අම්පාර-මොණරාගල දලුලන රබර් | දිනමිණ

අම්පාර-මොණරාගල දලුලන රබර්

තේ, පොල් සහ රබර් අපේ ප්‍රධාන ආර්ථික වැවිලි තුනයි. ශ්‍රී ලංකා භූමියෙන් හෙක්ටයාර් 203000ක් තේ වගාවටත්, හෙක්ටයාර 471000ක් පොල් වගාවටත්, තවත් හෙක්ටයාර 137000ක් රබර් වගාවටත් යටව තිබේ.

ආදායම අතින් බලන කල පසුගිය වසරේ තේ අපනයන මඟින් ඇ. ඩොලර් දසලක්ෂ 153ක් හෙවත් රුපියල් දසලක්ෂ 23388ක් ද, පොල් අපනයන මඟින් ඇ. ඩොලර් දසලක්ෂ 348ක් හෙවත් රුපියල් දසලක්ෂ 53037ක් ද රබර් අපනයන කටයුතු මඟින් ඇ. ඩොලර් දසලක්ෂ 39ක් හෙවත් රුපියල් දසලක්ෂ 5920 ක් ද උපයාගෙන ඇත.

තේ, පොල්, රබර් යන වැවිලි තුන පසුගිය කාලය තුළ වරින්වර පසුබෑමට ලක්වුවද, මේ වගා නැවත පුනරුත්ථාපනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියයි. ඒ සඳහා විවිධ සහනාධාර සහ දිරිදීම් සැපයීමත්, වගා පුනරුත්ථාපනයත් නොකඩවා සිදුවේ. මේ වගා තුන සඳහා සහනාධාර වැඩි කිරීම ඇතුළු පියවර රාශියක් අනුගමනය කිරීමට පසුගිය 21 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය විය.

අපේ රබර් වගාව නම් සහමුලින් රෙපෙයාර් කළ යුතු තත්ත්වයක පවතී. පැරැණි රබර් ගස් ගලවා ඒ වෙනුවට නව රබර් වගා ඇරැඹීම සඳහා හෙක්ටයාරයකට දෙන රබර් සහනාධාරය රුපියල් 150000 සිට රුපියල් 300000 දක්වා වැඩි කිරීම ගිය සතියේ ගත් එක් තීරණයකි. දැනට කුළුඳුල් නව වගා ඇරැඹීම සඳහා දෙනු ලබන සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 1,75000කි.

එම සහනාධාරය ද රුපියල් 3,50,000 දක්වා වැඩි කිරීම නව තීරණයයි. ශ්‍රී ලංකාවේ දැනට ඇති රබර් ගස් බොහොමයක් වැඩිහිටි වයස් කාණ්ඩයනට අයත්ය. සාමාන්‍යයෙන් රබර් ගසකින් සරු පලදාවක් ලබා ගත හැකිවන්නේ ගසක තරුණ අවදියේදීය. රබර් ගසක සාමාන්‍ය ආයු කාලය අවුරුදු 35කි. එහෙත් අපේ රබර් වගාවන්ගෙන් සියයට 56ක්ම වයස අවුරුදු 30ට වැඩිය. වගාවන්ගෙන් සියයට 30ක් වයස අවුරුදු 35 කාණ්ඩයේය.

රබර් පලදාව

ගස් වයසට යනවිට ලැබෙන පලදාව ද අඩුය. ශ්‍රී ලංකාවේ රබර් හෙක්ටයාරයකින් ලබන පලදාව කිලෝග්‍රෑම් 809කි. රබර් වගාවේ නිරත සෙසු රටවල් සමඟ සසඳනවිට මෙය ඉතා අඩු මට්ටමකි. එහෙයින් අස්වනු වැඩිකරන උසස් ක්ලෝනගණයේ වගාවන් ඇරැඹීමට දැන් කාලය පැමිණ තිබේ.

රජය විසින් මෑතකදී හඳුන්වාදුන් RUBBER MASTER PLAN වැඩසටහන අනුව හෙක්ටයාරයක පලදාව කිලෝග්‍රෑම් 1046 දක්වා 2024දී වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරේ. එම සැලැස්මට අනුව 2025 වනවිට රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 200000 දක්වා වැඩිකර ගැනීමට ද බලාපොරොත්තු වෙයි.

පැරැණි වගා පුනරුත්ථාපනය කරන ගමන් සාම්ප්‍රදායික නොවන රබර් වගා විරහිත ප්‍රදේශවලට රබර් වගාව හඳුන්වනවා දෙමින් නව වගාබිම් ඇති කිරීම ද නව වැඩපිළිවෙළකි.

මෑතකදී බොහෝ දෙනා රබර් වගාවෙන් ඉවත් වුණේ රබර් මිල පහත වැටීම නිසාය. රබර් සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ආර්. බී. ප්‍රේමදාස මහතා පවසන අන්දමට “රබර් වගාවේ අනාගතය හොඳ අතට හැරෙමින් තිබේ. ක්‍රමයෙන් රබර් මිල ගණන් යහපත් වෙමින් තිබෙන නිසා රබර් වගාව අනාගතයක් සහිත අගනා ආර්ථික වැවිල්ලකි.

බොහෝ දෙනා පුරුදුව සිටින්නේ රබර් වගා කර වැවෙන්නට ඉඩහැරීමයි. එසේ නොකර රබර් වගාවට අවශ්‍ය සාත්තු සප්පායම් කර රබර් වැවීමට පුරුදු පුහුණු විය යුතුය. එවිට සාරවත් වැවිල්ලකින් අගනා ප්‍රතිඵල ලබාදෙන බව අධ්‍යක්ෂ ජනරාල් ප්‍රේමදාස මහතා කියයි.

රබර් සංවර්ධන අංශය මෑතක සිට රබර් වගා නොකරන ප්‍රදේශ සඳහා රබර් වගාව හඳුන්වා දෙමින් සිටී. මොනරාගල, අම්පාර දිස්ත්‍රික්ක දෙක තුළ රබර් වගාව ජනප්‍රිය වෙමින් තිබෙන බවත්, රබර් වගා සාර්ථකව සිදුවන බවත් මොනරාගල රබර් වගාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක් පුරා පැතිරෙමින් තිබෙන බවත්, මොනරාගල රබර් සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී. එම්. පී. ආර්. දිසානායක මහතා පවසයි.

ඒ මහතා පවසන අන්දමට මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම, මොනරාගල, බුත්තල, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව, මඩුල්ල සහ වැල්ලවාය රබර් වගාව පැතිරෙමින් තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව, මහඔය, උහන, දමන, ලාහුගල සහ නාමල්ඔය යන ප්‍රාදේශීය කොට්ඨාස තුළද රබර් වගා පැතිරේ.

මේ ප්‍රදේශ සඳහා නිර්දේශිත රබර් පැළ ලබා ගැනීම සඳහා මේ වනවිට පැළ තවාන් දෙකක් ක්‍රියාත්මක වේ. මොනරාගල පැළ තවාන අක්කර 50කි. වාර්ෂිකව පැළ 4,50,000ක් නිෂ්පාදනය එමඟින් සිදුවේ. පදියතලාව පැළ තවානද අක්කර 50කි. වාර්ෂිකව පැළ ලක්ෂයක් නිෂ්පාදනය වේ. මේ ප්‍රදේශයට සුදුසු මෙම ක්ලෝන පැළ ප්‍රභේදය RRI SL 121ක් වශයෙන් නම්කර ඇත.

පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, තණමල්විල, සෙවනගල සහ කතරගම යන ප්‍රදේශයන්හි ද රබර් වගා කටයුතු ඇරැඹීම ඊළඟ පියවරකි. මේ ප්‍රදේශ බදව රබර් වගාවට සුදුසු ප්‍රදේශ දැන් හඳුනාගෙන තිබේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ දිසානායක මහතා තවදුරටත් පවසන්නේ මොනරාගල සහ අම්පාර දෙදිසා තුළ රබර් වතු පුනර්ජීවන වැඩසටහන යටතේ එක් එක් දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර් 1500 බැගින් රබර් වගා කිරීමේ කටයුතු දැන් ඇරැඹී ඇති බවයි. මොනරාගල දැනට හෙක්ටයාර් 10500ක රබර් වගා පැතිර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 1200ක වගා ව්‍යාප්තව තිබේ.

අපනය ‍ෙත්‍රය

දැනට ලැබෙන අස්වැන්න රබර් ෂීට් නිෂ්පාදනය සඳහා යොදාගැනේ. රබර් කිරි වශයෙන් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම් ද සිදුවේ. රබර් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය තුළද දැන් කැපී ‍පෙනෙන අංශයකි. රබර් ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කරන්නට මොනරාගල දිස්ත්‍රික්කය තුළ කදිම ව්‍යාපාරික පරිසරයක් ගොඩනැඟී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියයි. 2023 වනවිට මොනරාගල නිෂ්පාදනය මෙ. ටොන් 4960කි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්තාව පවසන්නේ ද රබර් භාණ්ඩ අපනයනය අතින් ශ්‍රී ලංකාව පෙරට එන බවයි. 2015 එම අංශයේ ඉපැයීම රුපියල් දසලක්ෂ 103223කි. 2016 රුපියල් දසලක්ෂ 111791කි. 2017 ඉපැයීම රුපියල් දසලක්ෂ 127428කි.

කුඩා වැවිලි ව්‍යවසාය සංවර්ධන වැඩසටහන මඟින් 2008 සිට 2015 දක්වා හෙක්ටයාර 5000ක රබර් වගා මොනරාගල අරඹා තිබේ. මොනරාගල සහ අම්පාරට අමතරව වව්නියා දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 3000කද, මුලතිව් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 3000ක ද ඉදිරියේදී රබර් වගා අරැඹීමට නියමිතය. එසේම හම්බන්තොට සහ පුත්තලමේ අක්කර 500 බැගින් තවත් අක්කර 1000ක් රබර් වගාවට සුදුසු යැයි හඳුනාගෙන ඇත.

ආසියානු සරවර්ධන බැංකුව, ඔස්ට්‍රේලියා රජය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්තකරුවන්ගේ සංගමය රබර් ක්ෂේත්‍රය පිළිබඳ ආයතන හා විද්වත් සහාය ඇතිව සකස් කළ රබර් මාස්ටර් පැලැනය අපේ රබර් කර්මාන්තය 2017 - 2026 කාලය තුළදී නවීකරණය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කර තිබේ. මේ සැලැස්මේ ප්‍රථම ව්‍යාපෘතිය ඇරඹුණේ ද පසුගිය සතියේය. ඒ අනුව චීනයේ HAINAN ප්‍රාදේශීය ආණ්ඩුව සහ HAINAN RUBBER INDVSTRY GROUP ආයතන ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ දියුණුවට අතහිත දෙමින් එම ක්ෂේත්‍රය සමඟ ව්‍යාපාරික සබඳතා අරඹයි.

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 30 – 40 අතර ආයෝජනයක් කිරීම සඳහා චීන මධ්‍යම ආණ්ඩුව සූදානමින් සිටින අතර හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට ද එරට සිය අභිලාෂය පළකර ඇත. මුදල් අමාරුකම් සහිත කලාපීය වැවිලි සමාගම් සඳහා චීන ආයෝජන ලබාදීම ගැන ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.

චීනයේ HAINAN කලාපය එරට රබර් නිෂ්පාදන කලාප තුනෙන් වඩාත් ප්‍රබල වූ ව්‍යාපාරික මධ්‍යස්ථානයකි. රබර් භාණ්ඩ නිෂ්පාදන සමාගම් රාශියක් එහි ස්ථාපිතය.

එසේම චීනයේ SINOSHINE GROUP සමාගමයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන සමාගම් සමඟ හවුල් ව්‍යාපාර ඇරඹීමට මූලික සාකච්ඡා පවත්වා ඇත.

රබර් අපනයනයට සම්බන්ධ ශ්‍රී ලාංකික සමාගම් 5ක් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ඒකාබද්ධව රබර් භාණ්ඩ අපනයනය නංවාලීමට ඉදිරිපත්ව සිටී.

ජැපර්ජි අපනයන සමාගම පොලිමාර් ප්‍රොඩක්ට්ස්, සින්වා හෝල්ඩිංග්ස්, ටෙක්ස්ට්‍රිප් සහ මයික්‍රො සෙල්ස් යනු එම සමාගම්ය.

ලෝක ඉල්ලුම

එක්සත් ජනපදය, ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, කැනඩාව, එක්සත් රාජධානිය සහ බ්‍රසීලය අපේ ප්‍රධාන වෙළෙඳ පොළ­ේය. ඉදිරියේදී චීනය විශාල වශයෙන් ශ්‍රී ලංකා රබර් මිලදී ගන්නා බවට ලකුණු දැන් පහළව තිබේ. හේතුව එරට මෝටර් රථ කර්මාන්තයේ පුළුල්වීමයි. දැනට ශ්‍රී ලංකාවේ රබර් මෝටර් රථ ටයර් නිෂ්පාදනය සඳහා භාවිතා වේ. ටයර් අපනයනයෙන් ශ්‍රී ලංකාව 2017 වසරේ ඇ. ඩොලර් දසලක්ෂ 510ක් උපයාගත්තාය.

රබර් අත්වැසුම් සඳහා වන ලෝක ඉල්ලුමෙන් සියයට 7ක් දැන් සැපයෙන්නේ ශ්‍රී ලංක‍ාවෙනි. ක්‍රේප් රබර් භාවිතයෙන් සෙල්ලම් බඩු නිපදවීම, ලේටෙක්ස් රබර් නිෂ්පාදන සඳහා වෝලකනයිසින් ක්‍රමයක් හඳුන්වාදීම, වල් මර්දනය සඳහා කාබනික හා අකාබනික වසුන්, ලේටෙක්ස් රබර් භාවිතයෙන් ටැංකි ඇතුළත ගැල්වීම සඳහා වූ සංයෝගයක් හඳුන්වාදීම වැනි පර්යේෂණ ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇත.

2017 වසර අගවනවිට ලෝක වෙළෙඳ පොළ රබර් මිල ගණන් ඉහළ යෑම ඇරඹිණි. ලෝක වෙළෙඳ පොළ මිල ගණන් සහ තෙල් මිල අතර සබඳතාවක් තිබේ. තෙල් මිල ඉහළ යත්ම කෘත්‍රිම රබර් මිල ද ඉහළ යයි. 2017 වසර තුළදී කොළඹ රබර් වෙන්දේසියේදී RSS 1 (ආර්. එස්. එස්. 1) කිලෝග්‍රෑමයකට රුපියල් 336.72 මිලක් ලැබුණි. එය සියයට 40ක මිල වර්ධනයකි. ලේටෙක්ස් ක්‍රේප් සඳහා ලැබුණු මිලද කිලෝග්‍රෑමයට රුපියල් 351.71 කි. එයද සියයට 34ක මිල වැඩිවීමකි. ෂීට්, ක්‍රේප්, ආර්. එස්. සහ ලේටෙක්ස් ක්‍රේප් සඳහා වන ඉල්ලුමද වැඩෙමින් පවතී.

නව ක්ලෝන

මේ නිසා පැරැණි රබර් වගා ඉවත් කර නව ක්ලෝන වර්ගයක් වගාකිරීමටත්, ඒ අනුව යමින් නව වගා ඇරැඹීමටත් නව ව්‍යවසායකයන් ඉදිරිපත් විය යුතුය. 2016 වසරේ නැවත රබර් වගා කිරීම් සිදුව ඇත්තේ හෙක්ටයාර් 595 කය. කුළුඳුල් වගා අරඹා ඇත්තේ හෙක්ටයාර් 272ක් පමණි. 2017 වර්ෂයේ නැවත රබර් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 847කි. කුළුඳුල් වගාව හෙක්ටයාර 328කි. දැන් සහනාධාර වැඩිවී ඇති අතර කෑගල්ල, කළුතර හා රත්නපුර යන සාම්ප්‍රදායික රබර් වගාබිම් ප්‍රදේශයනට බාහිර ප්‍රදේශවල ද රබර් වගා කළ හැකි බවත් ඉහළ අස්වනු ලබාගත හැකි බවත් පසක් වී තිබේ. රබර් ආශ්‍රිත කර්මාන්තයන්හි නිරතවීමට අදහස් කරන ව්‍යවසායකයනට ද අපනයන වෙළෙඳ පොළ ඉඩකඩ පුළුල් වෙමින් තිබේ.

රබර් වගා කරන්නන්ගේද දුක්ගැනවිල්ලක් තිබේ. රත්නපුර, කරපිංචේ රබර් වගාකරුවකු වන මෙරිල් දිසානායක මහතා පවසන්නේ රබර් කපන ශ්‍රමිකයන්ගේ හිඟය රබර් කර්මාන්තයේ පැවැත්මට හා දියුණුවට බාධාවක් බවයි. කිරි කපන ශ්‍රමිකයකුට දිනකට රුපියල් 1200ක් ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු කියයි. මේ නිසා බොහෝ රබර් ඉඩම් අතහැරදමන තත්ත්වයට පත්ව අතැයි කියන ඔහු කුඩා ඉඩම් හිමි තේ වගාකරුවන්ට ද ශ්‍රමික හිඟය බලපා ඇතැයි කියයි. මේ ප්‍රශ්නය ද විසඳාගත යුතු යැයි ඔහු කියයි.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

Or log in with...