වචනවලට පේටන්ට් නැත ඔබට “තරු සරණ” යි! | දිනමිණ

වචනවලට පේටන්ට් නැත ඔබට “තරු සරණ” යි!

“බුදු සරණයි“, “තෙරුවන් සරණයි“ යන්න බෞද්ධයන් අතර ප්‍රකට යෙදුම් ය. මෑතකදී බොහෝ බෞද්ධයන්ගේ වත්පිළිවෙත් අතරට, දුරකතන සාකච්ඡාවක් අවසන් කිරීමට පෙර බොහෝ දෙනකු කියන බායි වෙනුවට “බුදු සරණයි“ කිම ද එක් ව තිබේ. එසේ කියන විට අදහස් කරන්නේ ද, නැවත හමුවනතුරු සුභ වේවා යන්න අදහස් වන, “ගුඩ් බායි“ යන්න බෞද්ධ වෙස් ගැන්වීමකින් ඉදිරිපත් කිරිම ය.

බොහෝ සේ පැහැදීමකින් හා බැතියෙන් මුමුණන මේ පද වැල පහු ගිය සමයේ අතිශය දරුණු අපයෝජනයකට ලක් විය. ඒ “බුදු සරණ“ වෙනුවට “අබ සරණ“ යෝජනා කිරීම හරහා ය. ඒ අපයෝජනය කරන ලද්දේ බෞද්ධ හිමිනමක් විසින් වීම, එය ඛේදවාචකයකට වැඩි යමක් බවට පත් කළේ ය.

“අබ සරණ“ පැතුවේ සතුරන්ට ය. ඒ සතුරන් ඇතුළුව සියලු සත්ත්වයාට මෛත්‍රිය දේශනා කරන ලද ආගමක සෙවණ යටතේ, එහි ධජය යටතේ, හිඳගෙන, එහි ප්‍රබලම පරමාදර්ශයකට අභියෝග කරමින් ය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව වදාළ බුදුන්ගේ ශාසනය තුළ රැඳෙමින් ඒ දහම දේශනා කිරීමට තිබිය දී ය.

එහෙත් කිසිදු මහ නාහිමිනමක් හෝ බෞද්ධ සංවිධානයක් මේ අපයෝජනයට ප්‍රසිද්ධියේ එරෙහි නොවී ය. බෞද්ධ කටයුතු අමාත්‍යංශය ද නිද්‍රාවේ පසු වන්නට තීරණය කර තිබුණේ ය. සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට එය තමන්ට අයිති දෙයක් ලෙස හැගුණේ ම නැත. හැම දෙයක් ගැන ම දිග විචාර කරන මාධ්‍යවල පෙනී සිටින ආගමේ, ජාතියේ හා සභ්‍යත්වයේ ආරක්ෂකයන් ද එහෙම දෙයක් ඇසුණු බවවත් ඇඟවුයේ නැත. දුටුවේ ය, දුටුවා පමණකි - ඇසුවේ ය, ඇසුවා පමණකි යන බුදු බණ එහි විකෘති අර්ථයකින්, වචනයට වචනයක් ලෙස, පිළිපදිමින් ඔවුහු මුණිවත රැක්කා හ.

ඛේදවාචකය දෙගුණ ව, ත්‍රිගුණ ව, නැගුණේ ඒ සිසිර නිද්‍රාව හේතුවෙන් ය.

මේ සිසිර නිද්‍රාවේ ගැලී උන් අය එකවර නැගිටුවන සමාන පදවැලක් පහු ගිය කාලයේ ඇසුණේ ය. එය “තරුවන් සරණයි“ යනුවෙන් නම් විය. නිදා සිටිය අය නැගිටියා පමණක් නොව ඉන් පරල ද වූවෝ ය. එය බෞද්ධ විරෝධී යෙදුමක් බවට භෞතීස්ම කරණු ලැබි ය. එම පදවැලේ පියවරුන්ට අම්මලා මතක් කරමින් මූණු පොතේ බොහෝ දේ ලියවුණේ ය. ඒ, එම පදවැල බෞද්ධ විරෝධී යෙදුමක් ලෙස භෞතීස්ම කරනු ලැබූ godfather ලා අතිනි.

තරු සංස්කෘතිය

“තරුවන් සරණයි“ යන යෙදුම භාවිතා කොට තිබුණේ ගුවන් විදුලි නාටකයකට ය. ඒ නාටකයෙන් එහි නිර්මාතෘවර මාලක දේවප්‍රිය අදහස් කරන ලද්දේ වසංගතයක් මෙන් සෑම රූපවාහිනී චැනලයකට බෝවී තිබුණු තරු සංස්කෘතිය වන්දනා කිරීම ගැන නැවත සිතා බලන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාවක් දෙන්නට ය. ඔහුගේ අභිප්‍රාය පැහැදිලිව ම බුදුන් සරණ නොයා වෙනත් අටමගලක සරණ යෑම පිටුපස තිබෙන ඛේදවාචකය බෞද්ධයින්හට ම ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට ය. ඒ නිසා ම එහි අරමුණ කිසි ලෙසකින්වත් “අබ සරණ“ යන වෛරී ප්‍රකාශය පිටුපස තිබුණ අරමුණ මෙන් නොව ඉතා අහිංසක අරමුණක් වූයේ ය. එසේ තිබිය දී ඊනියා බෞද්ධයන් උරණ වූයේ ඒ අහිංසක ප්‍රයෝගයට ය. පැහැදිලිව ම වඩා උත්කෘෂ්ඨ අරමුණක් වෙනුවෙන් පද වැල යොදා ගැනීම සම්බන්ධයෙන් ය. “අබ සරණ“ සම්බන්ධයෙන් නොවූ විරූ විරෝධයක් ගෙන ඒමට තරම් එය බරපතළ වූයේ කෙසේ ද?

එය නිකම් විරෝධයකින් නැවතුණේ නැත. බෞද්ධ අන්තගාමීන්ගේ හඩ ඉක්මණින් ම සංස්කෘතික අමාත්‍යංශයට ද ඇසුණේ ය. සංස්කෘතික ඇමතිවරයා ම මැදිහත් වී මේ නාට්‍යය ද ඇතුළු මාලක දේවප්‍රියගේ “කණට පාරක්“ නම් නාට්‍ය මාලාව ම තහනම් කිරීමට පියවර ගත්තේ ය.

වඩාත් කනගාටුදායක වන්නේ යහපාලන ආණ්ඩුවක සංස්කෘතික ඇමතිවරයකු අතින්, පද පෙරළියක් පෙරදැරිකොටගෙන එල්ල කෙරුණු, අන්තගාමීන්ගෙන් විරෝධය හමුවේ, හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, ඒ කලා කෘති තහනම් වීම ය. අන්තගාමීන්ගේ ඝෝෂාව වැඩි නිසා ද ඔවුන්ගේ වදන්වැල කර්ණ කටුක නිසා ද යන කාරණා හේතුවෙන් වැඩිය හිතන්නේ මතන්නේ නැතිව මේ දේ කළා ද නැත්නම් ඔවුන්ටත් ඉහළින් බුද්ධාගමේ ආරක්ෂකයන් වීමට වුවමනා නිසා එය කළා ද යන්න තවම පැහැදිලි නැත. හැමදාම පරිදි ජන මාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ තහනම ගැන සිය අප්‍රසාදය පළ කර තිබුණේ ය. මෙවැනි දේ පිළිබඳ කෑකෝ ගැසීම් ඇති වන්නේත් අන්තිමට ඒ කෑකෝ ගැසීම් ඉදිරියේ, නොකළ යුතු වැඩ බලධාරීන් විසින් කරන්නේත්, බොහෝ දෙනා කසාය බිවු ගොළුවන් මෙන් නිහඩව සිටින නිසා ය.

මෙය කෙසේ ඉදිරියට ඇදී යනු ඇද්දැයි අපි බලා සිටිමු. ජය ගනු ඇත්තේ බොල් මිනිසුන්ගේ හිස් හඬ ද බුද්ධිමත් මිනිසුන්ගේ විචාර බුද්ධිය දැයි දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.

තරු මෙහෙයවන ජීවිතය

මාලක දේවප්‍රිය දුටුවේ මාධ්‍ය වසා ගෙන පැතිරෙන එක් වසංගතය කි. එහෙත් මාධ්‍යයේ ද අනුබලය ලැබ සිදු වන ඇටුවන් බැස ගත් තව වසංගතයක් තිබේ. එය මේ “තරු“ වසංගතයට වඩා ලොකු ය. එසේ වුව ද එය ද සම්බන්ධ තරුවලට ය. මා කැමති ඒ, වඩා ලොකු, ඛේදවාචකය දක්වන්නට මේ සරණයි යන යෙදුම භාවිතා කිරීමට ය.

බුදුන් සරණ නොයා අවකාශයේ තියෙන තරු (ග්‍රහලෝක පොදුවේ සම්ප්‍රදායිකව හැඳින්වූයේ තරු ලෙස ය) සරණ යෑමට 95% ක් පමණ බෞද්ධයෝ පේවී සිටිති. එය බුදු දහමට පටහැනි ය.

ඒ කෙසේ දැයි විමසන අපට පහත පාලි ගාථාවෙන් යම් ආලෝකයක් ලැබිය හැකි ය.

නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා

"කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?" යනු මෙහි සරල අදහස ය.

දීඝ නිකායේ ශීලස්‌ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්‌තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනකු ආරක්‍ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්‌තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යාවලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය.

බුදු සරණයි යැයි නිකම් කටට ආවාට කියන මේ බෞද්ධයෝ සැබෑ ලෙස සරණ යන්නේ මේ බුදුන් ප්‍රතික්ෂේප කළ “තරු“ ය. ඒ නිසා අප උන්ට සමු දිය යුත්තේ “බුදු සරණයි“ කියා නොව “තරු සරණයි“ යැයි කියා ය.

දැන් අපට “බුදු සරණයි, තෙරුවන් සරණයි“ යන දෙකටම ආදේශක තිබේ. ඒ “තරු සරණයි, තරුවන් සරණයි“ යන දෙක ය. ඒ දෙකම ජන මනස කා දමමින් සිටින නිසාත් ඒ දෙකම ඊනියා බෞද්ධයින් විසින් බුදුන්ට හා තෙරුවන්ටත් වඩා ඉහළින් තබන නිසාත් ඒ යෙදුම් වඩාත් කාලෝචිත ය. ඊට අමතරව ඒ නිසා වඩාත් හොඳින් තමන් ගැන නැවත විමසන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ ය. ඒ අතින් එය වඩාත් ප්‍රබල පණිවුඩයක් ගෙන එන්නේ ය.

වචනවලට පේටන්ට් නැත. ඒවා භාවිතයට ගැනීමට ඕනෑ ම කෙනකුට පුළුවන.

අප සැමට අදහස් තිබේ. ඒවා එකිනෙකට වෙනස් ය. බුදු බණේ ඒ බව විශේෂයෙන් කියා තිබේ. ඒ නිසා තමන් හිතන විදිහට ම සෙසු අය සිතිය යුතු ය යනුවෙන් නීති පනවන්නට කිසිවකුට නොහැකි ය. ඒ අප නිදහස් රටක් නිසා ය. ප්‍රජාතන්තුවාදී රටක් නිසා ය. ව්‍යවස්ථාවෙන් භාෂිතයේ නිදහස තහවුරු කොට ඇති නිසා ය.

හරි වැරදි වන්නේ භාෂණයෙන් ප්‍රකාශිත අදහස ය. එයින් අපේක්ෂිත පණිවුඩය ය. එයින් මනසට කරන ආයාචනය ය.

අවසාන විශ්ලේෂණයේ දී වැදගත් වන්නේ කියවෙන පණිවුඩය සාධනීය ද නිශේධනීය ද යන්න මිසක එය දැනට පිළිගත් සම්ප්‍රදායට, පුරුද්දට, යෙදුමට හෝ භාවිතාවට එකඟ ද යන්න නොවේ. ඒ බව අප ඉගෙන ගන්නේ කවදා ද එදාට මේ රට මිට වඩා යහපත් එකක් වනු ඇත්තේ ය.

“තරුවන් සරණයි“ යන්න මේ මෑතක දී ඇති වූ කලබලවලට අදාළ එක් කලා කෘතියක් පමණ ය. ඒ නාට්‍ය මාලාවේ සෙසු නාට්‍යවල මාතෘකා සම්බන්ධයෙන් ද ප්‍රශ්න තිබුණේ ය. ඒ හැම එකක්ම නාට්‍යයේ අන්තර්ගතය ගැන නොව එහි ලේබලය ගැන ය. එකක් “නිහොන් සැප ලැබේවා“ කියා ය. අනෙක “නිර්වස්ත්‍රං පරමං සුඛං“ කියා ය. බැලූ බැල්මට ඒවා ප්‍රශ්නෙකාරී බව ඇත්ත ය.“ නිහොන් සැප ලැබේවා“ කියන්නේ “නිවන් සැප ලැබේවා“ යන ආකාරයට ම ය. “නිර්වස්ත්‍රං පරමං සුඛං“ කියන්නේ “නිබ්බානං පරමං සුඛං“ කියන තාලයට ය.

ලේබල් සහ මාකටින්

මේවා එක්තරා දුරකට මාකටින් වැඩ ය. මේ වැඩ නරක නම් “සිද්ධාර්ථ තෛලය“ හා “බුද්ධරාජ කල්කය“ ද නරක ය. ඒවා ද මාකටින් ය. එහි දී යොදා ගෙන ඇත්තේ පද විතරක් වුව ද ඒවා මාකටින් නොවේ යැයි කිව නොහැකි ය.

දැන්වීම් කලාවේ වැදගත් අංගයක් වන්නේ උත්ප්‍රාසය ය. එය නිකම් ම හාස්‍යයට වැඩි දෙයකි. හාස්‍යය ලේ පිරිසුදු කරන නමුත් බුද්ධියට අමතන්නේ නැත. උත්ප්‍රාසය, හාස්‍යය ජනිත කරමින් මනස ද අවදි කරවයි. උත්ප්‍රාසය සලකනු ලබන්නේ ඉතා සඵල සන්නිවේදන මාදිලියක් විදිහට ය. පණිවුඩයක් කීමේ වඩාත් ම සාර්ථක ක්‍රමය ලෙස ය. ඒ නිසා මේ නම් දෙකේ දී ජනයාට හුරු පද භාවිතයට අමතරව උත්ප්‍රාසය ද අඩංගු කර තිබිම ගැන අපට එහි නිර්මාර්තෘවරුන්ට දොස් කිව හැකි ද? ඒ තුළ මා දකින්නේ ඔවුන්ගේ නිර්මාණශිලිත්වය ය.

එහෙත් සපත්තුවක නැතිනම් සෙරෙප්පුවක යොදා ඇති නැවක සුක්කානමක් හඟවන ලාංඡනයක් තුළ ධර්මචක්‍රය සොයන භික්ෂූන්ට හා ඔවුන්ට මැර බලය සපයන ඊනියා බෞද්ධයින්ට මේ උත්ප්‍රාසය තේරුම් ගත නොහැකි ය. ඔවුන්ට ඒ උත්ප්‍රාසය හා ඉන් මතු කරන පණිවුඩය නොපෙනෙන අතර පෙනෙන්නේ තමන් සොයන, මේ නිර්මාණශීලී කලාකරුවන් විසින් කරන්නේ යැයි ඔවුන් සිතන, පරිහාසය පමණ ය.

ඔවුන් කොතරම් තමන් සොයන දේ පමණක් සොයන ඉන් නවතින උදවිය ද බව පෙනෙන්නේ ඕමල්පේ සෝභිත හිමියන් විසින් මේ සම්බන්ධයෙන් එක්තරා පුවත්පතකට කර තිබුණු ප්‍රකාශයක් තුළ ය. “අන්තර්ගතය වැඩක් නෑ. නම තමයි අපේ විවේචනයට අසු වෙන්නෙ“. එයින් කියවෙන්නේ කියන පණිවුඩය අදාළ නැති බව ය. නම තුළ තමන් නැවතී ඇති බව ය. මේ නම් තම ශ්‍රාවකයන්ට විමසන ලෙස බුදුන්ගේ උපදෙස් නම් නොවන්නේ ය.

අජාන් බ්‍රහ්මවංස හිමියන්ට එරෙහි අපේ හාමුදුරුවන්

වරෙක අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් කෙනකු මෙසේ අසන්නේ ය. කිසියම් කෙනකු ඔබ වහන්සේ ඉදිරියේදි ත්‍රිපිටකය හෝ ධම්මපදය ටොයිලට් වලකට දමා වතුර මුදා හැරියොත් කුමක් කරන්නේ ද? එහිමියන් නොපැකිල ව පිළිතුරු දෙන්නේ වහාම පයිප්ප වැද්දුම්කරුවෙක් කැඳවන බව ය. වඩා බරපතළ කාරණය වැසිකිළිය සිර වී කරදරයක වැටිම ය. ත්‍රිපිටකයේ හෝ ධම්මපදයේ පිටපත් නම් නැවත මිල දී ගත හැකි ය.

සිදු කරන ලද අගෞරවය ගැන වගේ වගක් උන්වහන්සේ පෙන්නුවේ නැත. ඒ පහත් වැඩය කළ තැනැත්තාගේ වැඩකි. එයින් කම්පා වී කලබල වීමෙන් වන්නේ අපේ සිත දූෂ්‍ය වීම ය. උන්වහන්සේ කල්පනා කරන්නේ එසේ ය. එයින් ඇති කළ අනර්ථය දරා ගත යුත්තේ එය කළ තැනැත්තා මිස බලා සිටි අප නොවේ.

අට ලෝ දහමින් කම්පා නොවන බෞද්ධ භික්ෂූන් වහන්සේලා එසේ වුව ද අපේ රටේ ඉන්නා බොහෝ සිවුරුධාරීන් නම් එයින් ප්‍රලය වී ජවුසම් නටනු ඇත්තේ ය. එසේ ජවුසම් නටන උන්ට අඩු වශයෙන් අනුබල දෙනු හෝ ඇත්තේ ය.

මේ නාට්‍ය මාලාවට අමතරව තවත් ලේ කැකෑරුණු පුවතක් දැක ගන්නට ලැබුණේ “බුදුන්ගේ රස්තියාදුව“ නම් පොත සම්බන්ධයෙනි. එතැන පවා ප්‍රධාන ප්‍රශ්නය තිබුණේ නම සම්බන්ධයෙන් මිස අන්තර්ගතය සම්බන්ධයෙන් නොවේ. අවසානයේ පොලීසිය පවා මැදිහත් වූ මේ ප්‍රශ්නය කලාකරුවන් විශාල පිරිසක් ඉදිරිපත් විම නිසා සමතයකට පත් වුණ් නමුත් මේ පොතට ද එහි කර්තෘට ද එලව එලවා පහරදීම් දිගටම සිද්ධ විය. අදට ද සිදු වෙයි.

අපි පළමුව රස්තියාදුව යන වචනය විමසා බලමු. එය අප නිතර භාවිතා කරන වචනයකි. එක් පැත්තකින් මිනිසුන්ව හෑල්ලු කරන්නට එය භාවිතා වන්නේ ය. ඒ, මිනිහා රස්තියාදුකාරයෙක් යැයි කියමිනි. අනිත් අතට අප කිසියම් වැඩක් කර ගැනීමට ගොස් නිපරාදේ කාලය වැයකොට පැමිණිය හොත් ඒ සංසිද්ධිය විස්තර කිරීමට ද එය භාවිතා වේ. එවිට අපට කියවෙන්නේ “පුදුම රස්තියාදුවක් නෙ වුණේ“ කියා ය. එතැන අපහසායක් හෑල්ලුවක් නැත. එතැන කියවෙන්නේ අපට සිදු වූ අකරතැබ්බයක් ගැන ය. බුදුන්ගේ රස්තියාදුව යන්න අදාළ මේ දෙවැනි යෙදුමට ය. ඒ බුදුන්ට සිදු ව ඇති “අකරතැබ්බය“ ගැන කීමට ය.

පිළිම වන්දනාව

බුදුන් වහන්සේ ලොවට උතුම් දහමක් හඳුන්වා දුන්නේ ය. මිනිසුන්ට ජිවිතයේ ඇති දුකෙන් මිදී නිවන ඇති කරගන්නා සැටි පෙන්වා දුන්නේ ය. එහෙත් වැඩි මනත් මිනිසුන් කළේ බුදුන් වහන්සේගේ පිළිමයක් හදා ගෙන එය වන්දනාමාන කරමින් රස්තියාදු වීම ය. එහෙම බැලුවහම බුදු වදන අපතේ ගොස් ඇත.

පහසුවෙන් රහත් වී තම නිවන සාක්ෂාත් කර ගැනීමට ඉඩ තිබිය දී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරමින් කල් ගත කළේ බුදු බව ලැබීමට ය. එසේ පැතුවේ ද, ඒ මග ගියේ ද, සෙසු සත්ත්වයාට ද ඒ නිවන ළඟාකර දීම පිණිස ය. එහෙත් වත්මන් බෞද්ධයින් විසින් නිවන හැර ඉතිරි සියල්ල බදාගෙන ඉන්නා බව දකින බුදුන් වහන්සේට අපරාදෙ පුදුම රස්තියාදුවක් නෙ වුණේ කියා නො කියවුණොත් තමා අප පුදුම විය යුත්තේ යන්න බුදුන්ගේ රස්තියාදුව යන පාඨයෙන් අනියමින් කියවෙන්නේ ය. එහෙම බැලුවහම නම හරියට ම හරි ය. එය උත්ප්‍රාසය දනවන පණිවුඩයක් ගෙනෙන්නේ ය. බෞද්ධයන්ට තම කල්ක්‍රියාව ගැන සිතන්නට පොළඹවන යමක් ඒ තුළ ඇත්තේ ය. අන්තර්ගතය නොබැලුව ද සෑහීමකට පත් විය හැකි පණිවුඩයක් එයින් පෙරා ගත හැකි ය. එහෙම පෙරා ගත හැක්කේ උඩින් පල්ලෙන් අතගා බලා නොවේ. ගැඹුරු විමසන ඥානයකින් බැලීමෙන් ය. බුදුන් වදාළ ලෙස යමක් දෙස කිමිදී බැලීමෙන් ය. සමාධි සිතකින්, තැන්පත් මනසකින්, බැලීමෙන් ය. එහෙත් අපේ බෞද්ධයන්ට එහෙමකට ඉස්පාසුවක් නැත.

අපේ රටේ බොහෝ බෞද්ධයන් නිරන්තර බියකින් පෙළේ. ඒ වෙනත් ආගමිකයන් ද නිරාගමිකයන් ද තමන්ගේ ආගමට අපහාස කිරිමට, එය ගිල ගැනීමට, ඒ හරහා තමන්ට “කෙළවන්නට“ හැම විටම සැදි පැහැදී ඉන්නේය, කල් යල් බලමින් ඉන්නේය, යන හැඟීම නිසා ය. ඒ බියෙන් මෙහෙයවනු ලැබ ඔවුන් සිතා සිටින්නේ මේ සියල්ල ඩොලර්වලින් මෙහෙයවන මහා කුමන්ත්‍රණයක අංග බව ය. කුඩා කෑලි බව ය.

මාරයාට නොදෙවෙනි බිය පැරදවීම

ඒත් ලෝකය හොඳින් විමසන්නේ නම් පෙනෙන්නේ භාෂණයේ නිදහස විසින් ආගම් පැතිරවීමට පමණක් නොව ඒවායේ අඩුපාඩු දක්වා සිටීමට ද ලොව බොහෝ රටවල මිනිසුන්ට නිදහස ලැබී තිබෙන බව ය. මිනිසුන් ඒ නිදහස භාවිතා කරන බව ය. එපමණක් නොවේ. හොඳින් බැලුවොත් පෙනෙන්නේ ඒ නිදහස නිසා වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ එරටවල වඩාත් ප්‍රචලිතව ඇති ක්‍රිස්තියානි දර්ශනය බව ය. බටහිර රටවල දේව ආගම් තරමට බුද්ධාගම උපහාසයට ලක් වන්නේ නැති බවත් එසේ බලන ඔවුන්ට තවදුරටත් පෙනෙනු ඇත. ඒ සමගම බුද්ධාගම්කාරයන් විසින් රුපියල් යොදවා කුමන්ත්‍රණ කරන්නේ යැයි ඒ රටවල මිනිසුන් සිතන්නේ නැති බවත් පන්සල් ඇති කිරීමට පමණක් නොව බුද්ධ ධර්මය ප්‍රචාරයට ද ඉඩක් පමණක් නොව ඇතැම් විට අනුග්‍රහයන් පවා ඇති බවත් ඔවුන්ට පෙනෙනු ඇත.

ප්‍රශ්නය ඇත්තේ අපේ රටේ බොහෝ දෙනකු කරදිය වළල්ලෙන් එහා ලෝකය දැක නැති නිසා ය. ඒ ලෝකය ගැන නොදන්නා නිසා ය. ඒ ගැන අසා නැති නිසා ය. විපරම් කර නැති නිසා ය.

ඒ නිසා ම පහසුවෙන් ආවේගයන්ට නතු වන කීපදෙනකුගේ පාරාදීසයක් බවට ඔවුන්ගේ රජදහනක් බවට රට පත් වෙමින් තිබෙන්නේ ය. කලාකෘතිවලට එරෙහි වෛරී ප්‍රකාශනයෙන් ද ඒ තුළින් මස්කප්‍රාප්තියට පත් වාරණයෙන් ද පෙනෙන්නේ ඒ බලවේගයන් යහපාලනය තුළ පවා ජය ගනිමින් තිබෙන බව ය.

වචනවලට පේටන්ට් නැත. ඒ නිසා භාෂිතයේ නිදහස භාවිතා කරමින් තරුවල සරණ යන ඔබට මට කීමට ඇත්තේ නැවත හමුවන තුරු “තරු සරණයි“ කියා ය.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න

Or log in with...