ගීත ලියන මීහ­රක් | දිනමිණ

ගීත ලියන මීහ­රක්

ටොම්සන් මහත්තයා කුඩයත් කිහිල්ලේ ගහ ගෙන එළියට බැස්සේය. ඒ පස්සෙන් ඇම්බන් මහත්තයා ද, ඒ පස්සෙන් උන්නැහේද දුව ගෙන ගියහ.

‘ඇත්තටම ටොම්සන් මහත්තයා ... මේ කොහේද කලබල වෙලා යන්නේ...?‘

‘ කොහේ වුණාම මොකද? කැමති නම් මා එක්ක එන්න... මං හිතන්නේ අපිට ටිකක් ඈතට යන්න වෙයි.‘

‘ ඒ කියන්නේ නගරෙන් ඈතටද?‘ කියා උන්නැහේ ඇසුවේ බාගෙට දුවමින්ය.

‘ ඔව්... මට මේ මී හරක් ටිකක් හම්බු වෙන්න ඕනෑ... ඒකයි..‘

‘ ඒ මොකටද ටොම්සන් මහත්තයා... මී හරක් ඕනැ වෙන්නේ කුඹුරු හාන්න නේ... දැන් කාලේ ඒත් මී හරකුන්ගෙන් කුඹුරු හාන්නේ නෑ නේ... දැන් ඒවාට ට්‍රැක්ටර් තියෙනවානේ... ඉතින් කොහෙන්ද මී හරක් හොයා ගන්නේ..‘

‘පුළුවන්... පුළුවන්... ඔය සාහිත්‍ය අනු මණ්ඩලය පැත්තට ගියාම හොයා ගන්න පුළුවන් වෙයි...‘කියා ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

‘ ඒක හරි හතර බීරි කතාවක් නේ ටොම්සන් මහත්තයා.. අනික මේ සාහිත්‍ය මාසෙ අපේ ඔය සාහිත්‍ය අනුමණ්ඩලේට කොචොක් කරන එක හරි නෑනේ..‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ මං නං එහෙම එකක් කළේ නෑ.. මං කීවේ මේ පත්තරේක තිබුණු දෙයක්... මං ඉතින් මොකටද ඔය කාටවත් කොචොක් කරන්නේ...‘ කියමින් ම ටොම්සන් මහත්තයා බස් එකකට නැග්ගේය. ඒ පස්සෙන් දුව ගෙන ගිය ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් ඒ බස් රියේම පස්සෙන් එල්ලුණෝය.

‘ ඇත්තටම ටොම්සන් මහත්තයා... දැන් ඔය මී හරක් හොයන්නේ මොකටද?‘ කියා උන්නැහේ නැවතත් ඇසුවේය.

ටොම්සන් මහත්තයා උන්නැහේ දෙස ආපිට හැරි බැලුවේය.

‘ මං මේ ගීතයක් ලියා ගන්න මී හරකෙක් හොයනවා...‘ කියා කියමින් ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

‘ ඇත්තට ටොම්සන් මහත්තයා... මී හරක් ගීත ලියනවාද?‘ මං මේ දන්නේ නැති කමටයි අහන්නේ. කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘ මාත් මේ ඒක දැන ගත්තේ මේ පත්තරේකින්නේ. අර සාහිත්‍ය අනු මණ්ඩලේ ලොක්කා කියලා තියෙන්නේ සාහිත්‍ය හෝ භා‍ෂාව පිළිබඳ අල්පාවබෝධයක්වත් නැති ඕනෑම මී හරකෙකුට ගීත ලියන්න පුළුවන් කියලා. ඒකෙන් තමයි දැන ගත්තේ මී හරක් ගීත ලියනවා කියලා.. හැබැයි එහෙම ගීත ලියාපු මී හරකෙක් ගැන නම් කරලා නම් නෑ... සමහර විට ඔය ගුවන් විදුලි නාලිකාවල උදේ ඉඳන් හැන්දෑ වෙනකම් කෑ ගහන්නේ ඒ විදිහට මී හරක් ලියාපු ඒවා වෙන්න ඇති.‘

ටොම්සන් මහත්තයා බස් රියෙන් බැස්සේ ගමකට යන හන්දියකිනි.

‘ පුතා, මේ පැත්තේ මී හරක් ඉන්නවාද?‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ පාරේ සිටි කොළු ගැටයෙක්ගෙනි.

‘ ඉන්නවා... ඉන්නවා... අපේ ගෙදරත් ඉන්නවා... යමු මං පෙන්නන්නං... කියා කොලු ගැටයා ඉස්සර වුණේය. ටික වේලාවකින් ඔවුන් ළඟා වුණේ ගමේ ගෙදරකටය.

‘ මලයා... මලයා.. කියා කොලු ගැටයා කෑ ගෑවේය. ඒ කෑ ගැහිල්ලට ගේ ඇතුළෙන් දුව ගෙන ආවේ කලිසම් කොටයක් ඇඳ ගත්තු තවත් කොලු ගැටයෙකි.

‘ මේ ඉන්නේ මං කියාපු මී හරකා...‘ කියා ලොකු කොලු ගැටයා අර පොඩි කොලු ගැටයාට අත දිගු කළේය.

‘ මේ පොඩි ළමයෙක් නේ... කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් කීවේය.

‘ ඔව්.. ඒ වුණාට ඉස්කෝලේ මහත්තුරු කියන්නේ අකුරක්වත් බැරි මී හරකෙක් කියලා..‘

‘ එහෙනං මේ පුතාට ගීත ලියන්න පුළුවන් ඇති...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ නෑ මහත්තයා... ඒකට නම් ඇත්තම මී හරක් රංචුවක්ම ඉන්නවා වෙලේ... යමු...‘ කියා ලොකු කොලු ගැටයා ඉස්සර වුණේය. ටොම්සන් මහත්තයා වෙලේ සිටි මී හරක් රංචුව වෙත ගොස් මෙසේ ඇසුවේය.

‘ මෙතන ඉන්නවද ඔය භාෂා ශාස්ත්‍රය දන්නේ නැතිව ගීත ලියන්න පුළුවන් මී හරකෙක්.?‘

මී හරක් රංචුවම හිස දෙපැත්තට වැනුවෝය.

‘අපි යමු යන්න... මේක හරි යන වැඩක් නෙවෙයි... ‘ කියා ටොම්සන් මහත්තයා ආපිට හැරුණේය.

‘ මට නම් පේන්නේ වෙන දෙයක් ටොම්සන් මහත්තයා... එහෙනං ඔය බයිලා කියන්නේ නැතිව මේ සැරේ සාහිත්‍ය කථිකාවට ගන්න තිබුණේ ඔය මාතෘකාවනේ... අද කාලේ තියෙන සාහිත්‍යමය ගැටලුවක් ගැන නේ කතා කරන්න ඕනෑ...‘ කියා උන්නැහේ කීවේය.

‘ ඒක කතා කරන්න ගියොත් අමාරුවේ... ඒ වුණාට මං නං කල්පනා කරන්නේ.. බොහොම මානව හිතවාදී විදිහට ඒ වගේ තනතුරක ඉන්න කෙනෙක් කතා කරන්න ඕනෑ... භාෂාව බැරි වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නම් ඒ ගැන සංවාදයක් කරලා ඒ තත්ත්වය නැති කරන්න මොකක් හරි වැඩපිළිවෙළක් කරන්න ඕනැ නේ.. එහෙම නැතිව කාට හරි අවමාන කරන එක නෙවෙයි නේ හපන්කම. “ කියා ටොම්සන් මහත්තයා කීවේය.

බන්දුල පී දයාරත්න

නව අදහස දක්වන්න