන (කැලණිය) ; කම්කරු පක්ෂයෙන් ආර්. ඊ. ජයතිලක (නාවලපිටිය) හා එම මහත්මිය (දෙහිඕවිට) ; ම.ස.ප. යෙන් විල්මට් පෙරේරා (මතුගම) හා එස්මි පෙරේරා (හොරණ) ; කො. ප. යෙන් එස්. ඒ. වික්‍රමසිංහ (හක්මන) හා ඩොරීන් වික්‍රමසිංහ (අකුරැස්ස) තරග වැදුණු අතර මේ අය අතුරින් ජයගත්තේ ආර්. ඊ. ජයතිලක, විල්මට් පෙරේරා හා ඩොරීන් වික්‍රමසිංහ පමණි.

එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක (අත්තනගල්ල ශ්‍රී.ල.නි.ප. -32544) වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණය වාර්තා කළ අතර, ෂර්ලි කොරයා (හලාවත එ.ජා.ප. – 54) අඩුම වැඩි ඡන්ද ප්‍රමාණය වාර්තා කළේ ය.

ආසන 95 න් 54 ක් ජයගත් එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ආසන 95 න් 9 ක් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විරුද්ධ පක්ෂයේ නායකයා විය.

ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරය දැරුවේ අවුරුද්දකුත් මාස කීපයක් පමණි. 1953 හර්තාලයෙන් පසු උද්ගත වූ තත්ත්වයෙන් කලකිරීමට පත් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. සභානායක, ප්‍රසිද්ධ වැඩ හා ප්‍රවාහන අමාත්‍ය ලයනල් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරයට පත් විය.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න

Or log in with...