සයිබර් කාව්‍යාවකාශයේ ප්‍රතිචාර ඉක්මන් | දිනමිණ

සයිබර් කාව්‍යාවකාශයේ ප්‍රතිචාර ඉක්මන්

තුෂාරිකා ඇන්තනී

තුෂාරිකා ඇන්තනී කිවිඳියගේ ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ කාව්‍ය කෘතිය සැප්තැම්බර් 07 වැනි දින සවස 3.30ට, කොළඹ පදනම් ආයතනයේ දී එළිදකී. මේ තුෂාරිකාගේ කවිය සම්බන්ධව ඈ සමඟ කළ සංවාදයකි.

ඇයි ඔබ කවි ලියන්නෙ?

සතුට, වේදනාව වගේ එකී නොකී හැඟීම් මතු වුණ වෙලාවට, ඒවා හිත තුළම තෙරපාගෙන ඉද්දි, ඒවා වචන බවට පෙරළලා, මගේ හිත නිදහස් කර ගන්නකම්ම, හරි අපහසුවක් දැනෙනවා. ඒ වගේ අවස්ථාවල කවි ලියනවා. ඒත්, කවි කියවීම හා ලිවීම ජීවිතය වගේ වුණහම, රිදි රි දී වුණත් යම් තැනක ජීවත් වෙන්න පුළුවන්. කවිය හරියට ජීවිතයට ඈඳිලා තියෙනවා .

අපි ඔබ කිවිඳියක් විදියට හඳුනා ගන්නෙ සයිබර් අවකාශයෙන්. ඒත්, කවිය සමඟ වන ඔබේ ගනුදෙනුවට ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති. ඒ ගැන සිහිපත් කරමු.?

පාසල් කාලෙදි නම් කෙටි කතා ලියන්නයි කැමති. උසස් පෙළින් පස්සෙ ගෙදර ඉන්න කාලෙ දී නම් යම් යම් කවි වගේ දේ ලිව්වා. හැබැයි ඒක දිගටම කළේ නැහැ. මට හිතුණු වෙලාවට විතරයි. ඒ අතර කුඩා කවි හා කෙටිකතා තිබුණා. මගේ තාත්තා නිසා ගෙදර හරි කලාකාමී ගතියක් නම් නිතර තිබුණා. සාහිත්‍යය, ගීතය, කවිය ගැන උනන්දු වෙන්න, ඒවයිනුත් පොඩි ආභාෂයක් ලැබෙන්න ඇති .

සයිබර් කාව්‍යාවකාශය තුළ සැරිසැරුම ඔබේ කවියට ලබා දුන් පන්නරය කෙබඳුද?

සයිබර් කාව්‍යාවකාශෙයන් හරි ඉක්මනට ප්‍රතිචාර ලබන්නට පුළුවන්. ඒ වගේම, හොඳ කවි කියවන්න ලැබෙන තැනක්. බොහෝ දක්ෂ අයගෙ නිර්මාණ දැක ගන්න ලැබෙනවා වගේම, සාහිත්‍ය ලියවිලි සම්බන්ධයෙන් හොඳ සංවාද පවා දකින්නට ලැබෙනවා. මගේ කවිවලටත් එතන යම් වේදිකාවක් වුණා. මම ලියන කවි සයිබරයෙ පළ කිරීමෙන්, මට හුඟක් ආදරණීය ප්‍රතිචාර ලැබිලා තියෙනවා. දිරිගන්වන සුළු ඒ හැම අකුරකටම ආදරෙයි කියලා තමයි කියන්න ඕනෙ.

විශේෂයෙන්ම සයිබරයේ දී සමර විජේසිංහ සහ රසිකා ගුණවර්ධන යන දෙන්නා මුණ ගැසීම තමා සිදු වූ ලස්සනම සිද්ධිය. ඒ දෙන්නට කුඩා හෝ විසල් කවි නෑ. හැම කවියක්ම ලස්සන කවි වගේ පෙණුනා. කවුරු හෝ ලියන්නට උනන්දු නම්, ඒ දේවලට බලපත්‍ර හිමි අයෙක් විය යුතු වගට විශ්වාස නොකරපු දෙන්නෙක්. ඕනම කෙනෙක්ට කැමැති විදිහකට හැඟීම් කියාගන්න නිදහස තියෙන වග විශ්වාස කරපු නිසා, අපි වගේ අය නිතර දයාබර නෝක්කඩුවලින් ඉස්සරහට තල්ලූ‍ කරපු දෙන්නෙක්.

ඒ වගේම තව ඉතා ප්‍රවීණ කවියන් පවා සයිබරයෙදි හමු වුණා. ‘කවිය‘ සරල විදිහට නොගෙන බරපතළ විදිහට සැරිසරන්න ඕන තැනක් වග කියා දුන්න. නිතර අභ්‍යාස කරමින් වගකීමකින් මේ දෙය කළ යුතු බවට අදහස් ඔළුව මත තැබුවා. කවි අගය කළ කැටපත් පවුර, වලාකුළු අතර, බූන්දිය වැනි අවකාශ අමතක කරන්නත් බෑ.

‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණට’’ මේ ඔබේ පළමු කවි පොත. සමකාලීන කවි කිවිඳියන් එකපෙළට කවි පොත් කරද්දි, ඔබ මුද්‍රිත මාධ්‍යයට පිවිසෙන්න දීර්ඝ කාලයක් ගන්නවා. ඒ ඇයි කියන්න පුළුවන්ද?

ඒකට, කියන්න තරම් විශේෂ හේතුවක් නෑ. ඒ අයට හිතෙන්න ඇති එහෙම කරන්න. මට හිතුනෙ නෑ මීට කලින් කවි පොතක් කරන්න. කොහොමත්, මොනම දේකදිවත් මගේ දිගුකාලීන සැලැසුම් නෑ . මේ වෙලාව හොඳයි කියලා හිතුණොත් ඒ දේ කරනවා. දැන් කවි පොතක් කළොත් හොඳයි කියලා මට හිතුණා.

ඔබේ කවි පොතේ කවි අතර ගේහසිත ෙප්‍ර්මය වැඩි ඉඩක් ගන්නා බව පේනවා. මවක්, බිරියක්, ගෘහණියක් කියන භුමිකා සමඟ, ස්ත්‍රී කාව්‍යාත්මයක ගනුදෙනුව ඔබ දකින්නෙ කොහොමද?

ඒක නම් බොහොම පරෙස්සමට උත්තර දෙන්නත්, කැමැත්තෙන් උත්තර දෙන්නත් පුළුවන් ප්‍රශ්නයක්. තේ හදද්දි, බතට වතුර ඇද්ද කියලා ඇස් දෙකෙන් මනිද්දි, ළමයින්ට කෑම පෙට්ටියට දමද්දි, ඒ අය නොපෙනී යනකන් අත වනද්දි, කෑම කෑවද කියලා අහන්න සැමියාට ටෙලිපෝන් කරද්දි, ඒ කී නොකී හැම වෙලාවකම බොහෝ කවි නිමිති පහළ වෙනවා. කාව්‍යාත්මයක ගනුදෙනුවක් සිද්ධ වෙනවා. මමත් මේ භූමිකාව කරන සාමාන්‍ය ගැහැනියක්. ඉතින් ගෘහණියක කියන භූමිකාවෙදි පෙනී නොපෙනී යන, හදිසි කවි බීජ වෙනම තැන්පත් කර ගන්න තැනක් හදා ගන්න වෙනවා. මොකද ඒ ගෙදර දොර හා කාර්යාලයේ කටයුතු අතර ජීවිතය ගෙවෙද් දී කවි ලියනා නිසයි. ඒක, විශේෂ අමතර වීර්යයකින් කළයුතු කාරණාවක් වෙන අවස්ථා නැත්තෙත් නෑ.

සංවාද සටහන
තරුරසී ප්‍රනාන්දු


නව අදහස දක්වන්න

Or log in with...