සෙරීනාගේ කුසලාන පිපාසය | දිනමිණ

සෙරීනාගේ කුසලාන පිපාසය

‘කුසලාන දිනාගැනීමේ ආශාව නම් පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ‘

ලෝක කාන්තා ටෙනිස් පිටියේ ජනප්‍රියතම හා විශිෂ්ඨතම ක්‍රීඩිකාව අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඊයේ එසේ කීවාය.

මේ දිනවල පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් අටදෙනා අතරට සේන්දුවී සිටින සෙරීනා මේ හඹා යන්නේ ඇගේ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළය. වසරකට සිවුවතාවක් පමණක් පැවැත්වෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි ගොන්නේ අවසන් තරගාවලිය අමෙරිකානු විවෘත තරගාවලියයි. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ආරම්භවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරග පෙලේ දෙවැන්න ප්‍රංශ විවෘත තරගාවලිය වන අතර තුන්වැන්න විම්බල්ඩන් තරගාවලියයි.

මේ වනවිට එවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන 23ක්ම දිනාසිටින සෙරීනා මෙවර අමෙරිකානු විවෘත තරගාවලියේ කුසලානයත් දිනාගනිමින් එතෙක් මෙතෙක් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලාන සංඛ්‍යාවක් දිනූ ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට්ගේ වාර්තාව සමකරනු ඇතැයි විචාරකයෝ අනුමාන කරති.

36 හැවිරිදි සෙරීනා ලෝක කාන්තා ටෙනිස් තරග බිමේ හිටපු නොම්මර එකේ ක්‍රීඩිකාවය. එකදිගට ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන දිනාගනිමින් සිටි ඇය හිටිහැටියේම 2017 වසරේ මැද භාගයේදී ටෙනිස් පිටයෙන් ඈත් වූයේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය නිසාය. ඉන් පසුව මාස 9ක්ම ඇය ගතකළේ සිඟිත්තියගේ උණුසුම විඳ ගනිමිනි.

ලබන සෙනසුරාදා ඇගේ සුරතල් දියණියට අවුරුද්දක් පිරෙද්දී 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය ඇයට පිරිනැමීම එකම බලාපොරොත්තුව බවත් සෙරීනා ඊයේ කීවාය.

හෙට අනිද්දා අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමට සෙරීනා සමත්වුවහොත් එය ඇගේ 7 වැනි අමෙරිකානු ටෙනිස් කිරුළ මෙන්ම 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානය ද වේ.

‘දිනනවා හැර මට ටෙනිස් පිටියේ වෙන දෙයක් වුවමනා නෑ.‘

‘දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මට මේ කුසලානය දිනාගන්න ලැබෙනවානම් ඊට වඩා සතුටක් නෑ.‘

වාර්තා පිට වාර්තා තබා ටෙනිස් පිටියෙන් සමුගැනීමට බලා සිටින සෙරීනාගේ අනාගත බලාපොරොත්තු කුසලාන වැඩි වැඩියෙන් ජයගන්නා සේම දරුවන් ද වැඩි ප්‍රමාණයකට මවක වීමටය.

‘නමුත් දැන් ඒකට වෙලාව නෙවෙයි. හැමදේටම කළින් කුසලාන හැකිතාක් ප්‍රමාණයක් ජයගත යුතුව තිබෙනවා. තව කල් තියෙනවනේ. ‘ ඇය එසේ කියන්නීය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න