රංජන්ට එරෙහි නඩුව දෙසැ ; 10 සිට විභාගයට | දිනමිණ

රංජන්ට එරෙහි නඩුව දෙසැ ; 10 සිට විභාගයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 10 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
 
 
අදාළ පැමිණිල්ල අද අග විනිසුරු ප්‍රියසාත් ඩෙප්, විජිත් මළල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
 
එම අවස්ථාවේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
මෙහිදී නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සමන්විත සාක්ෂි ලැයිස්තුවක් සහ නඩුභාණ්ඩ අටක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
 
එම නඩු භාණ්ඩ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි හතරක් සහ එම ප්‍රකාශය පළ කෙරුණු ප්‍රවෘත්ති වාර්තා හතරක් ද ඇතුළත් විය.
 
එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල දෙසැම්බර් මස 10 , 11 සහ 12 වනදා යන දිනවල විභාගයට ගැනීමට නියම කළ අතර එදින සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබූ සිරස සහ හිරු රූපවාහිනී ආයතනවල නියෝජිතයින් හය දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතා සිත නිකුත් කර ඇත.
 
වගඋත්තරකාර නියෝජ අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුගේ අපහාසාත්මක බව කියන ප්‍රකාශය මාධ්‍ය ආයතන ගණනාවක්ම නැවත නැවත වරින්වර ප්‍රචාරය කර ඇති බවත් එම ආයතන සම්බන්ධයෙන් ද අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කළ යුතු බව දන්වා සිටියේය.
 
එවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සඳහන් කර සිටියේ ඒ පිළිබඳව පසුව සලකා බැලිය හැකි බවයි.
 
පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිලිවලට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.
 
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් අගෝස්තු මස 21වන දා අරලියගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වලට ප්‍රකාශයක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් අති බහුතරය දූෂිත පුද්ගලයන් වශයෙන් හඳුන්වා දී ඇති බව කියා සිටියේය
 
මෙම ප්‍රකාශය හරහා මහජනතාවට මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ පවතින විශ්වාසය බිඳ වැටෙන බව සටහන් කරන ලෙස පැමිණිලිකරුවන් මේ තුළින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට ඔහුට දඬුවම් පමුණුවන මෙන්ද ඉල්ලා තිබේ.
 

නව අදහස දක්වන්න