යක්ෂයකු කළ මිත්‍රයා ඩයස්පෝරාව | දිනමිණ

යක්ෂයකු කළ මිත්‍රයා ඩයස්පෝරාව

දුමින්ද අලුත්ගෙදර

ජාතීන් අතර අසමගිකම් දුරලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියල්ලෝම මේ රටේ ආර්ථික, සමාජීය, අධ්‍යාපන වශයෙන් ඉදිරියට යාමට ඒකරාශී විය යුතුය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට චෝදනා නඟමින් ඔවුන් මෙරටින් ඈත්කර තැබීම තවදුරටත් කළ නොහැකිය. ලෝකය ඉදිරියේ අභිමානයෙන් ලාංකිකයන් ලෙස සිට ගැනීමට විදෙස්ගත වූවන්ගේ සහය අවැසි යුගයක් පසුකරමින් සිටින සමස්ත රටවැසියාට, ඩයස්පෝරා නමින් හඳුන්වන්නේ කවරකුද යන්න මෙරට මාධ්‍ය පැහැදිලි කිරීමක් කළ යුතුය.

පසුගිය දශකය පුරා මෙරට විවිධ පුද්ගලයන් නිතර කතා කළ ඩයස්පෝරාව යනු කවරක් ද? දේශපාලන වේදිකාවල, රූපවාහිනී සංවාදවල හා පුවත්පත්වල සඳහන් වූ "ඩයස්පෝරාව" දමිළ ජනතාව හඳුන්වන තවත් එක් වචනයක් ද? නැතිනම් එය එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට සහය දෙන විදෙස් කණ්ඩායමක්ද? ඩයස්පෝරාව ග්‍රීක් භාෂාව මූලාශ්‍ර කොටගෙන පැවත එන්නකි. ඉන් මූලිකව අදහස් වෙන්නේ "විසිරී වෙසෙන ජන කොට්ඨාසයක්" යන්නය.

ඒ අනුව උපන් රට වන ශ්‍රී ලංකාවෙන් පිටව කාලයක් වෙනත් රටවල වෙසෙන පුද්ගලයන් අයත් වන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ය.

යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් සම්භවය ලැබූ දේශයෙන් පිටත විසිරී ගොස්‌ ජනසමූහයක්‌ හෝ ජාතියක්‌ ලෙස ජීවත්වීම හැඳින්වීම සඳහා ඩයස්පෝරා යන යෙදුම භාවිතා කර ඇත්තේ දමිළ, සිංහල, මුස්ලිම් හෝ වෙනත් ජාතීන්ට අයත් නම්වලිනි. එසේ නිර්මාණය වූ දමිළ ඩයස්පෝරාව ගැන ශ්‍රී ලාංකිකයන් නිතර කතා බහට ලක් කළ අවස්ථා තිබේ. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ඇති වූ තත්ත්වයන් ද ඊට හේතු විය. යුදමය පසුබිමක ජීවත් වූ ජනතාවට මුහුණ දෙන්නට සිදු වූ තාඩන පීඩන පහව යන්නටත් කලින්, නැවත වරක් එල්ටීටීඊ සංවිධානය පෝෂණය කිරීමේ වගකීම දමිළ ඩයස්පෝරාව අතට ගෙන ඇති බවට ප්‍රවෘත්ති මැවුණි. එවැනි ප්‍රවෘත්ති මෙරට මාධ්‍ය නිරන්තරයෙන් ප්‍රචාරය කිරීම ද ඩයස්පෝරා යන යෙදුමට ඇති කුකුස තව තවත් උග්‍රවන්නට හේතු විය.

ලාංකේය ජන සමූහ

ශ්‍රී ලංකාවේ උපත ලබා වෙනත් රටවල ස්ථිර පදිංචියට ගිය දමිළ ජනයා උතුරේ ගැටුම ගැන දීර්ඝ කාලයක් බලාපොරොත්තු රහිතව බලා සිටියහ. යුද්ධය අතරතුර රට අතැර ගිය වැසියෝ හා කැරැලි කෝලාහල සමයේ රට අතැර ගිය දමිළ වැසියෝ බටහිර රටවල මෙන්ම ආසියාතික රටවල පදිංචි වූහ. ඇතැම් දමිළ ජනයා ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය මුවාවෙන් ධනවත් රාජ්‍යයන් හි පදිංචියට පළා ගිය අවස්ථා ද ඇත. දමිළ වැසියන් මෙන්ම උතුරු - නැඟෙනහිර ජීවත් වූ සිංහල, මුස්ලිම් ජනයා ද වෙනත් රටවලට සංක්‍රමණය වූහ. දකුණේ ජනතාව ද වරින් වර රට අතැර ගොස් තිබේ. මේ සියල්ලෝම රට රටවල ජීවත්වන ලාංකික ජන සමූහ ලෙස සැලකේ. එසේ රට හැරගිය පිරිස් ඩයස්පෝරා ලෙස හඳුන්වන නමුත්, මේ වන විට සමාජගත වී ඇත්තේ, ඩයස්පෝරාව යනු එක්තරා ත්‍රස්ත කල්ලියක් යන මතයකි. ඒ මෙරට මාධ්‍ය සෘජුව වගකිව යුතු විකෘති ඩයස්පෝරා යෙදුම නිසාය. ඇතැම් පුද්ගලයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සේ හුවා දක්වන ඩයස්පෝරාව යනු, මව්බිමේ උපත ලබා විදෙස් රටක ජීවත්වන එකී රටට සම්පූර්ණයෙන් අනුගත නොවූ පිරිසකි. එවන් පිරිසක් ජාතියේ ආරක්ෂාවට බාධාවකැයි සැලකීම ජාතීන් අතර සමගියට ද බාධාවකි.

ව්‍යාපාර කටයුතු හා අධ්‍යාපන යන දේ සඳහා අතීතයේ සිටම ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට බොහෝ ජනයා සංක්‍රමණය වූහ. ඔවූහු මව්බිම නියෝජනය කරමින් ඒ ඒ රටවල ජීවත් වෙති. ඔවුන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ පදිංචිවී සිටින නිසා ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවදියෙන් පසු වෙති. ඒ නිසාම 80 දශකයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ අපකීර්තිමත් සිදුවීම්වලට උරණ වූ ඩයස්පෝරා හෙවත් සංක්‍රමණික ජන කොටස් සිටිති. උතුරු - නැඟෙනහිර ඇති වූ යුදමය තත්ත්වය නිසා උරණ වූවෝ ද, දේශපාලන තරුණ කැරැලි කෝලාහල නිසා උරණ වූවෝ ද එසේම වෙති. එසේ උරණ වූවන් තම ඥාති හිතෛෂීන්ට උදව් උපකාර කළ අවස්ථා ද බොහෝ ය. එහෙත් ඩයස්පෝරාව අපරාධකරුවන් සේ හංවඩු ගැසීමට මෙරට මාධ්‍ය කටයුතු කළේ ය. ඊට කදිම නිදසුන වන්නේ මෑත භාගයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට යුද හමුදා බ්‍රිගේඩියර්වරයා හා දමිළ ඩයස්පෝරාව අතර ඇති වූ සිද්ධියය. එවැනි කලහකාරි පිරිස් ඕනෑම ජාතියක මෙන්ම සමාජයක සිටිය හැකිය. නමුත්, ඔවුන්ගේ හැසිරීමෙන් හා ක්‍රියාවෙන් සමස්ත ජාතියේම අරමුණ එය බව තක්සේරු කළ හැකිද?

උතුරු නැඟෙනහිර නඟා සිටුවන්නට වෙර දරන දමිළ වැසියෝ බොහොමයක් විදෙස් රටවල ජීවත්වෙති. ඒ පිළිබඳ කිසිවකු හෝ කතා නොකිරීම ඇතැම් විට ප්‍රශ්නකාරීය. දෙමළ මුස්ලිම් සිංහල බහුතරය නැවතවරක් යුද්ධයක් අපේක්ෂා නොකරති. එහෙත් ඔවුන්ගේ අපේක්ෂාවන් ගැන කිසිවකුත් කතා කරන්නේ නැත. විදෙස්ගත ඩයස්පෝරා යනු මෙරට අතැර රැකී රක්ෂාවලට හෝ පදිංචියට ගිය අය බැවින්, ඔවූහු මව්බිම වෙනුවෙන් දහඩිය වඟුරමින් ශ්‍රී ලංකාව දෙස උපේක්ෂාවෙන් බලා සිටිති. එවැනි ජන සමූහයක් ඩයස්පෝරා යන පදය ත්‍රස්තවාදීයාට අන්වර්ථ එක්කර හංවඩු ගසා වැරැදි චිත්‍රයක් ජන මනසට ඇතුළුකර ඇත්තේ අවස්ථාවාදී දේශපාලකයන් විසින් ය. එවැනි කල්ලි කණ්ඩායම් ඇති කර ගැනීමේ වුවමනාව ඇත්තේ ද දේශපාලනයට ය. මව්බිමේ සංවර්ධනයට ඩයස්පෝරා දායක කරගැනීමට වැඩපිළිවෙළක් හෝ අදහසක් පාලක පක්ෂවලට තිබේ ද යන්න සැක සහිත ය.

පරම්පරා කිහිපයක්

ආසියාතික රටවල ඩයස්පෝරාවලට පරම්පරා කිහිපයක් අයත් ය. 1900 ගණන්වල සිට මේ දක්වා මෙරටින් ව්‍යාපාර සඳහා පිටුවහල් වූ බොහොමයක් පිරිස් ද අද වන විටත් ලාංකික සම්භවයක් සහිත වූවන් යනුවෙන්ම හැඳින්වේ. සමාජීය, සංස්කෘතික, ආර්ථික යන අංශ යහපත්ව තබා ගැනීමට මෙකී ඩයස්පෝරා හෙවත් ලාංකීය සම්භවයක් සහිත විදෙස් රටවල වෙසෙන ජනයා සහභාගී කරගත යුතුය. වෙනත් රටවල ඩයස්පෝරා ක්‍රියාත්මක වන්නේ එකී රටවල අනාගත අභිවෘද්ධියට ය. නමුත් ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා එවැනි ක්‍රියාවක නියැලෙන බවක් පෙනෙන්නට නැත. රටට වින කටින කණ්ඩායමක් යැයි හංවඩු ගසමින් ඔවුන්ගෙන් මේ රටට ලැබිය දායකත්වය අහිමිකොට ගෙන තිබේ. එය මෙරට ජීවත්වන වැසියන්ටද සිදුවන අවාසියකි.

කාන්තා පිරිමි අනුපාතය

මෙරටින් පිටරටක රැකියා සඳහා පිටව යාම ආරම්භකොට දැනට වසර 40ක් පමණ ගත වී ඇත. මුල් කාලයේ වැඩි වශයෙන් කාන්තා ශ්‍රමිකයන් විදෙස්ගත වූ අපේ රටේ වර්තමානයේ 65%ක් සිටින්නේ පිරිමි ශ්‍රමිකයන්ය. කාන්තාවන්ගේ ප්‍රතිශතය 35%ක මට්ටමට පහත වැටී ඇති මුත්, මීට දශක දෙකකට පමණ පෙර සිට කාන්තා ශ්‍රමිකයෝ බහුලව මෙරටින් පිටව ගියහ. පිටව ගිය ශ්‍රමිකයන් අතරින් 80% ප්‍රතිශතයක් මැද පෙරදිග රටවල ය. ඒ අනුව, ශ්‍රී ලාංකික ඩයස්පෝරා වැඩිපුරම නියෝජනය වන්නේ මැදපෙරදිග ය. එහෙත් එකී රටවල් තුළින් ප්‍රශ්නකාරී ඩයස්පෝරාවන් බිහි වී ඇති බවක් කිසිවකු කියනු නොපෙනේ. ධනවත් රාජ්‍යයන් හි වෙසෙන ඩයස්පෝරාවේ බොහෝ අය මේ රටේ සමාජ, දේශපාලන ක්‍රමයට බලපෑම් කරති. ආර්ථික හැකියාවන් මත ඔවුන් එවැනි බලපෑමක් කළද, රැකියා සඳහා ශ්‍රමිකයන් සේ පිටව ගිය බොහෝ දෙනෙකුට එවැනි බලපෑමක් කළ නොහැකිය. එහෙත් ඔවුන් ද අයත් වන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවටමය. ඔවුන් සම්බන්ධයෙන් ඇති වගකීම කවරකු හෝ සංවාදයට ලක් කළේ ද යන්න ගැටලු සහගත ය.

විදෙස් ශ්‍රමිකයන් යනු මේ රටේ ජාතික ආර්ථිකයේ කොඳුනාරටියයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ක් ලැබෙන්නේ විදෙස් ශ්‍රමිකයන් උපයන ඩොලර් බිලියන 7.2ක ආදායමෙනි. එවැනි මුදලක් මෙරටට පොම්ප කරන ඔවුන් ද ඩයස්පෝරාවට අයත් ය. එහෙත් සුළු පිරිසකගේ ක්‍රියාකාරකම් නිසා ඩයස්පෝරාව පිළිබඳ ලාංකික ජනතාව තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. ඩයස්පෝරා යන වචනය නිසාම ඇති වූ අපහැදිලිතාවය නිසා නොයෙක් අර්බුදවලට මුහුණ දෙන්නට ශ්‍රී ලාංකිකයන්ට සිදුව තිබේ. ඇතැම් පුද්ගලයින්ගේ අන්තවාදී අදහසින් කෙරෙන යම් යම් ක්‍රියාකාරකම් වාර්තා කරන මාධ්‍ය, ඔවුන් ඩයස්පෝරාව යනුවෙන් හැඳින්වීම නිසා ජනතාව තුළ ඒ කණ්ඩායම පිළිබඳ බිහිසුණු චිත්‍රයක් නිර්මාණය වී ඇත. ඒ නිසා මෙරටින් පිටව ගොස් මෙරටට මුදල් පොම්ප කරන සියලු ජාතීන්ට අයත් ඩයස්පෝරා ගැන සාධාරණව කතා බහ කළ යුතුය. ඔවුන් මේ රට වෙනුවෙන් සිදුකරන කාර්යය භාර්යය ගැන කතා කළ යුතු සේම ඔවුන් විදෙස්ගත වූයේ කුමන කාරණාවකට ද කවර හේතුවකටද යන්න ද සොයා බැලිය යුතුය. එසේ නොමැතිව ඩයස්පෝරා ලේබලයෙන් ඔවුන් වෙන්කර තබා නොසලකා හැරීම ඔවුන්ට කරන අසාධාරණයකි.

රටට සම්පතක්

මේ ගැටලුව නිසා රටට අහිමිවන දෑ බොහෝ ය. රටේ සංවර්ධනයට විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දායකත්වය අහිමි වීම ඉන් ප්‍රධාන ය. ඩයස්පෝරා ලේබලය ඇලවීමෙන් ඔවුන් මව්රටට සපයන දායකත්වයේ අඩුවීමක් පෙන්නුම් කෙරේ. එනිසා කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාප සමස්ත ජාතියේම ක්‍රියාවක් ලෙස හුවාදක්වමින් ඩයස්පෝරා යෙදුම භාවිතය කාලෝචිත නැත. මේ රටට ආදරය කරන දමිළ ඩයස්පෝරා ඕනෑ තරම් ඇත. ඔවුන් මේ රටේ සංවර්ධනයට දායක කරගත යුතුය. එසේම විදෙස්ගතවූවන් දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් භාවිත කිරීම ද සහජීවනයට බාධාවකි. මව්බිමේ උපන් ලෝ පුරා විසිරී සිටින සියලු ජාතීන් එකමිටකට ගෙන මෙරට සංවර්ධනයට දායක කරගත යුතුය. එසේම මෙරට ඔවුන්ට සාමයේ කේන්ද්‍රස්ථානය කරන්නේ නම් රට තුළ වේගවත් සංවර්ධනයක් ඇති කිරීම අපහසු නැත.

ජාතීන් අතර අසමගිකම් දුරලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සියල්ලෝම මේ රටේ ආර්ථික, සමාජීය, අධ්‍යාපන වශයෙන් ඉදිරියට යාමට ඒකරාශී විය යුතුය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට චෝදනා නඟමින් ඔවුන් මෙරටින් ඈත්කර තැබීම තවදුරටත් කළ නොහැකිය. ලෝකය ඉදිරියේ අභිමානයෙන් ලාංකීයන් ලෙස සිට ගැනීමට විදෙස්ගත වූවන්ගේ සහය අවැසි යුගයක් පසුකරමින් සිටින සමස්ත රටවැසියාට ඩයස්පෝරා නමින් හඳුන්වන්නේ කවරකුද යන්න මෙරට මාධ්‍ය පැහැදිලි කිරීමක් කළ යුතුය. ඔවුන් පිළිබඳ සමාජගත කර ඇති මතය කවරක්ද? එය සත්‍යය ද යන්න සමාජ කතිකාවතට මාධ්‍ය එළඹුමක් අවශ්‍යය. මෙරට ජනතාව ඉදිරියේ සියලු මාධ්‍ය වැපිරූ බීජ කවරක්ද යන්න යළි යළි සිතා බැලිය යුතුය. එසේ නොවනතාක් මෙරටින් පිටව ගිය අපේම සහෝදරයින්ගේ සහය අපට ලබාගත නොහැකිය.

(කොළඹ දරිද්‍රතා අධ්‍යයන කේන්ද්‍රෙය්දී ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන සහ ලේඛක දේශපාලක විශ්ලේෂක අජිත් පැරකුම් ජයසිංහ විසින් ඩයස්පෝරාව පිළිබඳ කළ දෙසුම් ඇසුරිණි.)


නව අදහස දක්වන්න

Or log in with...