විරෝධතාව ගැන ඇමති සජිත් | දිනමිණ

විරෝධතාව ගැන ඇමති සජිත්

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ගමින් ගමට – දොරින් දොරට නිවාස ජංගම සේවා පවත්වා ජනතාවගේ දෙපතුළ ළගට ගොස් ඔවුන්ගේ ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබා දීමට කටයුතු කරන විට, විරුද්ධවාදීන් ජනතාව කොළඹට ගෙන්වා මත්පැන් හා බුරියානි ජංගම සේවා පවත්වමින් ඔවුන්ගේ සාක්කු පුරවා අනතුරුව සිය පවුලට රටේ සින්නක්කර අයිතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
ජනාධිපති මන්දිරයට හා අරලියගහ මන්දිරයට ගොස් යහපාලන රජයේ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇද දමන බවට විරුද්ධවාදීන් ප්‍රකාශ කර ඇති බව කී අමාත්‍යවරයා, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින අප රටේ පාලකයින් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දැමීමට හැකියාව ඇත්තේ පොදු ජනතාවට පමණක් බවද සඳහන් කර සිටියේය.
 
අරලියගහ මන්දිරය හා ජනපති මන්දිරය වටලා නැවත බලය ලබාගෙන ඩොලර් කොමිස් කාක්කන් බවට පත්වීමේ දොළදුකක් විරුද්ධවාදීන්ට අද හටගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මත්පැන් හා බුරියානි ජංගම සේවාව ජනතාවට හොඳින් දැකබලා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “සැමට සහන”වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහරාමය, රබර්වත්ත හා උඩුවිල ප්‍රදේශ යාකර කිරිදි ඔය හරහා ඉදිවන නව ග්‍රාමීය පාලමට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ(04) සහභාගී වෙමිණි.
 
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත මෙම පාලම ඉදිකිරීම සඳහා වැයකිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 1,880 කි.
 
තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රබර්වත්ත, උඩුවිල, ඉක්කපල්ලම, ගෝනගමුව, කෝන්වැලෑන, සාලියපුර හා නැදිගම්විල යන ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මෙම පාලම ඉදිවීම මඟින් ප්‍රතිලාභ රැසක් හිමිවේ.

නව අදහස දක්වන්න