රැල්ලට යන ටෙලිනාට්‍යයත් ඕනෙ | දිනමිණ

රැල්ලට යන ටෙලිනාට්‍යයත් ඕනෙ

චාමර ජනරාජ් පීරිස්

l “රාහු” මොන වගේ නිර්මාණයක්ද?

සාමාන්‍යයෙන් අපි දන්න දේවල් තියෙනවානෙ. සමහර වෙලාවට අපි කවමදාවත් හිතන්නෙ නැති කවමදාවත් දැකලත් නැති, දන්නෙත් නැති, අපිට හැඟීමක්වත් නැති දෙයක් අපි ළඟ තියෙන්න පුළුවන්. එතකොට එක මොහොතකදි සමහර දේවල් එහෙම පිටින්ම වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් පරමාණුවක තියෙනවානෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒ මතනෙ මුළු රසායන විද්‍යාවම පදනම් වෙලා තියෙන්නෙ. අපි හිතමු එක පාරට හොයාගන්නවා තවත් මොකක් හරි එකක් ඕකෙ තියෙනවා, ඒ හින්දයි මෙහෙම වුණේ කියලා. එහෙම වුණොත් මුළු රසායන විද්‍යාවම අලුතෙන් ලියන්න වෙනවා. අපි දන්න නියමයන් ඔක්කොම බිඳවැටෙනවා. මූලධර්ම වෙනස් කරන්න වෙනවා. අන්න ඒ වගේ එකපාරටම ඇතිවෙච්ච වෙනසක් ගැන තමයි මේ කතාව යන්නෙ. බලාපොරොත්තු නොවුණ ආකාරයෙන් නුවරඑළිය පැත්තෙ ගමක ගෑනු අය 28 දෙනකුට එකපාරට බබාලා හම්බෙන්න එනවා, වයස භේදයක්,දුප්පත් පොහොසත් භේදයක්, සංස්කෘතික පසුබිමේ වෙනසක් නැතුවම. ඒ අතර සමහර අය බැඳලත් නෑ. සමහර අය ඉන්නෙ හිර ගෙවල්වල. එක එක්කෙනාගේ තරාතිරම සහ හිතනපතන ආකාරය මත මේක ඒ අය කොයි විදිහටද බාර ගන්නෙ කියන දේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දැකබලාගන්න පුළුවන්. “රාහු” සැප්තැම්බර් 10 වෙනිදා ඉඳන් සතියේ දිනවල රාත්‍රී 9.30ට ITN නාලිකාවේ විකාශය වෙනවා.

l රැල්ලට යන ටෙලිනාට්‍ය අතර වෙනසක් කරන්න “රාහුට” පුළුවන් වෙයිද?

ඇත්තටම රැල්ලට යන ටෙලිනාට්‍යයත් ඕනෙ. මොකද ලංකාවේ මිනිස්සු ප්‍රශ්න ගොඩක ඉඳලා, උදේ ඉඳන් රෑ වෙනකල් වැඩකරලා, හෙම්බත් වෙලා ගෙදර ආවාම ඒගොල්ලො බලාපොරොත්තු වෙන ලයිට් එන්ටර්ටේන්ට්මන්ට් කියන එක තියෙන්න ඕනෙ. ඒකට පිටරටවල කිව්වේ සෝප් ඔපෙරාස් කියලා. ඒවාම තමයි දැන් ලංකාවේ මල් නාට්‍ය, රැල්ලට යන නාට්‍ය කියන්නෙ. කොල්ලෙක් ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවා. කොල්ලා දුප්පත්. කෙල්ල පොහොසත්... ඒ වගේ ඒවටනෙ ඔය රැල්ලට යන නාට්‍ය කියන්නෙ. නමුත් ඒවාත් අවශ්‍යයයි. ඒ අතර තවත් පිරිසක් ඉන්නවා මොකක් හරි වෙනස් දෙයක් ඉල්ලන. නමුත් ලංකාවේ ඒ වගේ වෙනස් දෙයක් දෙන්න තමයි කට්ටිය අඩු. එතකොට ප්‍රේක්ෂකයන් පෙළඹිලා ඉන්නවා පිටරට නාලිකාවල යන ටෙලිනාට්‍ය, වෙබ් සයිට්වලින් බලන්න. කිසි ප්‍රශ්නයක් නැතුව කොරියන්, ඇමරිකන්, බ්‍රිටිෂ් ටෙලිනාට්‍ය ඕන තරම් තියෙනවා බලන්න.අනික ඒ මට්ටමට හදාගන්න තරම් ලංකාවේ තාක්ෂණික පහසුකමුත් නෑ. ඉතිං අපේ තරුණ පරම්පරාව පුදුම විදිහට ගැලවිලා ගිහිල්ලා අර එකම රටාවේ නාට්‍යවලින්. ඒගොල්ලො දැන් ඉන්නෙ වෙන තැනක. අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා එක තැනකට එනවා. දැන් ඉන්න වයස අවුරුදු පනහට වැඩි පරම්පරාව අවසන් වෙනවත් එක්කම ටෙලිනාට්‍ය කර්මාන්තය අවසන් වෙනවා. ඒක මේ රටාවේ වැරැද්ද. නමුත් මේ රටාව වෙනස් කරන්න ඕනෙයි කියලා ලොකූ රැල්ලක් අරගෙන ආවොත් ඒක එකපාරට බාරගන්නෙත් නෑ ලංකාවෙ අය. එතකොට මධ්‍යස්ථව ගිහිල්ලා, පොඩි වෙනස්කමක් හදාගෙන, ඒ වෙනස්කමින් කොහොම හරි රිංගගන්න පුළුවන් දෙයක් තමයි අපි හදන්න ඕනෙ. රාහු කියන්නෙ විද්‍යාත්මක ප්‍රබන්ධයක්. මං පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා මේක සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය ඇතුළට ඔබන්න. මං හිතනවා දැනට ටෙලිවිෂන් එකෙන් ඈත් වෙලා ඉන්න තරුණ පරපුරත් “රාහු” එක්ක එකතු වෙයි කියලා.

l මේ නිර්මාණය පිටුපස සිටින පිරිස ගැන කතා කළොත් ?

“රාහු” කතාව සහ අධ්‍යක්ෂණය මගේ. කපිල නවරත්න තමයි නිෂ්පාදනය කරන්නෙ. කැමරාකරණයෙන් එකතු වෙන්නෙ චන්දන ජයසිංහ. අරුණ තිලකරත්න සහය අධ්‍යක්ෂක ලෙසත් හිරෝෂිනී ආර්.එස්. ගුණසේකර දෙවන සහය අධ්‍යක්ෂිකාව ලෙසත් කටයුතු කරනවා. වේශනිරූපණය සිදු කරන්නේ අරුණ ශාන්ත ජයසූරිය. ඒ වගේ ම රංගනයෙන් යශෝධා විමලධර්ම, බිමල් ජයකොඩි, චමිලා පීරිස්, සුජානි මේනකා, ගාමිණී ජයලත්, මිලින්ද මඩුගල්ල වැනි තවත් දක්ෂ, ජනප්‍රිය සහ ප්‍රවීණ නළුනිළි කැලක් මේ නිර්මාණය සඳහා දායක වෙනවා. මේකෙ ජයශ්‍රීලා ගයන ගීතයක් ඇතුළත් වෙනවා. ඒ ගීතය ලිව්වෙ තුෂානි බුළුමුල්ල.

l “රාහු” ඇරුණම මොනවද මේ දිනවල කෙරෙන අනෙක් නිර්මාණ කටයුතු?

මම චිත්‍රපටියක් කරන්න සූදානමින් හිටියා සැප්තැම්බර් මාසෙ. නමුත් අපි කොටස් විස්සක් නිර්මාණය කරලා තිබුණු “රාහු” ටෙලිනාට්‍යය ඉතාමත් ඉක්මනින්ම ITN එකෙන් ගත්තා. ඒ හින්දා චිත්‍රපටිය කරන වැඩේ මාසෙකින් විතර පස්සට දාලා “රාහු” ඉතුරු ටික හදන්න සිද්ධ වුණා. මේකෙන් පස්සෙ මම හිතන් ඉන්නෙ මගේ ෆිල්ම් එක කරන්න. එතනින් එහාට තව ගොඩක් දේවල් ප්ලෑන් කරලා නෑ. ෆිල්ම් එක ආදර කතාවක්. මීට අවුරුදු දහයකට කලින් අවසන් වුණු යුද්ධයත් පසුබිම් වෙනවා. නමුත් මේක මේ සිංහල දෙමළ සම්බන්ධතාවන් හෝ යුද්ධයෙන් අනාථ වුණු පිරිස ගැන කෙරෙන කතාවක් නෙවෙයි. හැපි එන්ඩින් එකක් තියෙන වෙනස් ම විදිහෙ කතාවක්.

l චිත්‍රපටියක් හෝ ටෙලිනාට්‍යයක් සාර්ථකයි නම් ඒ වෙනුවෙන් අධ්‍යක්ෂවරයා ඇතුළු තිරය පිටුපස සිටින පිරිස කොතරම් කැප වුණත් බොහෝ විට ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය වගේ වැඩිම ප්‍රතිචාර ලබන්නෙ නළුනිළියන්. ඒ පිළිබඳ ඔබේ අදහස?

නළුවන් හෝ නිළියන් කියන්නෙ ප්‍රඩක්ෂන් එකෙන් දෙන දෙයක් කාලා, ප්‍රඩක්ෂන් එකෙන් දෙන ඇඳුමක් ඇඳගෙන, රචකයා විසින් ලියපු දෙබස් පාඩම් කරගෙන, අධ්‍යක්ෂගේ හැසිරවීමට අනුව රඟපාන පිරිසක්නෙ. ඒක තමයි ඔහුගේ හෝ ඇයගේ වෘත්තිය. ඔවුන් කොතරම් දුරට ඒ චරිතයට සාධාරණයක් කරමින් ජනතාව අතරට කාවද්දනවද කියන කාරණාව මත ජනප්‍රිය වෙනවා. ඒ ක්‍රෙඩිට් එක අපි ඒ නළුනිළියන්ට දෙන්න ඕනෙ නේද? නමුත් සාමාන්‍ය ජනතාව තමයි ඒ නළුවාට හෝ නිළියට ඇදිලාබැඳිලා “ෂා එයා නම් මරු” කියලා කියන්නෙ. තව පොඩ්ඩක් එතනින් එහාට හිතන මිනිස්සු හොයලා බලනවා මේක කාගෙ වැඩක්ද කියලා. නළුනිළියන්ගේ රඟපෑම කොහොමද කියලා බලලනේ අපිත් ඔවුන්ව වැඩකට සම්බන්ධ කරගන්නෙ. අපි මොනවා කළත් තිරය පිටුපස සහ තිරය ඉදිරිපස කියන්නෙ දෙකක්. ඒ අයට ප්‍රසිද්ධිය, ආදරය, ගරුබුහුමන් ලැබෙනවා කියන්නෙම අපේ වැඩේ ඒගොල්ලො හරියට කළා කියන එකයි. ඉතිං මං හිතන්නෙ ඒක හොඳ දෙයක්.

l ඔබ අධ්‍යක්ෂණයට පිවිසුණු ආකාරය ගැන කිව්වොත්?

මම අධ්‍යක්ෂවරයෙක් වෙන්න හිතුවෙ නෑ කවදාවත්ම. මම වැඩ කළේ ලේක්හවුස් ආයතනයේ. ඒ දවස්වල මම විද්‍යාපති උපාධිය කළා කටුබැද්ද විශ්ව විද්‍යාලයේ. ඒකෙදි මම නිබන්ධනයක් කළා “අනුරාධපුර නගර නිර්මාණය සඳහා පිටසක්වල ජීවින්ගේ දායකත්වය ලැබුණද?” කියලා. පස්සෙ මට හිතුණා මේක කවුරු හරි අධ්‍යක්ෂකවරයෙක් මාර්ගයෙන් ටෙලිනාට්‍යයකට හරවා ගත්තොත් හොඳයි කියලා. එහෙම හිතලා මම මගේ නිබන්ධනය පදනම් කරගෙන ඒකට තව අමතර කතාවකුත් සම්බන්ධ කරගෙන ලිව්වා පිටපතක්. ඒ මගේ පළවෙනි පිටපත. ලියලා ලංකාවේ හිටපු ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකුට ගිහින් දුන්නා. එතුමා කිව්වා ජීවිතේට ඕක ගැන හිතන්නත් එපා. ඕවා කරන්නත් එපා. ඕවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි කියලා. ඔයා වෙන වැඩක් බලාගන්න, ඕක කරන්න යන්න එපා කියලත් කිව්වා. ඔහු එපා කියපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම මගේ පළවෙනි ටෙලිනාට්‍ය විදිහට “අයාල්” අධ්‍යක්ෂණය කළේ. මගේ යාළුවො දහදෙනෙක් එකතු වෙලයි වැඩේට සල්ලි දැම්මෙ. පළවෙනි ටෙලිනාට්‍යයෙන්ම මම ලංකාවේ හොඳම අධ්‍යක්ෂක වුණා. සම්මාන උළල දෙකකදිම මම රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන දිනාගත්තා. ඒ නාට්‍යයට සම්මාන විසි හතක් ලැබුණා. ඒකෙන් පස්සෙ මුලින් නිෂ්පාදකවරයෙක් හොයාගන්න විදිහක් නැතුව හිටිය මට නිෂ්පාදකවරු පැත්තකින් තියලා, චැනල්වලින් ම කතා කරලා අපිට ටෙලිනාට්‍යයක් කරන්න කියන තැනට ම ආවා. ඊට පස්සේ මගේ අනිත් වැඩ ඔක්කොම ටිකක් අතපසු කරගෙන මම ටෙලිනාට්‍ය කර්මාන්තයටම යොමු වුණා. “රාහු” මගේ දහවෙනි ටෙලිනාට්‍යය. මගේ “A330” කියන නාට්‍ය තහනම් වුණා. ඒකත් රෙකෝඩ් එකක්. ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් වාරණයක් අරන් තියෙනවා ඒක පෙන්නන්න එපා කියලා. මම මේ ක්ෂේත්‍රයට ආවෙ 2010දි. මං හින්දා ගොඩක් නළුනිළියො හැදුණා. මං හින්දා ගොඩක් අයට සම්මාන ලැබුණා. මම කාගෙවත් ගෝලයෙක් නෙවෙයි. මේක තනියම ආව ගමනක්. අධ්‍යක්ෂණය ගැන යමක් දැනගන්න ඕනෙ වුණාම පොතපත බලලා තනියම ඉගෙනගත්තා. එහෙම තමයි මම මේ තත්ත්වෙට ආවෙ. ඒ හින්දා මට ගුරුවරයෙක් නෑ. මම මම ම තමයි. මට අනිත් අය ගැන ප්‍රශ්නෙකුත් නෑ. අදාළත් නෑ. මම වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පයටයි සම්බන්ධ. ඒ හින්දා ඉන්දියාවෙන් ටෙලිනාට්‍ය ගේනවද? කොරියාවෙන් ගේනවද? ඒවා ලංකාවෙ පෙන්නුවොත් ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය බිඳවැටෙනවද? නැද්ද? එහෙම පටු තැනක මම නෑ. මම කියන්නේ ලෝකෙ ඕන තැනකින් ලංකාවේ මිනිස්සුන්ට ඕනෙනම් ගෙනැල්ලා නාට්‍ය බලන්න ඉඩ තියෙන්න ඕනෙ. නමුත් අපි දැනගන්න ඕනෙ ඒවත් එක්ක ෆයිට් කරන්න. එහෙම නැතුව ඒවා නවත්වන්න. කොරියාවෙන් ගේන ඒවාට දඩගහන්න. ඉන්දියාවෙන් ගේන ඒවට බදු ගහන්න කිය කිය ඉන්න එකවත් මේවා තහනම් කරන්න කියන එකවත් නෙවෙයි තියෙන විසඳුම.

l ඔබ මාධ්‍ය ආයතන කිහිපයකටම සම්බන්ධව කටයුතු කළ කෙනෙක්?

ඔව්. මම මහරාජා ආයතනයේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්.ලේක්හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙක් වගේම ප්‍රධාන පරිපාලන නිලධාරියෙක් සහ සිංහල ප්‍රකාශනවල කළමනාකරණ කර්තෘ විදිහට වැඩ කළා. මම “නොලේජ් ටීවි” නමින් මගේ ම චැනල් එකක් කරගෙන යනවා. ඒ වගේ ම කාලයක් ලේක්හවුස් මොස්කව් නුවර වාර්තාකරු වෙලා හිටියා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්තාකරුවෙක් විදිහටත් හිටියා. දැන් ඉතිං වයසයිනෙ. ඉතිං ඔය ඉන්නවා පැත්තකට වෙලා. දැන් වැඩිපුර කෙරෙන්නෙ අධ්‍යක්ෂණ කටයුතු වුණත් මගේ ආසාවක් තියෙනවා මේකෙන් අයින් වෙලා මං ඉගෙනගත්ත ගෘහ නිර්මාණ ශිල්පය පැත්තට යොමුවෙන්න. නමුත් ඊට කලින් මම මගේ ෆිල්ම් එකේ වැඩ අවසන් කරන්න ඕනෙ.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...