“Dark room” ජීවිතය සහ මරණය ගැනයි | දිනමිණ

“Dark room” ජීවිතය සහ මරණය ගැනයි

නාලක හපුආරච්චි

l මොකක්ද මේ “Dark room” කියන්නෙ?

ඉපදුණ අයෙක් මරණය දක්වා ජීවිතය රැකගන්න කරන අරගලයක් තමයි මේ “Dark room” එකෙන් පෙන්නන්නෙ. ඔය කොයි තරාතිරමක පුද්ගලයෙක් වුණත් කාලයක් මේ “Dark room” එක ඇතුළෙ ජීවත් වෙලා තියෙනවා. පවතින සමාජ ක්‍රමය ඇතුළෙ හූරාකෑමට ලක්වීම, උගතුන් විරැකියාවෙන් පෙළීම ආදි තවත් ගැටලු ගණනාවක් ගැන මේක ඇතුළෙ කතා කෙරෙනවා. මේ නාට්‍ය ගොඩක්ම රැඩිකල්වාදී නාට්‍යයක්. එවැනි නාට්‍ය ලංකාවේ අඩුයි. මේ ලෝකෙ ඉන්නවා සංක්‍රාන්ති ලිංගිකයන් කියලා පිරිසක්. එවැනි කෙනෙක් තමයි මේ කතාවට වස්තු බීජය වෙන්නෙත්. ඒ වස්තු බීජය අපි අරන් යනවා පාලන තන්ත්‍රයට වෙනකල් කතිකාවතකින්. මේ කතිකාවත ඇතුළෙ අපි කියන්නෙ අපිට ඕනෙ මනා පෞර්ෂයයකින් හෙබි මිනිස්සු කියලයි.

l “Dark room” නිර්මාණය වෙන්නෙ කොයි කාලෙ වගේද?

“Dark room” නිර්මාණය වෙන්නෙ 2017දි . මේ වෙනකොට අපි දර්ශන වාර හතක් පෙන්නලා තියෙනවා. තනි පුද්ගලයෙක් හැටියට මං මේක සමාජ මෙහෙවරක් විදිහට ඉදිරියට ගෙනියනවා. “Dark room” කියන්නෙ ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙනසක් දැකිය යුතු නාට්‍යයක්. සමහරවිට අද ලෝකය පාලනය කරන්නෙ පිරිමිත් නොවන, ගැහැනුත් නොවන දෙපැත්තටම නැති කොටසක්. අපි කියන්නේ එහෙම සමාජයක් අපිට වැඩක් නෑ. අපිට ඕනෙ උගත්, බුද්ධිමත්, මනා පෞරුෂත්වයක් ඇති සමාජයක්. “Dark room” රැඩිකල්වාදී නාට්‍යයක්. ඒ වගේම සියලුම දෙනා නැරඹිය යුතු නාට්‍යයක්.

l මේ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළලටත් ඉදිරිපත් කළා නේද?

ඔව්. නමුත් රාජ්‍ය නාට්‍ය උළලේදී මගේ නාට්‍යයට ලැබෙන්නෙ ලකුණු 248යි. මම නාට්‍යකරුවෙක් විදිහට තාම ඉගෙන ගන්නවා. ඉතිං මං ප්‍රශ්න කරනවා මගේ නාට්‍යයට මොකද වුණේ කියලා. මට තේරුණ විදිහට නම් විනිශ්චය මණ්ඩලේට අවබෝධ වුණේ නෑ මගේ නාට්‍යය. අපි නාට්‍යයක් කරන්නෙ මොකටද? නාට්‍යය ඉවර වෙලා යද්දි උසස් සමාජයකට ගෙදර ගෙනියන්න හරවත් යමක් දෙන්නනෙ. මේ නාට්‍යය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ඉලක්ක කරගෙන කතිකාවක් සිදු කළා. විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ මේ නාට්‍යයේ හැම දේම තියෙනවා කියලා. අධ්‍යාපනය, ලිංගිකත්වය, රැකියාව, සමාජ පීඩනය, බඩගින්න එක්ක මිනිස්සු ගත කරන ජීවිතේ තමයි මේ “Dark room” එකේ යන්නෙ. “Dark room” තනිකර නිර්මාණය වෙන්නෙ කාමරයක් ඇතුළෙ. සෙට් එක ප්ලේ වෙන්නෙ දෙපාරටයි. සමහරවිට මේ නාට්‍යය ජජ් බෝර්ඩ් එකට තේරෙන්නෙ නැතුව ඇති. ඉතිං මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි එවැනි අයව එවැනි තැන්වලට දාන්නෙ කියන එක. එහෙම ප්‍රශ්න තියෙනවා. සම්මාන නොලැබුණාට මං මේ නාට්‍ය විශ්ව විද්‍යාල මට්ටමෙන් පෙන්නගෙන යනවා. අද වෙලා තියෙන්නෙ ගුණාත්මක නාට්‍යය යට යන එකයි. අපි ඔක්කොම සංකීර්ණ ජීවිතනෙ ගත කරන්නෙ. මේ සංකීර්ණ ජීවිතය තුළ හිනාවෙලා ඉන්න පුළුවන්ද? අපි ප්‍රශ්න කරනවා. ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, චිත්‍රපටියක් බලලා හිනා වුණාට මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ. අපි කතා කරන්නෙ යථාර්ථය ගැන. නමුත් යථාර්ථය පිළිබඳ නිර්මාණයන් කළාම ඒවා පාලන තන්ත්‍රය විසින් ඇගයීමකට ලක් කරන්නෙ නෑ. අපිත් ඒ උවදුරට ගොදුරු වෙලා. නමුත් වේදිකාවේ රැඳී ඉන්න ඕනෙ හින්දා අපි මේක කරගෙන යනවා.

l මේ පිටුපස සිටින පිරිස ගැන කතා කළොත්?

මේ නාට්‍යයේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කියන කටයුතු දෙකම සිදු වෙන්නෙ මගෙ අතින්. පිටපත් රචනය සිදු කළේ රත්නසිරි පරණවිතාරණයන්. මෙහි පාත්‍ර වර්ගයා 04යි. නිශාන්ත කුලරත්න, විජිත හෙට්ටිගේ, දිනිදු ඒකනායක සහ මම රංගනයෙන් දායක වෙනවා. වේදිකා පරිපාලනය සිදු කරන්නේ ගැමුණු රණවීරයන්. දිනේෂ් හේවගේ, රසික, සංජය , නිලූක කියන පිරිස සංගීතය සපයනවා. වේශ නිරූපණයෙන් දායකත්වය ලබාදෙන්නේ දිනේෂ්. ඒ වගේම ආලෝකකරණය “මිහිඳු ලයිට්” විසින් සිදු කරනවා. ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ පිරිසක් එකතු කරගෙන තමයි “Dark room” මේ ගමන යන්නෙ. ඉදිරියට “Dark room” එක්ක අපි යුරෝපා සංචාරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

l ඔබ වේදිකා නාට්‍ය කරණයට ප්‍රවිශ්ට වූ ආකාරය ගැන කිව්වොත්?

මම ඉපදුණේ රත්නපුර කලවාන ප්‍රදේශයේ. පාසල් අධ්‍යාපනය හමාර කරලා කොළඹ ආවා. ඒ ඇවිත් මං අවුරුදු 12ක් ම රංගනය ඉගෙනගත්තා. ඒ කාලෙ ඇතුළත වේදිකා නාට්‍යවල රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා. ආනන්ද එස්. විජේසිරි මහත්මයාගේ “දෙව්ලොව යනකං”, “පුරවර සුන්දරී”, “නෙත් අඳ බිසව්”, විජේසිංහ මලල්පොළ මහත්මයාගේ “සීතාවක රාජසිංහ” සහ සුමිත් රත්නායක මහත්මයාගේ “ආඩම්බරකාරයා” වැනි නාට්‍යවල වැඩ කරලා මට ලොකු ආසාවක් තිබුණා වේදිකාවේ උන්නතිය වෙනුවෙන් යමක් කරන්න. මොකද මගේ ජීවිතේට ආලෝකයක් එකතු වෙන්නෙ වේදිකාවෙන්. “Dark room” මගේ පළවෙනි අධ්‍යක්ෂණය නෙවෙයි. මීට කලින් මම “බමන මධු” සහ “1960” කියන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. උසස් ගණයේ වේදිකා නාට්‍යකරුවෙක් විදිහට ඉඳලා මැරෙන එක තමයි මගේ එකම අරමුණ.

l වර්තමානයේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ ඔබ දකින ගැටලු මොනවාද?

මේ වේදිකා නාට්‍යවල වැඩ කරපු මිනිස්සුම තමයි ක්ෂේත්‍රය තුළ තරුණයාට ඉස්සරහට එන්න දෙන්නෙ නැත්තෙ. මේ රටේ තරුණයන්ට ඇත්තටම තැනක් නෑ. උපාධි ගත්තු අය තමයි ඊළඟට එන්න ඉන්න පොඩි එකාට ඇඟිල්ල දික් කරන්නෙ. එහෙම තත්ත්වයකුයි අද මේ රට ඇතුළෙ තියෙන්නෙ. මේ රටේ තියෙන ලොකුම අවුල තමයි තමන්ගේ වර්ගයා විසින් ම තමන්ගේ අයව නැසීමට කටයුතු කිරීම. ඇත්තටම කතා කරන්න ඕනෙ දේවල් ගොඩක් යටගහගෙන තමයි අපි මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙ. මොකද අද රටේ වැරද්ද ගැන කතා කරන මිනිහානේ වැරදි කාරයා වෙන්නෙ. ඒ වගේ ම තමයි නාට්‍යයක් නිර්මාණය කළාට පස්සෙ දර්ශන වාර 50ක්වත් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එහෙම කරන්න බෑ. ගැටලු වැඩියි. අද වෙද්දි හෝල්වල ගණන් වැඩියි. හැම දේම මිල අධිකයි. ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතිං මං කියන්නෙ, අපි බදු ගෙවනවා නම් අපි ගැනත් රජයෙන් බලාගන්න ඕනෙ.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...