කොළඹ වැටලීම! | දිනමිණ

කොළඹ වැටලීම!

අද කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය හඳුන්වා ඇත්තේ “කොළඹ වැටලීම” යනුවෙන් ය. එහි ඉලක්කය ආණ්ඩුව පෙරළා දැමීම බව කියති. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ආණ්ඩුවක් පෙරළා තව ආණ්ඩුවක් පත් කිරීමට මැතිවරණයක් පැවැත්විය යුතු ය. මැතිවරණයක් සඳහා තව දීර්ඝ කාලයක් නැතත්; අද හෙට ම බලය හුවමාරු කර ගැනීමට සංවිධායකයන්ට ඉතා තදබල වුවමනාවක් ඇති බව පෙනී යයි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වී ඇත. එය මහජන අභිමතය නොසලකා හැරීමක් ලෙස ද හැඳින්විය හැකි ය. කොළඹ වැටලීම යන තේමා පාඨයෙන්ම පෙනී යන්නේ මෙය බලහත්කාරයක් බව ය.

උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකයන් ගත්විට පා - ගමන්, අත්වැල්, ශබ්ද ඝෝෂා ආදිය පවත්වා පළපුරුදු අය බැවින් මෙය දේශපාලන උපාය මාර්ගයක් හැටියට හෝ කුමන්ත්‍රණයක් හැටියට හෝ අර්ථ ගැන්විය හැකි ය. කුමන වර්ගයක විරෝධතාවයකට හෝ අද පවතින ඉඩ කඩ සීමා රහිත ය. එහි යටි අර්ථය වන්නේ ආණ්ඩුව අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් ලබා දී ඇති බව ය. සංවිධායකයන් අතුරුදහන් වන්නේ නැත. රාත්‍රියෙහි ඔවුන්ගේ නිවෙස්වලට සුදු වෑන් කඩාවදින්නේ නැත. ඒ පමණක් නො ව; විරෝධතාකරුවන්ට වෙඩි තබා මරා දමන පිළිවෙතක්ද අද නැත. එබැවින් බියකින් හා සැකයකින් තොරව උද්ඝෝෂණය පැවැත්වීමේ පසුබිම හා වාතාවරණය ආණ්ඩුව විසින්ම සකස් කර දී තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර තුනකි. ගෙවීගිය කාලය තුළ කෙළවරක් නැති උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්විණි. වරෙක නැඟිටිමු යනුවෙන් විරෝධතාවක් පැවැත්විණි. තව වරෙක පළමු වෙඩිමුරය යනුවෙන් උද්ඝෝෂණ පැවැත්විණි. තවත් වරෙක ඊළඟ වෙසක් පොහොය කේන්ද්‍ර කොට ජනරැලි පැවැත්විණි. එහෙත් ආණ්ඩුව යාන්තමට හෝ සෙලවුණේ නැත. මේ අනුසාරයෙන් බලන විට පෙනී යන්නේ කොළඹ වැටලීම ඒකාබද්ධ විපක්ෂයේ අන්තිම තුරුම්පුව විය හැකි බව ය. මෙය සාමාන්‍ය විරෝධතාවකින් එහාට ගිය කැරැල්ලක් බවට පත් කර ගැනීමේ වුවමනාව සංවිධායකයන්ට තිබේ. කොළඹ මහ රෝහල පමණක් නොව රාගම රෝහලත් සූදානම් කර තබන්නැ’යි එක් සංවිධායකයෙක් කියා ඇත.

බැලූ බැල්මට පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂය සමඟි සම්පන්නව හා සංවිධානාත්මකව මේ විරෝධතාව මෙහෙය වන බව ය. එහෙත් ඇත්ත කතාව ඊට වඩා වෙනස් ය. එක කණ්ඩායමක ඉලක්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ තැබීම ය. තව කණ්ඩායමක අභිප්‍රාය වන්නේ බැසිල් රාජපක්ෂ රජ කරවීම ය. තවත් කණ්ඩායමක අරමුණ නාමල් රාජපක්ෂ රටේ නායකයා බවට පත් කිරීම ය. ඒකාබද්ධ විපක්ෂය තුළ බලවත් කල්ලිවාදයක් පවතින බවද ආරවුලක් මෝරා වැඩෙන බවද ඉතා පැහැදිලි ය. ඒවා යටගැසීම සඳහා යොදාගත් සංකේතය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.

එක්තරා දේශපාලන විචාරකයකුට අනුව මේ උද්ඝෝෂණය කොළඹ වටලෑම පිණිස නො වේ. එහි අරමුණ ආණ්ඩුව ගෙදර යැවීම ද නොවේ. මේ විරෝධතාවේ යටි අරමුණ ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තෝරාගැනීම ය. එය තවදුරටත් පැහැදිලි කළහොත්; කොයි, කවර රාජපක්ෂවරයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ ද යන්න තීන්දු කරනු ලබන්නේ අද පැවැත්වෙන විරෝධතාව ඔස්සේ ය. මේ මතයෙහි පිළිගත හැකි තර්කයක් තිබේ. රාජපක්ෂවරු ජනාධිපති පුටුව සඳහා බල අරගලයක යෙදී සිටිති. එය හීන් නූලෙන් ගෙන යන තරගයකි. එක පැත්තක ගෝඨා සිටී. තව පැත්තක බැසිල් සිටී. තවත් පැත්තක නාමල් සිටී. මේ අතර මහින්ද හා චමල් ද අවශ්‍ය වුවහොත් ඉදිරිපත් වීමට බලා සිටිති.

ඒකාබද්ධ විපක්ෂය යැයි කියුව ද මේ ව්‍යාපාරය තුළ සෑම අතෙකින් ම තහවුරු වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ බල ආධිපත්‍යයයි. එක පවුලක් වටා කේන්ද්‍රගත වී ඇති දේශපාලනයක් කිසිවිටෙක ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ නැත. එය ඇදී යන්නේ එක්කෝ ඒකාධිපතිවාදය කරාය. නැතහොත් වැඩවසම්වාදය කරා ය. ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාට මේ දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවනු ඇත. රාජපක්ෂවරුන්ගේ බලඅධිකාරිය ද දැන් අභ්‍යන්තර ආරවුල්වලට මුහුණ දෙයි. එහි මේ වනවිට පවතින්නේ කණ්ඩායම් කිහිපයක උග්‍ර තරගයකි. කුමන කණ්ඩායම ජයග්‍රහණය කරත් ද යන්න තීන්දු කළ නොහැකි දෙයකි.

රටක් ඒකාධිපතිවාදය දෙසට ඇදී යන්නේ නම්; එය වැළැක්වීම සඳහා පියවර ගැනීම බුද්ධිමතුන්ගේ ද, ප්‍රබුද්ධ දේශපාලකයන්ගේද වගකීමකි. ඒ මතු නොව; රටක ජනමාධ්‍ය වුව එය වැළැක්වීම සඳහා යම් පියවරක් ගත යුතු ය. මේ සඳහා බලපවත්වන රජයේ වගකීම වෙන ම පවතී. අපගේ පිළිගැනීමට අනුව ඒකාධිපතිවාදය යළි හිස එසැවීම වැළැක්වීමට ගෙන ඇති පියවරක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සියල්ලටම ඉඩදීම සුදුසු දෙයක් නො වේ. විරෝධතාවකට ඉඩ දිය යුතු වුව; කැරැල්ලක් සඳහා ඉඩදිය යුතු නො වේ. කොළඹ වටලෑම පරිවර්තනය වෙමින් තිබෙන්නේ කැරැල්ලක් දෙසට ය. දැනට පෙනී යන සාධක අනුව එය තහවුරු වෙයි. අපට සිහිපත් වන්නේ බුදුන් නාගරාජයන්ට ලබාදුන් උපදේශනය යි.

නාගයෝ මෛත්‍රී භාවනාවට හුරු වී කිසිවකුට පෙණය නොදක්වා කරබාගෙන සිටියෝය. ගැහැනු වන වැදී දර කඩා ඒවා මිටි ලෙස බැඳ ගැනීමට නාගයන් යොදාගත්හ. මේ හිරිහැරය දරාගත නොහුණු නාගයෝ බුදුන් විමැසූහ. උන්වහන්සේගේ උපදේශනය වූයේ දෂ්ඨ නොකළද ඉඳ - හිට හෝ පෙණය පිප්පිය යුතු බව ය. ආණ්ඩුව ද පෙණය හකුලාගෙනම සිටීම වැරැද්දකි. ඉඳ - හිට හෝ තමන්ගේ බලය ප්‍රදර්ශනය කළ යුතු ය. මේ අතින් බලන විට පොලිස්පතිවරයාගේ මතය ඉතා නිවැරැදි ය. ඔහු කියා සිටින්නේ අවම බලය නොව; අවශ්‍ය බලය යොදන්නට තමන් සූදානම් බව ය.

මේ උද්ඝෝෂණය සඳහා සෙනඟ එන්නට පුළුවන. නොඑන්නටත් පුළුවන. ජන බලය,නැගිටිමු, පළමු වෙඩිමුරය, වෙසක් පොහොය දා ඉලක්කය ආදී ලෙසින් පැවැති විරෝධතා ලෙසින් මෙය ද අකා මකා වී යන්නටත් පුළුවන. කොයි හැටි වුව සෙනඟ රැස් වූ පමණින් ආණ්ඩුවක් ගෙදර යැවීම කළ නොහැකි ය. ඇරත් උද්ඝෝෂණ, රැස්වීම්. ජනරැලි ආදියට සහභාගී වන පිරිස රටේ ජනගහනයෙන් ඉතා ස්වල්පයකි. ඡන්ද දායකයන් අතරින් ගතහොත් ඊටත් වඩා ස්වල්පයකි. ජන බලය ඇත්තේ ඒ ස්වල්ප දෙනා අතර නොවන බව ජනවාරියේ දේදුනු විප්ලවය අපට කියා දෙයි. දේදුනු විප්ලවය කතා කළේ මිනිසුන්ගේ බුද්ධියට ය. ඒකාබද්ධය කතා කරන්නේ මිනිසුන්ගේ ඇඟට ය.

 

නව අදහස දක්වන්න