දුමා­ර­යෙන් බැට කන ගෙදර බුදුන් | දිනමිණ

දුමා­ර­යෙන් බැට කන ගෙදර බුදුන්

ශ්‍රී ලංකාව වගේම ලෝකයේ හුඟක් රටවල් දුම්වැටි පානයට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් ගෙන යනවා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීම, වෙළෙඳ ප්‍රචාර සීමා කිරීම ඇතුළු සම්බාධක ගණනාවක් දුම්වැටියට එරෙහිව අපෙ රටෙත් ක්‍රියාත්මක වෙන්නේ කලක සිටයි. දුම්පානය හේතුවෙන් රටේ වටිනා මිනිස් ජීවිතවලට වගේම ආර්ථිකයට සිදුවන හානිය ගණන් හිලව් ඇතිවම මීට ටික කලකට කලින් මේ තීරු ලිපිය මගින්ම අපි පෙන්වා දුන්නා. ඒ නිසා මෙවර ලිපියෙන් දුම්වැටියට එහා ගිය තවත් ප්‍රශ්නයක් ගැන අවධානය යොමු කරන්න කල්පනා කළා.

තාමත් අපේ රටේ මාධ්‍යයට වගේම සෞඛ්‍ය අංශවලට ඇහැ නොගැහුණු අංශයක් වෙතයි මේ විදිහට අවධානය යොමු කිරීමට හිතුවේ. ඒ තමා මුළුතැන්ගෙය, දේවාලය, පල්ලිය හා පන්සල වගේ ස්ථාන. මේ ස්ථානවලින් පිටවන විවිධාකාර දුම්වලින් මිනිස් සිරුරට සිදුවන හානි පිළිබඳව දැන් වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ගෘහස්ත වායු දූෂණය දුම්පානය නිසා ඇතිවන රෝගි තත්ත්වයටත් වඩා බරපතළ බවයි වෛද්‍යවරු කියන්නෙ. ඒ වගේම ගෘහයට බැහැරවද මේ අවදානම උග්‍රව පවතින බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙනවා. මෑතකදී මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර කළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව ආගමික ස්ථානවලට නිතර යන එන ජනයාද පෙනහළු ආශි‍්‍රත රෝගවලට ගොදුරු වන බවයි හෙළිදරව් වී තිබෙන්නේ.

දුරාතීතයේ පටන් දර ළිප් භාවිතය අපේ සංස්කෘතියේ කොටසක් ලෙස පැවැති බව අප අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ සංස්කෘතිය තුළ දර ළිප් සහිත මුළුතැන් ගෙවල් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ සම්ප්‍රදායක්ද තිබුණු බව අපි අමතක නොකළ යුතුයි. ඒ අනුව බොහෝ විට දර ළිප් සහිත මුළුතැන්ගෙය නිර්මාණය වූයේ ප්‍රධාන නිවසට පිටතින්. උයන ගේ ලෙස ගැමි ජනවහරේ විශේෂ නමකින් හැඳින්වුණු මේ මුළුතැන්ගේ මනා සැලසුමකින් යුතු වුණා. නොයෙක් දේ ආරක්‍ෂා කර තැබිය හැකි දුමකින් මෙන්ම, දර ළිප්වලින් නැඟෙන දුමාරය ඉක්මනින් පිට කර ගත හැකි චිමිනි හා ලොකු කවුළුවද මේ මුළුතැන්ගෙයි දක්නට ලැබුණු සුවිශේෂ ලක්‍ෂණයි. එවැනි සැලසුම්සහගත මුළුතැන් ගෙයකින් අපේ වැඩිහිටි පරපුරට සෞඛ්‍ය ගැටලු ඇති කළේ නැහැ.

එදා එහෙම වුණත් අද වන විට මතු වී ඇති ඉඩම් ප්‍රශ්නය හා වෙනත් ආර්ථික අපහසුතා හේතුවෙන් පර්චස් තුන හතරකට සීමා වූ භූමි භාගයක ඉදි කරන කුඩා නිවෙස්වල මුළුතැන් ගෙවල්ද ‘හුණ්ඩු’ බවට පත් වෙලා. ඒ මදිවට ඇතැම් උදවිය පහසුවෙන් ගිනි දල්වා ගැනීම පිණිස පොලිතින්, ප්ලාස්ටික් හා භූමිතෙල් වැනි දේවල් ළිපට දමන්න පුරුදු වී සිටිනවා. මේ ද්‍රව්‍යවලින් පිටවන කාබන් මොනොක්සයිඩ් වැනි විෂ අංශු මිනිස් පෙනහළුවලට ඉතාම අහිතකර බව මෙවැනි කෙටි ක්‍රම අනුගමනය කරන බොහෝ ගෘහණියන් තේරුම් ගෙන නැති බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ වගේම නිවසේ දොර ජනෙල් වසා මදුරු දඟර දැල්වීමද ඉතා හානිකර බව ඔවුන් අවධාරණය කරනවා.

දේවාලවල සුවඳ ධූමයක් ලෙස භාවිත කරන සාම්බ්‍රාණි මෙන්ම පන්සල්වල දැල්වෙන හඳුන්කූරුද (ඇතැමුන් මේවා නිවෙස්වලද බහුල වශයෙන් භාවිත කරනවා) පෙනහළු රෝගවලට දැඩි ලෙස හේතුකාරක වන බවට වෛද්‍ය පරීක්‍ෂණ මගින් තහවුරු වී තිබෙනවා. සිතේ තිබෙන භක්තිය වැඩිකම ඇතැම් අය සාම්බ්‍රාණි අහුරු කීපයක් දුම් බඳුනට දමන අතර හඳුන්කූරු දැල්වීමේදීද කූරු දහයක් දොළහක් එකවර දැල්වීමට පුරුදු වී සිටීම නිසා විහින්ම පෙනහළු රෝගවලට ගොදුරු වන හැටි ඉතාම කනගාටුදායක සිද්ධියක්. විශේෂයෙන්ම තොවිල් පවිල් කරන ගුරුන්නාන්සේලා මෙන්ම දේවාලවල ආවතේව කරන කපුවන්ද නිතර නිතර රෝගී වීමේ ප්‍රධාන හේතුව මේ දුම්වලින් හට ගන්නා විෂ වායුව බවයි වෛද්‍ය මතය වන්නේ.

අක්‍රමවත් ලෙස සකසා ඇති දර ළිපකින් හට ගන්නා දුමාරය සිගරට් සියයක පමණ දුමට සමාන බව පර්යේෂකයන් සඳහන් කරනවා. මෙවැනි ළිපක් ළඟ ගැවසෙන තැනැත්තෙක් අවම වශයෙන් සිගරට් පැකට් දෙකකවත් දුම් ප්‍රමාණයක් ආඝ්‍රාණය කරන බවයි ඔවුන්ගේ අදහස. දුම්පානය හේතුවෙන් ඇතිවන රෝග හැඳින්වීමට වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන කෙටි නම වන්නේ COPD යන්නයි. මේ භයානක රෝග ලයිස්තුවට පෙනහළු පිළිකා, ඇදුම රෝගය, හෘදය වස්තුවේ පටකවලට හානි සිදුවීම ආදී මිනිස් සිරුර වේගයෙන් මරණය කරා රැගෙන යන බරපතළ අනතුරු ගණනාවක්ම ඇතුළත් වෙනවා.

මේ තොරතුරු අනුව කල්පනා කර බලන විට පෙනී යන්නේ නොදැනුවත්බව මෙන්ම නොසැලකිල්ල තවමත් අපේ සමාජය වෙළා ගත් පිළිලයක් ලෙස පවතින ආකාරයයි. එකල අපේ මුතුන් මිත්තන් මුළුතැන්ගෙය හැඳින්වූයේ ශ්‍රී දේවිය වැඩ සිටින ශුද්ධස්ථානයක් හැටියටයි. ඒ වගේම පන්සල, කෝවිල වැනි ආගමික ස්ථාන සිතේ මෙන්ම කයෙත් හට ගන්නා අසනීප, ගැටලුවලට පිලිසරණ වන ශුද්ධ භූමි ලෙස සැලකීමට පුරුදු වී සිටියා. ඒත් වර්තමානය වන විට මේ ස්ථාන මිනිස් සිත කය රෝගී කරන තැන් බවට පත් වෙලා. ඇත්තටම කියනවා නම් අපි විසින්ම ඒ භයානක තත්ත්වය උදා කරගෙන තිබෙනවා. මුදල් හදල් හා වෙනත් නැතිබැරිකම් පසෙක තිබියදී අනවබෝධය හා ක්‍ෂණික විසඳුම් සෙවීම වැනි සීමාවන් වත්මන් සමාජ ජීවිතයේ පරිහානියට තුඩු දෙන ප්‍රධාන කරුණු බවට පත් වී ඇති බව කනගාටුවෙන් වුණත් අපි පිළිගත යුතුයි. ගෙදර බුදුන් ලෙස සලකන අම්මාවරුන් මේ උවදුර නිසා වැඩි වශයෙන් බැට කන අය බවට පත් වී සිටීමත් සෝචනීය සිද්ධියක්. දර ළිප් දැල්වීම, සාම්බ්‍රාණි, හඳුන්කූරු හා මදුරු දඟර ඇසුර වැඩි වශයෙන්ම සිදු වන්නේ ගෘහණියන් අතින්. ඒ වගේම මේ හේතුවෙන් ඇතිවන ශ්වසන රෝගවලට ස්ථිර ප්‍රතිකාර නොගෙන ඉඟුරු කොත්තමල්ලි වැනි ගොඩ වෙදකම් කිරීමට අපේ බොහොමයක් මව්වරුන් පුරුදුව සිටීමත් තවත් ඛේදවාචකයක්. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන ගෘහස්ත දුමාරයෙන් පීඩා විඳින ගෘහණිය ඉන් මුදාගෙන ඇය නිවෙසේ ‘සිරි දෙව්දුව’ බවට යළි පත් කිරීමට අප කාගේත් අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබෙන බව වහ වහාම සිහියට නඟා ගත යුතුයි.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...