නම් කියවා ගැනීමේ උත්සාහයක් | දිනමිණ

නම් කියවා ගැනීමේ උත්සාහයක්

තමන් වෙත මෙන්ම තම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කරන දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා කළ බවට වන චෝදනාව බෝපගේ නොඩඉවසී ය. ප්‍රචණ්ඩ ක්‍රියා කළවුන් හොදින්ම දන සිටි බෝපගේ ඒ පිළිබදව අවස්ථාව ලද සැණින් පෙරළා ප්‍රශ්න කළේය.

“මම එක සැරයක් චන්ද්‍රා ජයවර්ධන මහතාගෙන් ඇහුවා ගෙයින් ගෙට ගිහින් දෙමළ ජනතාවගේ ගෙවල්, වෙළඳ ව්‍යාපාර තෝරා ගෙන ඒවා විනාශ කරන්නට හෝ කොල්ල කන්නට මැදහත් වූ බවට සැක කොට අත් අඩංගුවට ගෙන රඳවා ගෙන ඉන්න අය මොන මොන දේශපාලන පක්ෂවලට අයත්ද කියල ඔහු දන්නවද කියලා. ඔහු කිව්වා ඔහු ඒ ගැන නොදන්න බව. මම ඔහුට කිව්වා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසි කෙනෙක් ඔවුන් අතර ඉන්නට බැරි බව. සති කිහිපයකට පස්සේ ඔහු මට කිව්වා දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක් කොල්ල කන්නට මැදහත් වීම නිසා අත්අඩංගුවට ගෙන ඇති බව. මම ඔහුට කිව්වා ඒකෙන් අදහස් වෙන්නේ කොල්ලකෑමට සම්බන්ධ අනෙක් සියලු දෙනාම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නැති අය නේද කියලා. ඔහු ඒක පිළිගත්තා. ඒ වගේම මට කිව්වා අත්අඩංගුවේ සිටින වැඩි දෙනෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් බවත් ඊ ළඟට සිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බවත්.

“පස්සේ දවස්වල ප්‍රශ්න කරගෙන යන අතරෙ අපිත් එක්ක රඳවා ගෙන සිටි කිරුලපන ප්‍රදේශයේ ශ්‍රී ලංකා මහජන පක්ෂයට සම්බන්ධ පුද්ගලයා ඇත්ත වශයෙන්ම දෙමළ වෙළඳ ව්‍යාපාරිකයන්ට අයත් කඩවලට පහර දී භාණ්ඩ කොල්ල කාපු බවට තොරතුරු ලැබිලා තිබුණා. එක දවසක් රඳවා සිටි කුටියෙන් එළියට ගෙන වධ හිංසා කරන්නට ඔහුව ගෙන යන්නට ලෑස්ති වුණා. කර්නල් ප්‍රසන්න දහනායක මහතාත් ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත් මමත් අප රඳවා සිටි කුටි තිබුණ පළමුවැනි මහල භාරව සිටි පොලිස් පරීක්ෂකවරයාත් එතැන සිටි දෙවෙනියාත් මුණ ගැසී ඔහුට එසේ වධ හිංසා කළහොත් අපෙන් දැඩි විරෝධතාවයක් එල්ල වෙන බව කිව්වා. ඔහු එදා හැන්දෑවේ ආපසු ගෙන ආ විට ප්‍රශ්න කළ ආකාරය ගැන අපි ඔහුගෙන් විමසුවා. ප්‍රශ්න කරද් දී හිරිහැරයක් නොකළ බව ඔහු කිව්වා.

“කාලය ගත වෙද් දී හතර වෙනි තට්ටුවේ රඳවා ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසි කෙනෙක් මේ ජාතිවාදී කෝලාහලවලට සම්බන්ධ නැහැ කියලා පරීක්ෂණ පවත්වන අයට තේරුම් ගියා. ඊට පස්සේ ඒ අය අපි එක්ක සැහැල්ලුවෙන් කතාබහ කරන්න පටන් ගත්තා. මාත්, සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රා ජයවර්ධන මහතාත් අතර එක්තරා ආකාරයක සමීපතාවයක් ඇති වුණා. ප්‍රශ්න කරන්නට පෙර ඔහු මා සමඟ එකට තේ කෝප්පයක් බොන්නටත් සතුටු සාමීචියේ යෙදෙන්නටත් පුරුදු වුණා. සති දෙකක් පමණ ගත වුණාම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටිරල් ගුණතිලක මහතා අප සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණය පිළිබඳ වාර්තාවක් ඉහළට යවා ඇති බව ඔහු මට කීවා. එම වාර්තාවෙන් අප කළු ජූලි කලබලවලට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව නිගමනය කොට තිබුණා. ඉහළින් අපව නිදහස් කරන්නට සූදානමක් නැති බවත් ඔහු ඒ සමඟම කීවා. ඒත්, කවදා හෝ රජයට අපව නිදහස් කරනවා හැරෙන්නට වෙනත් කිසිවක් කළ නොහැකි බවයි ඔහුගේ අදහස වුණේ.

“ඒත්, ඊට සතියකට විතර පස්සේ ප්‍රශ්න කිරීමේ ස්වභාවය වෙනස් ස්වරූපයක් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ස්වරූපය සහ ඒවායේ නිලතල දැරූ අය පිළිබඳව කරුණු විමසන්නටත්, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය අතර සම්බන්ධතාවයක් පැවතුණ බවක් ඔප්පු කරන්නටත්, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට එරෙහිව සිටි හෝ කටයුතු කළ කලාකරුවන් වැනි පිරිස් අත්අඩංගුවට ගන්නට අපෙන් කරුණු ලබා ගන්නටත් රජය උත්සාහ දරන බව මට පෙනුණා.”

චන්ද්‍රා ජයවර්ධන මහතා නිතරම බෝපගේව ඔහුගේ ඉවසා සිටීමේ සීමාවන් දෙසට තල්ලූ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටුවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින්ගේ නම් දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. ලයනල් බෝපගේ විසින් කරන ලද්දේ ඒ වන විටත් ජනතාව හොඳින් දන්නා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ නම් පමණක් ඔහු වෙත ලබා දීමය.

“ඒ වෙනකොට දේශපාලන මණ්ඩලයේ ප්‍රසිද්ධියේ කටයුතු කළේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සෝමරත්න කළුආරච්චි සහ බණ්ඩාර තෙන්නකෝන් සහෝදරවරුත් මමත්. අප්‍රසිද්ධියේ කටයුතු කළ අය පියදාස රණසිංහ, සුමිත් අතුකෝරල, ඒ. ඩී. පී. රත්නායක සහෝදරවරු. ඊට අමතරව ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටුවේ සහෝදරවරු අතර දේශපාලන මණ්ඩලයේ සිටි සියලු දෙනාත්, පියසේන රාමනායක, ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, නෝමන් මානවඩු, කුරුණෑගල ලයනල්, කුරුණෑගල පාල, අම්පාරේ සුනිල්, සිසිර රන්දෙනිය, ශාන්ත බණ්ඩාර, උදේනි සමන්කුමාර, නන්දතිලක ගලප්පත්ති, ගුණරත්න වනසිංහ, සෝමවංශ අමරසිංහ, ඩී. එම්. ආනන්ද, එච්. බී. හේරත්, ත්‍රිකුණාමලයේ විමල්, ලලිත් විජේරත්න සහ රංජිදම් ගුණරත්නම් සිටියා.

“චන්ද්‍රා ජයවර්ධන මහතාගේ ප්‍රශ්න කිරීම්වල දී ‘විමුක්ති ගී’ ප්‍රසංගයට නොයෙක් ආකාරයෙන් උදව් කළ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට එරෙහිව සිටි හෝ කටයුතු කළ කලාකරුවන් සහ එවැනි වෙනත් පිරිස් අත්අඩංගුවට ගන්නට රජයට අවශ්‍යව බව මට දැනුණා. ඒ අයගේ නම් මගේ ප්‍රකාශයකට අඩංගු කරන්නට චන්ද්‍රා ජයවර්ධන මහතා උත්සාහ ගත්තා. විශේෂයෙන්ම සංගීත විශාරද නන්දා මාලනියගේ නම මගේ ප්‍රකාශයකට අඩංගු කොට ඇයව අත්අඩංගුවට ගන්නට රජයට අවශ්‍ය වුණා. මම ‘විමුක්ති ගී’ ප්‍රසංගයට උදව් කළ කලාකරුවන් ගැන උත්තර දීම ප්‍රතික්ෂේප කළා. නමුත් ‘විමුක්ති ගී’ ප්‍රසංගය නරඹන්නට කලාකරුවන් බොහෝ දෙනෙක් පැමිණි බවත් ඒ අය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධකමක් නැති බවත් මම කිව්වා.

“සහකාර පොලිස් අධිකාරිවරයා මට හදිසි අවස්ථා රෙගුලාසි කියෙව්වා. පරීක්ෂණයට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු නො දී හැරියොත් හදිසි නීතිය යටතේ උසාවිය හමුවට පත් කොට දඬුවම් පමුණුවා බන්ධනාගාර ගත කරන බව ඔහු කිව්වා. එහෙම කියන කොටම මට කල්පනා වුණේ, රටේ ජනතාව අමතලා රජය කරන බොරුව හෙළිදරව් කරන්න මට හොඳ අවස්ථාවක් ලැබෙන බව. ඒ නිසා මම කිව්වා ‘ඔබ මේ අහන ප්‍රශ්න කිසිවක් කළු ජූලි කලබලවලට කිසිසේත්ම අදාළ නැහැ. ඒ නිසා මම ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා. හැකි නම් මට නඩු දමා බන්ධනාගාර ගත කරන්න’කියලා. ඇත්තටම සහකාර පොලිස් අධිකාරීවරයාට අවශ්‍ය වී තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාලනයට එරෙහිව අපිත් එක්ක සමීපව වැඩ කරපු වාමාංශික කලාකරුවන් කව්ද කියලා මගෙන් දැන ගන්න. මම එදා ඒ අයගේ නම් සඳහන් කළා නම් ඒ අයවත් අත්අඩංගුවට ගන්නවා. සහකාර පොලිස් අධිකාරිවරයාට අවශ්‍ය නම් ප්‍රසංගය නරඹන්නට පැමිණි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කලාකරුවන්ගේ නම් පවසන්නට පුළුවන් බව මම කිව්වා. මම එයින් අදහස් කළේ කිසිදු කලාකරුවෙක් අත්අඩංගුවට ගැනීම වළක්වන්න. මම එහෙම කියද් දී සහකාර පොලිස් අධිකාරීවරයා අපහසුතාවයකට පත් වුණ බව පෙනුණා. ඊට පස්සේ ඒ ගැන ප්‍රශ්න කිරීම නතර කළා.”

“1982 අගෝස්තු 2වනදා අත්අඩංගුවට ගත්තට පස්සේ කොතැනකට ගෙන ගියාද කියලා බිරිය චිත්‍රාට දන්වලා තිබුණේ නැහැ.අත දැරූ පුංචි දුවත් කර පින්නා ගෙන ඇය දින කිහිපයක් රහස් පොලිස් කාර්යාලයටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් ගිහින් තිබුණා. පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙක් 1983 අගෝස්තු 7 වනදා පමණක් මාව බලන්නට ඇයට අවසර දී තිබුණා. ඒත්, පැමිණෙන අය පිළිගන්නට හිටපු පොලිස් නිලධාරීන් ඇයට කියා තිබුණේ ගෙදර බත් කන්නට අයෙමත් මාව ගෙදර නොයවන බවයි. මාව අත්අඩංගුවට අරගෙන රඳවා ගැනීමෙන් සතියකට පමණ පස්සේ ඇයට මා බලන්නට අවසර දුන්නා. ඒ වෙලාවේ අපි දෙන්නා කතා කරන හැම දෙයක්ම පටි ගත කර ගැනීමට මයික්‍රෆෝනයක් අතින් අල්ලා ගෙන සිටින රහස් පොලිස් ස්ථානාධිපති කෙනෙක් සමඟ තවත් රහස් පොලිස් පරීක්ෂකවරු දෙන්නෙක් අපි දෙන්නගේ දෙපැත්තේ ඉදගෙන ගෙන හිටියා.”

සිසිර යාපා

හෙට - දැඩි රැකවල් මැද සතර කන් මන්ත්‍රණ...

නව අදහස දක්වන්න