සමාජය වෙනස් කරන්න කියවිය යුතුමයි | දිනමිණ

සමාජය වෙනස් කරන්න කියවිය යුතුමයි

උපාලි මාරසිංහ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්

රාජ්‍ය ආයතන මහජන හිතකාමී, ඵලදායී සේවා සපයන මට්ටමට පත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව වටහා ගත් ඔහු, ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග වෙත අවධානය යොමු කරයි. ඒ පිළිබඳ අධ්‍යයනය කරයි. අවසානයේ, 'විශිෂ්ටත්වය උදෙසා ඵලදායිතා වර්ධනය - ඵලදායි රාජ්‍ය ආයතන' සහ 'ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම' කෘති දෙකක් ජනගත කළ ඔහු, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වත්මන් ලේකම්, උපාලි මාරසිංහ ය.

මේ පොත් දෙක ලියන්න අදහස් කළේ ඇයි?

ජනතාව, රාජ්‍ය ආයතනවලින් බලාපොරොත්තු වන මට්ටමේ ඉහළ සේවයක් ලැබෙන්නෙ නෑ කියන එක සාමාන්‍ය මතයක්. ඒත්, මේ මතය නිර්මාණය වෙන්නේ සමස්තයක් වශයෙන් ගත්තහමයි. රජයේ ආයතනවල ඉන්න අය මහන්සිවෙලා වැඩ කරනවා. එහෙත්, සේවාවේ ගුණාත්මක බව පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකිරීම තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ නිසා, ආයතනයක් සේවාවේ ගුණාත්මක බව සහිතව අරගෙන යන්නේ කොහොමද, ආයතන ප්‍රධානයෙක් තම ආයතනය හසුරවා ගන්නේ කොහොමද?, මහජනතාව වෙනුවෙන් සේවය ලබා දෙන්නේ කොහොමද? යන්න පිළිබඳ කරුණු කාරණා බොහොමයක් අධ්‍යයනය කරන්න ලැබුණා.

මේ කරුණු කාරණා පොතකට ගොනු කිරීමෙන් මගේ දැනුම ලිඛිත මට්ටමට පත් කරන්න මට හිතුණා. මගේ ඔළුවේ තිබුණු දේ පොතකට පරිවර්තනය වුණා.

'ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම' පිළිබඳ කියනවා නම්?

'ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම' සම්බන්ධයෙන් ලියන්න පෙලඹුණේ, දේශනයක් කරද්දී බොහෝ අසන්නෝ නිදා සිටින බව මම දැකලා තිබෙනවා. ඒ දේශනය නීරස බව, ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. අසන්නෝ අවදියෙන් තියා ගෙන, සජීවිව තියා ගෙන දේශනය පවත්වන්න දක්ෂ දේශකයකුට පුළුවන් වෙන්න ඕනැ.

ඒ සඳහා ලෝකයේ පිළිගත් ශිල්ප ක්‍රම කිහිපයක් තිබෙනවා. මෙහිදී අනුගමනය කළ යුතු කරුණු සහ නොකළ යුතු කරුණු තිබෙනවා. මේ කරුණු සියල්ල එකතු කරලා පොඩි පොත් පිංචක් ලියන එක හොඳයි කියලා මට හිතුණා. විශේෂයෙන්ම මේ පොත උගන්වන අයට, දේශන පවත්වන අයට, වෘත්තිය මට්ටමේ ඉදිරිපත් කිරීම් කරන්නන්ට, කළමනාකරුවන් ආදි සෑම කෙනෙකුටම තමන් දන්න දේ තවත් කෙනෙක්ට ප්‍රකාශ කරද්දී, මෙය වැදගත් වෙනවා. ඒ නිසා , මේ පොත බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා.

 'ඵලදායි රාජ්‍ය ආයතන' පොතේ අන්තර්ගතය පිළිබඳ කතා කළොත්?

පවත්නා පරිපාලන ක්‍රමය ලැබුණේ බ්‍රිතාන්‍ය පාලනයෙන්. 1948 වෙනකොට තිබුණෙ, අපි යටපත් කරලා පාලනය කරන ක්‍රමයක්. ඒත්, අද වෙනකොට ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමානාත්මතාව, එකිනෙකාට ගෞරව කිරීම ආදිය එක්ක තමයි අද පාලනය යන්නේ. එංගලන්තයෙත් අද මේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. එහෙම වෙනකොට නීති පොතේ තිබෙන දේ ම ක්‍රියාත්මක කරලා හරියන්නේ නෑ.

අද ලෝකය හැම වෙලේම කතා කරන්නේ පාරිභෝගික තෘප්තිය පිළිබඳයි. මෙහිදී සම්පූර්ණ පද්ධතිය වෙනස් විය යුතු හෝ සකස් විය යුතු ක්‍රමයක් තිබෙනවා. ආයතනික ප්‍රධානයෙක් 1948 චින්තනයේ ඉන්නවා නම්, ඔහුට පාරිභෝගිත තෘප්තියක් දෙන්න බෑ. මෙහිදී 'බොස්' කෙනෙක් නෙවෙයි 'නායකයෙක්' වෙන්න තමයි කළමනාකරුවකු ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා බොහෝ ගති ලක්ෂණ තිබිය යුතුයි. 'ඵලදායි රාජ්‍ය ආයතන' කියන ග්‍රන්ථයට ඒ කරුණු අන්තර්ගත කළා.

ආයතනයක ඉදිරි ගමන දවසින් දෙකෙන් වෙනස් කරන්න පුළුවන් කියලද ඔබ කියන්නේ?

අද වෙනකොට අයි. ටී යුගය ඇවිල්ලා. අයි. ටී නැතුව කිසිම විදියකට පද්ධතිය ගෙනියන්න බෑ. අපි තාමත් සාම්ප්‍රදායික විදිහට වැඩ කළොත්, යන්න වෙන්නේ හෙමින් ගමනක්. ආයතන ප්‍රධානියෙක් දැන් තොරතුරු තාක්ෂණය සමඟ බැඳෙන්නම ඕනැ. එහෙම නොවෙන කෙනකුට තමන්ගේ ආයතනය ඉස්සරහට ගෙනියන්න බෑ.

ඒ වගේම, පද්ධති නැවත නිර්මාණය කරන්න අවශ්‍යයයි. නායකත්වය, අභිප්‍රේරණය, මහජන සුබසාධනය, මහජන සම්බන්ධතාවය ආදි කාරණාවලට තමන්ගේ ආයතනය හැඩ ගස්වා ගන්නේ කොහොමද? මේ වගේ පොතක් ආයතන ප්‍රධානියෙක් අර ගෙන ඔක්කොම එක සැරේ නෙවෙයි, එකින් එක ක්‍රියාත්මක කරනවා. සුමානෙකට එකක් ක්‍රියාත්මක කළොත් හොඳටම ඇති. එය වසරක් තුළදී සුමාන 52ට පියවර 52ක් වෙනවා. අවුරුද්දකින් ඒ ආයතනය වෙනස් කරන්න පුළුවන්.

ඔබ සේවය කළ ආයතන තුළින් ඵලදායිතාව පිළිබඳව ඔබේ අත්දැකීම් කොහොමද?

2002 වසරේ තමයි මට නිල වශයෙන් ඵලදායිතාව සමඟ කටයුතු කරන්න ලැබුණේ. ඒත්, මම ඊට පෙරත් මා දන්න තරමින් ආයතන තුළ ඵලදායී ප්‍රවේශයකට අනුගත වෙලයි හිටියේ. 1996 විතර මම පුත්තලමේ සේවය කරන කාලේ, මගේ කාර්යාලය තුළ මා දන්න විදිහට ඵලදායිතා කටයුතු සිදු කළා. ඒ දිනවල මම පුංචි නිලධාරියෙක්. මුලින්ම මම කළේ ආයතනයට එන ජනතාවට වාඩි වෙන්න පුටු ටිකක් තියන එක. පානය කරන්න ජලය තැබුවා. අනිත් එක තමයි ඔවුන් සමඟ සුහදව කතා කරන්න කියලා සේවකයන්ට කිව්වා. ඔවුන් සමඟ හිනා වෙලා, ආව කාරණය විමසලා, ඒ වැඩේ ප්‍රමාද වෙනවා නම් ඒ බව ඔවුන්ට කියන්න කියලා කිව්වා.

අපි හිතමු ගොවියෙක් යම් කටයුත්තකට මේ ආයතනයට ඇවිත් රස්තියාදු වෙනවා කියලා. එතකොට ඒ ගොවියාගේ කුඹුරේ ඵදායිතාව තමයි අඩු වෙන්නේ. ඒ නිසා, ඒ වෙනුවෙන් අපි වැඩ පිළිවෙළක් යෙදුවා. අවශ්‍ය සේවා ඔවුන්ට වඩාත් සමීපතම ස්ථානයකට අරන් ගියා. මෙන්න මෙවැනි පොඩි දේ කළා.ඒ වගේම සේවක මණ්ඩලයටත් සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා.ඒ නිසා, හැම වෙලාවෙම අභිප්‍රේරණය වූ කණ්ඩායමක් තමයි හිටියේ.

මේ සඳහා ඔබ ගත් පියවර මොනවාද?

මේ රටේ තියෙන ලොකුම ගැටලුව,රස්සාව රුස්සන්නේ නැති එකයි . එහෙම වුණාම, අදාළ සේවා නිසි ලෙස ලබා දෙන්න බෑ. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න මම මුලින්ම කළේ, ඔවුන් පුහුණුවකට එක්ක ගෙන යෑමයි. මානසික වශයෙන් ධනාත්මක පුහුණුවක් දුන්නා. තමන් සතුටින් වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් දුන්නා. ඒ වගේම නිවැරැදිව වැඩ කරන සියලු දෙනාම, ඇගැයීමකට ලක් කළා. සමහර විට 'බොහොම හොඳයි' කියන වචනයෙන් තමයි ඒ ඇගැයීම කළේ. තවත් වෙලාවක පොඩි විනෝද චාරිකාවක් එක්ක යනවා. අපි හැම වෙලාවෙම වැඩ කළේ එකට. 'බොස්' විදිහට නෙමෙයි.

ඵලදායිතාව විෂයක් වශයෙන් මට හිමි වුණාම, මම රට පුරා ගිහින් ආයතන වගේම පාසල් දැනුම්වත් කළා. ඵලදායිතා සම්මාන තරගාවලිය හරහා ලොකු තරගයක් ඇති කළා. ඒ මඟින් රාජ්‍ය අංශ කෙරෙහි දැඩි උනන්දුවක් ඇති වුණා. රටක් වෙනස් කරන්න පුළුවන් ප්‍රබල සාධකයක් තමයි ඵලදායිතා වර්ධනය.

ඔබ පාසල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා නේද?

පාසල් ගැන කතා කරන්න අයිතියක් මට තිබෙනවා. මම අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ලේකම්වරයා ලෙස කටයුතු කළා. අතිරේක ලේකම්වරයා විධිහට වැඩ කරන කාලයේ දී මට, විද්‍යා පීඨවල ආචාර්ය මණ්ඩලය බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ ප්‍රධානියා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහිදී ගුරුවරයා අපි ඉස්සරහා ඉදිරිපත් කිරීමක් කරන්න ඕනෑ. මෙහිදී සමහර ගුරුවරු විස්මිත විදියට එය කළත්, සමහරු ගැන කියන්න කනගාටුයි. ඔවුන් දන්න දේ පවා කියාගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම ගැන ලියන්නම ඕනැ කියලා එදත් මට හිතට ආවා.

ඉදිරිපත් කිරීම් කරන්න බැරි කාණ්ඩයක් නෑ, හොඳට පුහුණු කළොත්, ඕනෑම කෙනෙකුට පුළුවන්. ' ලෝකයේ ජයග්‍රාහි කථිකයින් මුල් කාලයේ දුර්වලයින්' කියලා මේ පොතේ මුලින්ම මම ලියලා තිබෙනවා. මම රැකියාවට එද්දිත් එහෙමයි. දක්ෂතා දියුණු කර ගෙන තමයි මේ තත්ත්වයට ආවේ.

පරිපාලන නිලධාරියෙක් ලෙස ඉතා කාර්යබහුල ඔබ, ‍ලියන්න කාලය වෙන් කර ගන්නේ කොහොමද?

මේ මා ලියූ 15 වැනි පොත. මම සාමාන්‍යයෙන් කාල සටහනකට අනුවයි වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් හැමදාම , මොනවා හරි දෙයක් කියවන්න සහ ලියන්න මම පැයක් වැය කරනවා. මේ පොත් ලිව්වෙත් එහෙමයි. සමහර විට වැඩ ඉඩක් ලැබුණොත් පැය දෙකක් වුණත් ලියනවා. මේ පොත් ලියන්න මට වසර තුනක් විතර ගියා. මේ දිනවල තවත් පොතක් ලියමින් ඉන්නවා.

ලිවීමට වගේම කියවීමටත් ඔබේ ජීවිතයේ වැදගත් ස්ථානයක් හිමි වන්නේ ඇයි?

සල්ලි හොයන්න නම් පොත් ලියන්න ඕන නෑ. එයින් ආර්ථික ඵලදායිතාවක් ලැබුනේ නැති වුණත්, මානසික ඵලදායිතාව මිල කරන්න බෑ. මගේ පොතක් අතට අරගෙන මේ මගේ නිර්මාණයක් කියලා මට සතුටු වෙන්න පුළුවන්.සමාජය වෙනස් කරන්න නම්, කියවිය යුතුමයි. ඉස්සර පොත් කියවන අය වැඩියි. අද ටිකක් අඩු වෙලා. අපි කියවීමට උනන්දු කරවිය යුතුයි. පාසල් මට්ටමින් ළමයි කියවන්න පුරුදු කරන්න අවශ්‍යයි. අපි දැනුම හදා ගන්න ඕනෙ පොත් කියවලාම තමයි.

සාකච්ඡා කළේ ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප-සිරිපාල හල්වල

නව අදහස දක්වන්න