මේ රටේ සාහිත්‍ය විචාර පරණ ක්‍රිකට් අම්පයරින් වගේ | දිනමිණ

මේ රටේ සාහිත්‍ය විචාර පරණ ක්‍රිකට් අම්පයරින් වගේ

අජිත් පැරකුම් ජයසිංහ

මේක නවකතාවක්. මං ලියන්නෙ නවකතා. මං නවකතාකරුවෙක්. මං කරන වැඩේ ඒක. මං කියනවා මගේ ලිංගික අනන්‍යතාව පිරිමිකම ය කියලා. ඔයා කියනවා, නැහැ උඹ පිරිමියෙක් නෙමෙයි කියලා. මං පිරිමියක් කියලා දැන් මං ඔප්පු කරන්නට ඕනැද. මං කියනවා මං නවකතාකාරයෙක් කියලා. ඔයාලා එහෙම නෙමෙයි කියනවා නම්, නවකතාවේ මිනුම් දඬුවලින් කොහොමද මේ කෘතිය නවකතාවක් නොවන්නේ කියන එක හෝ මෙය අර්ධ නවකතාවක් වෙන හැටි ඔයාලා ම පැහැදිලි කරන්න.

ඔබේ ‘කේපොයින්ට්’ දොරට වැඩි දවසේ, විදර්ශන කන්නන්ගර කියනවා මේ පොත නවකතා කියන ශානරයට අයත් නොවන බව?

ඒක විදර්ශනගෙ ඉදිරිපත් කිරීමේ එක වාක්‍යයක් විතරයි. ඒක ඔහු විස්තර කරන්නෙ නැහැ. ඒ නිසා, දැන් මුලින් ම විදර්ශනගෙන් මේ ප්‍රකාශය පැහැදිලි කරගන්න ඕනැ.

නවකතාව කලාත්මක ශානරයක් වගේ ම, නවකතාව කියන ශානරය ඇතුළෙත් තවත් ශානර රැසක් තියෙනවා. ශානර නිර්මාණය කරන්නටත් පුළුවන්. මුලින් ශානර හැදිලා, පස්සෙ නවකතා හැදෙන්නෙ නැහැ. නිර්මාණය වන නවකතා දිහා බලලා, විචාරකයන් ශානර විග්‍රහ කරනවා. මෙය නවකතාවක්. වෙනස් විදියක නවකතාවක්. ‘කේපොයින්ට්’ කියවන අය ඒක ඇතුළෙ කියවන්නෙ කතාවක්. ඒ කතාව පසුබිමේ ඉතිහාසයකුත් ලියැවෙනවා. ඇතැම් චරිත ගැඹුරින් විග්‍රහ වෙනවා. තව සමහර චරිත ගැඹුරින් විග්‍රහ නොවී, ස්පර්ශ වෙලා යනවා. මෙහිදී මම සිදුවීම් ගැඹුරින් විග්‍රහ කරන්නට මා උත්සාහ කරනවා. මේක මගේ සත්‍ය අත්දැකීමක් වීම , මෙය නවකතාවක් නොවෙන්න හේතුවක් නෙමෙයි.

සත්‍ය සිදුවීමකින් නවකතාවක් ලියනකොට, ලේඛකයාට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා. ‘කේපොයින්ට්’ වගේ අතිශය සංවේදී, ඒ වගේ ම ලේඛකයාගේ ජීවිතයට ඍජුව ම සම්බන්ධ සිද්ධියක් පාදක කරගෙන නවකතාවක් ලියන එක, එක්තරා විදිහක අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්නට කරන අරගලය ඇතුළෙ අලුත් ආකෘති නිර්මාණය වෙනවා. අවසානයේදී බොහෝ දෙනෙක් ඒ කතාව රස විඳිනවා. රස විඳලා ඉවර වෙලා, ඒක තමන් කලින් විඳපු රසයක් එක්ක සන්සන්දනය කරලා , මෙහි තියෙන්නෙ ඒ රහ නෙමෙයි වෙන රහක්, ඒ නිසා මෙය නවකතාවක් නෙමෙයි වගේ කියන එක තේරුමක් නැහැ. මෙය නවකතාවකුත් නෙමෙයි නම්, මේ කතාව අයිති වෙන ශානරය අලුතින් නම් කරන්නට විචාරකයන්ට පුළුවන් වෙන්න ඕනැ.

ශ්‍රී ලංකාවෙ විචාර කලාවෙ සීමිතකම් පෙන්වන්නට පුළුවන් තව උදාහරණයක් මං කියන්නම්. පී.බී. ජයසේකර ලියපු ‘ඉක්බිති ඔහු මරාපීහ' නවකතාව ගැන ශ්‍රී ලංකාවෙ විචාරකයන් කතා කළේ නැහැ. ඒ නවකතාව ලියැවෙන්නෙ බණ්ඩාරනායක ඝාතනය පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් පදනම් කරගෙනයි. ඒක ලියනකොට ලේඛකයාට එන අභියෝගය තමයි, සත්‍ය සිදුවීම පිළිබඳ සත්‍යයේ සීමාව ඇතුළෙ තියාගන්නෙ කොහොමද කියන එක. එතකොට බණ්ඩාරනායක, සෝමාරාම, බුද්ධරක්ඛිත, විමලා විජේවර්ධන වගේ ඇත්ත චරිත එක්ක නවකතාවක් ලියද්දි, ලේඛකයාට බැහැ තමන්ට ඕනැ විදියට ඒ චරිත නිර්මාණය කරන්න. ඒ අභියෝග මැද පී.බී. ජයසේකර නවකතාවක් නිර්මානය කරනවා. ඒකෙ සීමා ආකෘති නිර්ණය වෙන්නෙ, ඒ පසුබිම ඇතුළෙ. එතකොට ඒක අපි දන්නා නවකතා ශානරවලට අයිති නැහැ. එහෙනම් ඒක වෙන ශානරයක් ය කියන එක හඳුනා ගන්නවා මිසක්, ඒක නවකතාවක් නෙමෙයි කියන එක නෙමෙයි කියන්නට ඕනැ.

ලෝක ඉතිහාසය පුරා විවිධ හේතු මත වදයට කැප වූවන්, විශේෂයෙන් නාසි වදයට කැප වූ යුදෙව්වන්, සිය වින්දිත අත්දැකීම් රචනා කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයකින්. එහෙත්, වින්දිතයකු විදිහට අත්දැකීම් ඇති ඔබ ,‘කේපොයින්ට්’ නිර්මාණය කරන්නේ ‘රචක’ නම් චරිතය එහි කතාව කියන්නා ලෙස යොදවමින්?

ප්‍රධාන චරිතයට ‘රසික’ වගේ සුලබ නමක් පාවිච්චි නොකර, ‘රචක’ කියලා දැම්මෙ එහි අර්ථයත් සැලකිල්ලට ගනිමිනුයි. එයින් ලියන්නා කියන අර්ථයත් එනවා. නමක් විදියටත් ස්ථිර වෙනවා. මේ කතාවෙ ‘රචක’ කියන්නෙ වින්දිතයකු විතරක් නෙමෙයි. මේ නවකතාවට පසුබිම් වන අත්දැකීම ලැබුණු මම, වින්දිතයකු විතරක් නෙමෙයි. දේශපාලන ක්‍රියාධරයෙක්. ඒ වකවානුවේ ජවිපෙ මැද මට්ටමේ නායකයකු විදියට, මං හරි අහිංසක, වීරකම් විතරක් කරපු, අසාධාරණ විදියට වධයට භාජනය වුණු, ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ පෙනී ඉන්න මට බැහැ . අපි ඒ ඉතිහාසය සම්බන්ධයෙන් වග කියන්න ඕනැ. ඒක සමස්තයක් විදියට භාර ගන්න ඕනැ. ඒකෙ හොඳ විතරක් නෙමෙයි, නරකත් තියෙනවා. මම නම් ඒ පැකේජ් එක ම එකට භාර ගන්නවා.

පස්සෙ කාලෙක ඇතැම් ජවිපෙ නායකයන් පවා 1989 කැරැල්ල ගැන කතා කරනකොට , අපි ප්‍රචණ්ඩ වැඩ කරපු අය නෙමෙයි, අපි හිටියෙ ජවිපෙ හොඳ කට්ටිය අතරෙ වගේ අදහස් ඉදිරිපත් කළා. එහෙම කරන එක පක්ෂෙ වෙනුවෙන් අපරාධකරුවන් වුණ, ජීවිත පරිත්‍යාග කළ මිනිසුන්ට කරන අපහාසයක්.

විජය කුමාරතුංග ඝාතනය ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට සැක කළ හොරණ ලයනල් රණසිංහ කියන්නෙ, ජවිපෙ සන්නද්ධ අංශයෙ පූර්ණකාලීනව සිටි අයෙක්. මට ඔහු මුලින් ම හමු වුණේ 1984දි විතර යට්ටපාත පැත්තෙදි. ඒ, ජවිපෙ සංවිධානය කරපු අධ්‍යාපන කඳවුරකදි. ඒ කඳවුරේ ටිල්වින් සිල්වාත් පන්ති කළා. පස්සෙ කාලෙක එක එක කොමිෂන් දාලා , ලයනල් රණසිංහ, ප්‍රේමදාසගේ කොන්ත්‍රාත් කරපු කුලී මිනීමරුවකු විදියට හංවඩු ගැහුවා. ජවිපෙ සද්ද නැතුව හිටියා. ඒක තමයි මේ නවකතාව උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයකින් නොලියන්න හේතුව. 1989 කැරැල්ලේ කතාව පරිමාණයෙන් විශාලයි. ගුණයෙන් ගැඹුරුයි. මගේ අත්දැකීමත් පුළුල් පරාසයක විහිදෙන එකක්. මං මේ නවකතාව ලියන්නෙ ඒකෙන් කොටසක් පමණක් ස්පර්ශ කරමින්. 1989 කැරැල්ල කියන්නෙ දේශපාලන අරගලයක්. මේ නවකතාව ලියන එකත් දේශපාලන අරගලයේ ම කොටසක්. එහෙම නැතුව අත්දැකීමක් ලියන එක නෙමෙයි. ඒ වැඩේ කරන්නට පහසු විදිය තමයි මේ. මේ චරිතවලින් මිදිලා, ඒවා දිහා පිටින් ඉඳලා බලන්න මට අවශ්‍ය වුණා. බ්‍රෙෂ්ට්ගෙ පරාරෝපණ සංකල්පයෙ බලපෑමත් මෙතැන තියෙනවා. මං කියවන්නන්ට ආරාධනා කරන්නෙත්, මේ සංවේදී සිදුවීම් එක්ක තිබෙන ආත්මීය බැඳීම්වලින් මිදිලා, ඒක දිහා බලන්න කියලයි.

1989 කැරැල්ල ගැන නිර්මාණය වෙලා තියෙන සාහිත්‍යය බොහෝ දුරට ප්‍රබන්ධ. ඇත්ත. ඇතැමුන් ලියන්නෙ, චුට්ටක් අනුපානෙට යොදාගත්ත පට්ටපල් බොරු . පෙනී ඉන්නෙ සමීක්ෂකයන් විදියට. ඒ වුණාට මූලාශ්‍ර නැහැ. ලියන්නෙ ඕපදූප. මං ලියන නවකතාව ප්‍රබන්ධයක් වුණාට, මං ලියන්නෙ ඇත්ත. ඇත්ත ලියනවා ය කියන අය, ප්‍රබන්ධ නිර්මාණය කරන ලෝකයක. ප්‍රබන්ධ සාහිත්‍යයේ යෙදී සිටින මම ඇත්ත ලියනවා. ඒක හරි රසවත් විරුද්ධාභාසයක්.

මේ පොත, 1989 අත්දැකීම් ඔස්සේ ලියවූ එක්තරා විදිහක අර්ධ නවකතාවක්. තවත් විදිහක ස්වයං චරිතාපදානයක්?

මොකක්ද ඒ අර්ධ නවකතාවක් කියන්නෙ. ඒක පැහැදිලි කළ යුතු දෙයක්.

මෙය ඔබේ ජිවිතයේ එක්තරා යුගයක සජීවී අත්දැකීමක්. එය ඒ අර්ථයෙන් ගත්විට එක්තරා ස්වයං චරිතාපදානයක්?

මේ කෘතිය ස්වයං චරිතාපදානයක් ය කියලා කියන්නෙ, ඔයා මං ගැන දන්න නිසා නේ. ඒ වුණාට ශ්‍රී ලංකාවෙ වුණත්, ලෝකෙ වුණත් වැඩි දෙනෙක් මම ගැන දන්නෙ නැහැ නේ. මේ වගේ ම තමන්ගෙ අත්දැකීම් මත පදනම් වුණ නවකතා තව ඕනැ තරම් තියෙනවා. ඒවාට කවුරුවත් ‘අර්ධ නවකතාවක්. තවත් විදිහක ‘ස්වයං චරිතාපදානයක්' කිව්වෙ නැහැ නේ. මං ඉස්සෙල්ලාත් කිව්වා. මේ වගේ ප්‍රකාශ සාහිත්‍යමය වශයෙන් කරන ඝාතන. සමරි කිලිං. කිසි පැහැදිලි කිරීමක් නැහැ. නඩු විභාගයක් නැහැ. කෙළින් ම ඔළුවට ම ෂොට් එක දෙනවා. මේකෙ අර්ධ නවකතාවක් නැහැ. මේක නවකතාවක්. මං ලියන්නෙ නවකතා. මං නවකතාකරුවෙක්. මං කරන වැඩේ ඒක. මං කියනවා මගේ ලිංගික අනන්‍යතාව පිරිමිකම ය කියලා. ඔයා කියනවා, නැහැ උඹ පිරිමියකු නෙමෙයි කියලා. මං පිරිමියක් කියලා දැන් මං ඔප්පු කරන්නට ඕනැද. මං කියනවා මං නවකතාකාරයෙක් කියලා. ඔයාලා එහෙම නෙමෙයි කියනවා නම්, නවකතාවේ මිනුම් දඬුවලින් කොහොමද මේ කෘතිය නවකතාවක් නොවන්නේ කියන එක හෝ මෙය අර්ධ නවකතාවක් වෙන හැටි ඔයාලා ම පැහැදිලි කරන්න. හැබැයි, ඒ මිනුම් දඬු අනෙක් නවකතාවලටත් පොදු වෙන්න ඕනැ.

1971 අරගලය තරම් 1989 සිදුවීම් සාහිත්‍ය, කලා, සංස්කෘතික ලෝකය මත ශාස්ත්‍රීය බලපෑමක් නොකළේ ඇයි?

ඔබ අහන්නෙ 1971 අරගලය තරම් 1989 සිදුවීම් සාහිත්‍ය, කලා, සංස්කෘතික ලෝකය මත ශාස්ත්‍රීය බලපෑමක් නොකළේ ඇයි කියන එකනෙ. ඒ ප්‍රකාශය ඇතුළෙ තියෙනවා, මෙය අර්ධ නවකතාවක් නිසා මේ කෘතියත් සාහිත්‍ය, කලා ලෝකයට බලපෑමක් කරන්නෙ නැහැ ය කියලා. මට තියෙන ප්‍රශ්නය, එහෙම කොහොම ද කියන්නෙ කියන එකයි. විදර්ශන කන්නන්ගරගෙ තනි වාක්‍යයක විග්‍රහය මත පදනම් වෙලා ද එහෙම කියන්නෙ? මේවා පැහැදිලි කළ යුතුයි.

මම මතු කරලා පෙන්නන්න හදන්නෙ, අපේ රටේ විචාර කලාවේ අර්බුදය. අපේ රටේ විචාර කලාව කියන්නෙ හරියට ඉස්සර කාලෙ ක්‍රිකට් අම්පයරිං වගේ වැඩක්. ක්‍රිකට් අම්පයර් ඇඟිල්ල උස්සලා අවුට් කියනවා. ඒක ප්‍රශ්න කරන්න බැහැ. හැබැයි දැන් ලෝකෙ වෙනස්. දැන් තර්ඩ් අම්පයරුත් ඉන්නවා.

අරගල විතරක් නෙමෙයි, මොන දෙයක්වත් ශ්‍රී ලංකාවෙ සාහිත්‍ය, කලාව ඇතුළෙ ප්‍රමාණවත් විදියට ප්‍රතිනිර්මාණය වෙලා නැහැ. ඒකට හේතුව, ඒ අභියෝග භාර ගන්න මිනිසුන්ට විචාරකයන්ගෙන් සහයෝගයක් නොලැබෙන එකයි. කේපොයින්ට් කියන්නෙ මං මේ තේමාවෙන් ලියන දෙවැනි නවකතාව. කලින් මං ශාස්තෘ ලිව්වා. ඒක වුණත්, සමාජයේ ප්‍රමාණවත් කතාබහකට ලක් වුණේ නැහැ. හැබැයි මට ඊළඟ එක ලියන්නට අවශ්‍ය ධෛර්යය තිබුණා. ශාස්ත්‍රීය ලෝකයට බලපෑමක් ඇතිවෙන්නට කෘති විතරක් මදි. කෘති ගැන සංවාදත් අවශ්‍යයි. ඒ වුණාට ශ්‍රී ලංකාවෙ තියෙන පිට කසා ගැනීමේ සාහිත්‍ය භාවිතාව ඇතුළෙ , ඒවා සීමා වෙනවා. ඒවා එක්කත් අරගලයක් කරන්න මං උත්සාහ කරනවා.

1971 වගේ ම, 1989 සිදුවීම්වලට බලපෑ සමාජ, ආර්ථික කොන්දේසි, විටෙක එදා වගේම අදත් එදාට වඩා වැඩි විභවයකින් සමාජය මත පවතින මොහොතක, ‘කේපොයින්ට්’ කියන්නේ පරම්පරාවකට මඟ කියන කෘතියක්‌ වෙනුවට, හුදු ‘සිද්ධි රචනාවක්’ පමණයි. එහෙම නෙමෙයිද?

පරම්පරාවකට මඟ පෙන්වන එක නවකතාකරුවකුගේ වැඩක් නෙමෙයි. ඒක කරන්නට ඕනැ දේශපාලන න්‍යායධරයන් හා නායකයන්. නවකතාකරුවකුට කරන්නට පුළුවන් සමාජ යථාර්ථය, කලාත්මක විධිහට ප්‍රතිනිර්මාණය කරලා පෙන්වීම විතරයි. නවකතාවක තියෙන්නෙ සිද්ධි තමයි. එතකොට ඒක සිද්ධි රචනාවක් ය කියලා කියන්නත් පුළුවන්. ඒ සිද්ධි ඇතුළෙ සිදුවීම්වලට සම්බන්ධ චරිත විග්‍රහයකුත් නවකතාව මඟින් සිදු වෙනවා. ඒ සිදුවීම් නිර්මාණය කළ මිනිසුන්ගෙ මනෝභාව විග්‍රහ කරන්නට, නවකතාකරුවා උත්සාහ කරනවා. නවකතාකරුවාගේ කාර්යය එයයි.

නවකතාව කියන්නෙ සංවාදයට මූලාශ්‍රයක්. දේශපාලනයට ඒක සම්බන්ධ කර ගන්නට ඕනැ නම්, අපි සියුම් කියැවීමකට යන්න ඕනැ. මේ හැම සිද්ධියක් පසුබිමේ ම ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය ගැන වෙනත් ආඛ්‍යානත් තිබෙනවා. ඒ දේ පිළිබඳ අපි සංවාද කරනවා නම්, ඒ සංවාදය මඟින් දේශපාලනය පෝෂණය කරනවා. ඒ ඔස්සේ වර්තමානයට ඒවා ගළපා ගන්න අපට පුළුවන්. අනාගතයට මඟ පාදාගන්නත් ඒවා වැදගත්.

එහෙම නැතුව දේශපාලනය ගැන තමන්ට තියෙන අදහස්, චරිත, දෙබස් ඔස්සේ හෝ අමුවෙන් හෝ ඇදබාන එක නවකතාවවත්, දේශපාලනයවත් නෙමෙයි.

මං මේ නවකතාව ලියා පළ කිරීමෙන්, මගේ වැඩේ අවසන් කරලා නැහැ. මේ සිදුවීම් ගැන හා එහි දේශපාලනය ගැන සංවාද කරන්න මං කැමැතියි. ඒවා ලවුඩ්ස්පීකර් දාගෙන, මහ සද්දෙට කරන්න ඕනැ නැහැ. අපි, පොඩි කණ්ඩායම් විධිහට හමු වෙලා කතා කරමු.

සංවාද සටහන සිසිර යාපා


නව අදහස දක්වන්න

Or log in with...