අපේ ආර්ට් ඇතුළේ සැබෑ ජීවිත නැහැ | දිනමිණ

අපේ ආර්ට් ඇතුළේ සැබෑ ජීවිත නැහැ

අජිත් කුමාරසිරි

හේ වෙසෙස් ආකාරයේ සංගීතඥයෙකි. හෙතෙම සංගීත විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. එසේම ‘සාහිත්‍ය මාක්ස් ඒන්ගලස්වාදය හා සංගීත විචාරය’ සහ ‘බොබ්මාලේ’, යන කෘති හි කතුවරයාය. ඔහු නිර්මාණය කළ ‘ආදරය සහ දේශපාලනය’, ‘තුන්වෙනි ලෝකය’ සංගීත ඇල්බම වෙනස් ආකාරයට හිතන මතන තරුණ ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඔහු කුළුදුලේ සංගීතය සැපයූ ‘අලිමංකඩ’ සිනමා පටයට මෙන්ම ‘මෝර්ටර් බයිසිකල් ’ සිනමාපටයටද හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයට පාත්‍රවිය. නුදුරේදී තිරගත වීමට නියමිත ‘රතු සමනල හීනයක්’ සහ ‘කොළඹ’ සිනමාපට ද්විත්වයේද සංගීත නිර්මාපකයා ඔහුය. අටුවා ටිප්පනි පසෙකින් තබා කියන්නේ නම් හේ වෙනකකු නොව අජිත් කුමාරසිරිය. ලංකාවේ සිංහල රොක් රජුය. මේ කතාබහ සිනමා සංගීතය හා කලා වාරණය පිළිබඳවය

l ජන සංගීතය පිළිබඳව අජිත්ට තියෙන්නේ වෙනස් කියවීමක් ඇත්තටම ලංකාවේ ජන සංගීතය කියලා ඉස්සරහට ආවේ මොකක්ද ?

ලංකාවේ ජන සංගීතය කියන විෂය ගොඩනගන්න ඩබ්ලිව්. බී. මකුලොලුවල, සී.ද.එස්. කුලතිලක වගේ අය ගොඩක් වෙහෙසුණා. විශේෂයෙන්ම සී.ද.එස්. කුලතිලක. ඒ ගැන රිසර්ච් කළා. මමත් ඒවා කියවල තියෙවා. ලංකාවේ සංගීත සම්භවය’ කියන පොත ඒ අතර තිබුණා. ලංකාව මානව වංශ සංගීත විද්‍යාව’ කියන විෂය හඳුන්වා දෙන්න එයා. අනික් අතට මේක ව්‍යාපෘතියක් විදියට එළියට එන්නේ සිරිමාවෝගේ ආණ්ඩුව කාලේ. ඒකාලේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. අමරදේව - සේකර කියන්නෙත් ඒ එක ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘති හරහා සිංහලකම උලුප්පල පෙන්නන්න ඕන වුණා. මේ නිසා අනෙක් ජාතින් අතර පොඩි අසරණ වීමක් තිබුණා. මේ නිසා සමාජගත වුණේ වැරදි අදහසක්. මේ ව්‍යාපෘතිය ඇතුළෙ එකවිදියකට මේ අය කොටු වුණා. ඒ නිසා සංගීතමය කලාවකට එහා ගිය ජාතිකවාදී අදහසක් තමයි මේ ව්‍යාපෘතියෙන් එළියට ආවේ. අවසානෙ ජාතිවාදී කෑල්ල උඩට අවිල්ල සංගීතය කියන එක යටට ගියා. කලාව අතුරුදහන් වුණා. අද තියෙන ප්‍රශ්නෙ තමයි එතනින් එහාට අපි යන්නෙ කොහොමද කියන එක.

l ඔබ ඔය කියන සංගීත ව්‍යාපෘතිය ඇතුළෙ ගොඩනැගුණු දේශපාලන ව්‍යාපෘතිය ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

මේ හැම දෙයක්ම හැදෙන්න ගන්නේ ගුවන් විදුලිය සංස්ථාව ආශ්‍රය කරගෙන. ඒක මෙහෙයවන්නේ ආණ්ඩුව. ඒ කාලේ ගුවන් විදුලිය ඇරෙන්න වෙන මොනවත් මාධ්‍යයක් තිබුණෙ නැහැ. ඒ නිසා ජන සංගීතය ආශ්‍රයෙන් වැඩ කරන්න ඕන කියන ව්‍යාපෘතිය ඇතුළෙ ගොඩක් අයට ජාතිකවාදී නැඹුරුවකින් වැඩ කරන්න සිද්ධ වුණා. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව,සී.ටී. ප්‍රනාන්දු, මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, අරිසෙන් අහුබුදු,... මෙකී නොකී ගොඩක් අය මේ ව්‍යාපෘතියට ගොදුරු වුණා. රත්නදීප ජන්ම භූමි, මුණි සිරිපා සිඹිමින්නේ, පෙම්බර මා පුතණුවනේ, ලංකා ලංකා පෙම්බර, රණ බිම මැරුණේ සිංහලයෙකු නම්, මේ සිංහල අපගෙ රටයි, හෙළ ජාතික අභිමාණේ, ඉඳල තුන්හෙළේ කැලෑ තුළ සිංහල පැටවු වෙනකම්ම මේ ව්‍යාපෘතිය ඉස්සරහට ආවා. ඔය කාලෙම ජාතික ගුවන් විදුලිය හරහා රණ ගී කියල ජාතියකුත් විකාශනය වුණා. මේව කළේ ජාතිය නැගිට්ටවන්න වෙන්න ඇති. හැබැයි ඒවා ගැයුණෙ සිංහලෙන් සිංහල මිනිස්සු ඉලක්ක කරගෙන. කොහොම හරි මේකෙන් වුණේ කලා කරුවකුට තමන්ගෙ කලාව අහිමිවෙලා වෙන දෙයක් එතෙන්ට ආදේශ වුණ එක. අදත් අපි මේ දකින්නේ එවයෙ ප්‍රතිඵල.

l අපි සිනමා සංගීතය පැත්තට හැරුණොත්, මිනර්වා නාට්‍ය කණ්ඩායම චිත්‍රපටි කරන්න පෙළඹීමත් එක්ක නව ප්‍රවණතාවයක් ඇති වුණත් දකුණු ඉන්දීය ප්‍රවණතාවයෙන් මිදෙන්න බැරිව යනවා.

එදා නෙමෙයි අදත් ඒක එහෙම තමයි. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම අදටත් සිනමා කරුවන්ගෙන් 99‍% කටම මිනර්වා සම්ප්‍රදායෙන් මිදෙන්න බැරිවෙලා තියෙනවා. වසන්ත ඔබේසේකර, මාලක දේවප්‍රිය කියන සිනමා කරුවන් තුළ මීට වෙනස්ව ගිය මඟක් ගැනීමේ උත්සාහයක් තිබුණා.

l ඔබ කරන චෝදනාව බරපතලයි. ‍සෝමදාස ඇල්විටිගල, ප්‍රේමසිරි කේමදාස වගේ සංගීතඥයින්ටත් ඒකෙන් ගැලවෙන්න බැරි වුණා කියලද මේ කියන්නේ?

ඔව්, මේ දෙන්නටම ඒ ආපූ මිනර්වා වට්ටෝරුවෙන් මිදෙන්න බැරුව ගියත් තරමක් දුරට හරි සෝමදාස ඇල්විටිගලගේ ඇප්‍රොච් එක වෙනස්. කේමදාසට වුණත් කිසියම් අත්වැලක් සපයන්නේ සෝමදාස ඇල්විටිගල. එයා තමයි මුල්වරට විශාල ඔකෙස්ට්‍රා එකක් නිර්මාණාත්මක විදියට පාවිච්චි කරන්නේ. ඒ කාලේ ඔකෙස්ට්‍රා තිබුණෙ එස්.එල්.බී.සී එකේ දැනට වඩා හොඳ විධිමත්ව පුරුදු පුහුණු වෙච්ච ඔකෙස්ට්‍රා එකක් එදා තිබුණා. ඒ කාලේ රුක්මණිදේවි සින්දු කියනකොටත් ලොකු ඔකෙස්ට්‍රා එකක් ප්ලේ කළා. සංගීතය පිළිබඳව අවබෝධයක් තියෙන අය ඒ තුළ හිටියා. නමුත් ඒ අයට වැඩ කරන්න වුණේ මං කලින් කියපු සීමාවෙ ඉඳගෙන. සෝමදාස ඇල්විටගලට වුණත් සංගීතය සපයන්න වුණේ සින්දුවලට. ඒ තුළ වුණත් යම් වෙනසක් මතු කරන්න එයාට පුළුවන් වුණා. නමුත් මුලිකව සින්දු තමයි. සින්දු නැත්තම් ඒකාලේ ෆිල්ම් එක දුවන්න බැරි ගතියක් තිබුණා. මේක ඇත්තටම චිත්‍රපටියට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි.

l මේ බල පෑම තව මොන ක්ෂේත්‍රවලටද එල්ල වුණේ?

මේ කාලේ වෙද්දි විනෝදාස්වාදය ලබාදෙන්න නිර්මාණය වුණු ආයතන හැදුණෙ ආණ්ඩුවල මැදිහත් වීමෙන්. විශේෂයෙන්ම ගුවන් විදුලිය සහ චිත්‍රපටිය ප්‍රමුඛ සංගීතය. මේ විනෝදාස්වාදය සපයන වෙළෙඳපොළ ඇතුළෙ ඉන්ඩ්‍රස්ට්‍රියල් ප්‍රොෆෙෂනල් එකක් හැදෙනවා. මේ නිසා විනෝදාස්වාදය ලබාදීම ධනෝපායන මාධ්‍යක් බවට පත් වෙනවා. වැටුප් විදියට ගෙවන සල්ලි මිනිස්සුන්ගෙන් ආපිට ගන්න ඕන. ඒකෙන් තමයි මේ සිස්ටම් එක දුවන්නේ. ඒවා ගත්තේ ‍විනෝදාස්වාදය එක්ක ගොඩනැගුණ වෙළෙඳපොළ හරහා. ඔයා ඇහුව්වනේ වෙන ක්ෂේත්‍ර ගැන, අපි කලාවට සම්බන්ධ නැති ආගම ගමු. පන්සල්, මේකත් එක්තරා කර්මාන්තයක්. මේකෙදිත් මොනව හරි විදියකින් මිනිස්සුන්ගෙ සිත්සතන් සනසල හෝ රවටල මුදල් ටිකක් හොයා ගන්න ධනෝපායන මාධ්‍යයක්.

ලෝකේ එක එක විදියට මනසට සැප දෙන්න හදන දෘෂ්ටිවාද හැම එකක්ම එහෙමයි. බුද්ධාගම, කතෝලික ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම... විනෝදාස්වාදය ලබාදෙන දේවල්, චිත්‍රපටි, සංගීතය මේ හැම එකක්ම එහෙමයි. මේ විනෝදාස්වාදය ළඟා කර ගැනීම සඳහා අති විශාල මුදලක් සංසරණය වෙනවා. ඒ නිසා මේ වට්ටෝරුව මේ අය ලේසියෙන් අතහරින්නේ නැහැ. හැම ආගමේම එදා ඉඳළ අද වෙනකම්ම තියෙන්නේ එකම වට්ටෝරුවක්. එකම දේ කියාගෙන යනවා. මෙහෙම කියන ගමන් අති විශාල මුදලක් හම්බ කරනවා. විශාල ධනයක් රැස්වෙන නිසා කීයටවත් මේ වැඩේ අතහරින්නේ නැහැ. පැවැත්ම හැදිල තියෙන්නෙ ඒකට. ඒ අයට මේක අතහරින්නත් බැහැ. ලෞකික අපිට වඩා සුඛෝප බෝගී දේවල් පාවිච්චි කරන්නේ අලෞකිකයි කියල කියන මේ පිරිස. මේ අය මුදල් උපයගන්න එකම රෙසපි එක පාවිච්චි කළා වගේම සිනමාව ඇතුළෙත්, එදා ඉඳල අද වෙනකම්ම එකම රෙසපි එක පාවිච්චි කරමින් ඉන්නවා.

l එහෙම නම් සුනිල් සාන්ත, අමරදේව කළා කියන්නේ මොකක්ද? එතකොට කලාව කියන්නේ මොකක්ද?

සුනිල් ශාන්ත ඉන්දියාවෙදි දක්ෂතම ශිෂ්‍යා වෙනවා. ඉන්දියාවේ වගේම ලෝකෙ වෙනත් රටවල්වලින් ආපු අයත් පරද්දවලා එයා තමයි ගායනයට හා වාදනයට වැඩිම ලකුණු ලබාගන්නේ. ඔහු තමයි ඒ බ්‍රයිට්ම ශිෂ්‍යයයා. එයා ලංකාවට ඇවිල්ල ජීවත් වෙන්නේ ගෙදරක නෙමෙයි. කුකුල් කොටුවක. හැබැයි එයා නිර්මාණය කළ එකම සින්දුවකවත් එයා ඒක කිව්වේ නැහැ. කිව්වේ ඕළු පිපිච්ච හැටියි, ගංගා ඇලදොළ ගැනයි. එයා ගෙවපු ජීවිතය ගැන කියාගන්න විදියක් එයාට තිබුණෙ නැහැ. ඩබ්.ඩී. අමරදේවගත්තත් එයා ගෙවපු ඒ දුක්ඛිත ජීවිතය ගැන එයා මුකුත්ම කිව්වේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ සැබෑව හඟවල ව්‍යාජය තමයි මේ අය කලාව විදියට එළිට ගෙනාවේ. කිව්වෙම පැණි බේරෙන සින්දු. කපුගෙ තමයි යම් තරමක් හරි මේක කඩන්නේ. මෙතනදි තමයි අව්‍යාජ කලාකරුවාගේ භාවිතය පිළිබඳ ප්‍රශ්නකාරී භූමිකාව මතු වෙන්නේ. මිනිහෙක් ඇත්තටම තමන් කරන ප්‍රකාශනයත් එක්ක අවංකද. ඒක අතීත පරපුරෙත් නැහැ. වර්තමාන පරම්පරාවෙත් නැහැ. සමහර අය කටහඬට හෝ ලියවිලිවලට අවංක නැහැ.

l අය තමන්ගෙ නිර්මාණ කළේ ඇත්ත ජීවිතේ හඟවලනම්. අජිත්ගේ නිර්මාණවල ඒ අවංකත්වය තියෙනවද? ඒ අයගෙන් ඔයා වෙස් වෙන්නෙ කොහොමද?

මං සින්දු ලියල කියන්න කලින් රත්න ශ්‍රී විජේසිංහගේ ඉඳල උපුල් ශාන්ත සන්නස්ගල වෙනකම් පදරචකයො කියල කට්ටියක් හිටියා. මේ අයත් මිනර්වා කැටගරි එකේ අය ම තමයි. මේ අය ලියන දේවල්වලයි, මියුසික්වලයි, ගායකයා අතරයි විශාල පරස්පරතාවයක් තියෙනවා. ඒක හරියට ගණිකා වෘත්තිය වගේ. මුදල් පරමාර්ථය මිසක් එතනින් එහාට සම්බන්ධයක් නැහැ. අත්දැකීම ගායකයගෙ නෙමෙයි කියල ගායනයෙන්ම අපිට පේනවා. ඒ අවංකත්වය කටහඬේ පෙන්න නැහැ. පද රචනය, කටහඬයි අතරෙ තියෙන්නේ ගනුදෙනුවක් කියලා ඒකෙන් පේනවා. මං එළියට එන්නෙම මගේ ලයිෆ් එක හරහා. මගේ දේවල් මම නිර්මාණය කරපුවා. මගේ කටහඬ, මගේ වාදනය, මගේ වචන, මගේ ඇත්ත ජීවිතයේ ෆීලින්ස් හරහා එළියට ආපුවා. ඒක එහෙම නෙමෙයි කියල මගේ නිර්මාණයක් පෙන්නල කවුරුහරි කියන්න මං පිළිගන්නවා. මං කියන්නේ එහෙම එකක් හොයා ගන්න බැහැ කියලා. හැබැයි මම රෝස පාට වළාකුලූ එක්ක සීනි බනිස් කිව්වහම එක අප් ලොඩ් වෙන්නේ වළාකුලූ සහ සීනි බනිස් කියල.

l කලා වාරණය ගැන ඔයාගේ අදහස මොකක්ද?

වාරණයත් ජාතිය ගොඩනැගීම වගේ තමයි. ආර්ටිස්ට්ල ඒකට ඇටෑක් කරන්න ඕන තමන්ගේ ක්‍රියේටිවිටි එකත් එක්ක මිසක් ප්‍රවෘත්ති සාකච්ඡා තියල නෙවෙයි. දැන් අපිට පේන්න තියෙන වාරණ විරෝධය බිස්නස් ට්‍රික් එකක්. අනෙක් පැත්තෙන් ඒක මධ්‍යමපාන්තික මිනිස්සුන්ට හදන ත්‍රිල් එකක්. ඒකත් අර බිස්නස් එකේම කොටසක්. ඇත්තටම ඉන්නේ දියුණු මිනිස්සු නම් වාරණය කියල එකක් කරන්න බැහැ. අනික එහෙම කරලා වැඩකුත් නැහැ. ආර්ටිස්ට් කෙනෙක් මේකට විරුද්ධ වෙනවනම් විරුද්ධ වෙන්න ඕන තමන්ගෙ ක්‍රියේටිවිටි එකත් එක්ක. උදාහරණයකට ජපාර් පන්නායිව හිරකරල තිබ්බත් එයා හිරේ ඇතුළෙ චිත්‍රපටියක් හැදුවා. ක්‍රියේටිවිටි එකක් එක්ක ෆේස් කරන්න මේ කට්ටියට බැහැ. එච්චරට බංකොලොත්. ජපාර් පන්නායිව වාරණය කලාම එයා ඒකට උත්තරදෙන්නේ ‘දිසීස් නොට් අ’ ෆිල්ම් එක කරලා. ඔහුට තිබුණු වාරණය අනුව කිසිදෙයක් කරන්න බැහැ. කොටින්ම අන්තර්ජාලය එක්ක සම්බන්ධවීම පවා තහනම්. නමුත් ඔහු මිත්‍රයකු හරහා කැමරාවක් ගෙන්නගෙ චිත්‍රපටය කරලා පෙන්ඩ්‍රයිව් එකකට දාලා රටින් පිටකරනවා. ඒක එයා කරන්නේ එයාගේ භාවිතය හරහාමයි. අන්න ඒ අය තමයි ආර්ටිස්ට්ලා. එහෙම නැතුව කල්ලි ගැහිල බිස්නස් ප්‍රමෝට් කරන අය නෙමෙයි. බොබ් මාලෙගෙ ‘අයි ෂුට් ද ශෙරිෆ්’ ඒ වගේ ගීතයක්. මේව පරණ වමේ වැඩ. ඩි.එච් ලොරන්ස්ගේ කාලේ නෙමෙයි දැං තියෙන්නේ නිරාවරණය වුණු සමාජයක්. ඒක ඇතුළෙයි අපි වැඩ කරන්න ඕන.

l සම්මානලාභියෙක් විදියට සම්මාන ගැන ඔයාගේ අදහස මොකක්ද?

මිනිස්සු සම්මාන ඉස්සරහ අන්ධයෝ, බිහිරෝ වගේ හැසිරෙනව දකිද්දී මට සතුටක් වගේම ලොකු කණගාටුවක් තියෙනවා. වැඩ කරපු හැටි අමතක වෙනවා, තරහ වෙනවා. අනික මෙහේ සම්මාන දෙන්නේ ඇමතිකම් බෙදල දෙනව වගේ. මේව හදාගෙන අපි ඉස්සරහට යන්න ඕන කියලයි මම හිතන්නේ.

රසික කොටුදුරගේ


නව අදහස දක්වන්න

Or log in with...