රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7ක සිර දඬුවම් | දිනමිණ

රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7ක සිර දඬුවම්

මියැන්මාරයේ සිර දඬුවම් ලැබූ මාධ්‍යවේදීන් දෙදෙනා වරදකරුවන් කිරීමට අනුගමනය කරන ලද නෛතික ක්‍රියාවලිය පැහැදිලිවම ජාත්‍යන්තර සම්මුති කඩ කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. බියෙන් සැකෙන් තොරව මියැන්මාරයේ රාජකාරි කිරීමට නොහැකි බව මේ නඩු තීන්දුවෙන් මාධ්‍යවේදීන්ට පණිවිඩයක් දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වුවත් සිර දඬුවමට ලක් වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා ද ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිත කිරීම නිසා රඳවාගෙන සිටින සියලු මාධ්‍යවේදීන් නිදහස් කරන ලෙස මහ කොමසාරිස්වරිය සිය නිවේදනයෙන් පවසා තිබේ. මියන්මාරයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින්, " මේ තීන්දුව අතිශයින්ම කනස්සල්ලට පත්කරන්නක්," බව පැවසීයැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය. එසේම, "අද අධිකරණ තීන්දුවෙන් අතිශයින්ම කනස්සල්ලට පත්වුණා,"යැයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරකවරයා ද කියා සිටියේය. රාජ්‍ය රහස් ළඟ තබා ගැනීම යන චෝදනාවට වැරැදිකරුවන් කරමින් රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් වන වා ලොන්(32) සහ ක්යාව් සො ඕ (28) ට වසර හතක සිර දඬුවමක් නියම විය.


නව අදහස දක්වන්න

Or log in with...