සද්දන්තයන්ගේ ඛේදනීය ඉරණම | දිනමිණ

සද්දන්තයන්ගේ ඛේදනීය ඉරණම

විජයානි එදිරිසිංහ

ඇඟ කිලිපොළන පෙනුමක්, මන බඳින දසුනක්:

වන රක්ෂිත තුළ ඇති බොහෝ දේ අපේ සම්පත්ය. මේවායේ වටිනාකම කිසිවකුටත් මෙපමණ යැයි තීරණය කළ නොහැකි තරම්ය. ලෝකයේ වෙනත් රටවල් හා සංසන්දනය කරන කළ අපේ රටට ආ‍වේණික වූ වටිනා සම්පත් විශාල ප්‍රමාණයක් ඇත. මේ රටින් සංචාරකයන් පවා කෙසේ හෝ මේ සම්පත් එම රටවලට ගෙන යාමට උත්සාහ කරන අවස්ථා බොහෝ වෙයි. මේ සම්පත් අතර වන රක්ෂිතවල සිටින සත්ත්වයන් ද වටිනාම සම්පතක් වෙයි. මේ සම්පත් වශයෙන් සැළකෙන වන ජීවීන් ආරක්ෂා කර ගැනීම පිණිස රට තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතියක් ද වෙයි. කෙසේ වෙතත් මේ නීතිවලට පරිබාහිරව සතුන් දඩයම් කිරීම විශාල වශයෙන් සිදුවන බව රහසක් නොවේ.

එසේ සතුන් දඩයම් කරන එම සතුන්ගේ මස් විකුණා ජාවාරම් කරන පුද්ගලයන්ට බරපතළ දඬුවම් නියමවීම නිරතුරුවම සිදු වන බව ද කිවයුතු වෙයි.

වන සතුන් අතර අලි ඇතුන් අපේ රටට ඇති වටිනාම සම්පතක් වෙයි. ලෝකයේ වෙනත් රටවල නැති තරම් අගනා විවිධ වූ විශේෂ ලක්ෂණවලින් හෙබි ඇතුන් අපේ රක්ෂිතවල ගැවසෙති. පසුගිය කාලය පුරාම රට තුළ ඇත් ජාවාරම මහා පරිමාණයෙන් සිදු විය. කොළඹ සුපිරි සමාජය තුළ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ ගෝලයන් යොදා ඇතුන් මරා දළ විදෙස් රටවලට විකිණීම සුළු පටු ජාවාරමක් නොවේ. මේ එපමණක් නොව ගජ මුතු අලෙවිය ද කාලයක් තිස්සේ පමණක් නොව මේ වන විටත් හොර රහසේ සිදුවන විශාල වශයෙන් ආදායම් උපයා‍‍ දෙන ජාවාරමකි.

මේ වෙනුවෙන්ම සැදුම් ලත් ජාවාරම්කරුවන්ගේ ජාලයක් ක්‍රියාත්මක වෙයි. මේ පිටුපස ඇතැම් දේශපාලනඥයන් ද සිටින බව බොහෝ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. කාලයක් තිස්සේ දැනට හෙළිවී ඇති තොරතුරුවලට අනුව වසරකට රුපියල් කෝටි සියයකට පමණ වටිනාකමකින් යුතු ඇත් දළ විදෙස් රටවලට ‍හොර රහසේ යැවෙන බව සොයාගෙන ඇත. මේ ජාවාරම කැලේ සිටින කැලෑ හොරුන් අතින් සිදුවුවත් කැලයෙන් පිටවන ‍ ඇත් දළවල ආදායම ලබා ගන්නේ සුපිරි පැලැන්තියේ ව්‍යාපාරිකයන්ය. ඇතකු ඝාතනයට ලක් කිරීම තරම් මහා අපරාධයක් තවත් නොමැත. පුද්ගලයකු ඝාතනය කළා හා සමාන වරදක් බවට එය සැළකිය හැකිය. කෙසේ වෙතත් ඇතුන් ඝාතනය කර නීතියට හසුවුවත් පසුව ඉන් නිදහස් වී තව දුරටත් එම ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවෝ සිටිති.

මේ අතර තවත් ඛේදනීය තත්ත්වයක් බවට පත්ව ඇත්තේ වල් අලි විනාශයයි. වල් අලියා යනු අපේ ඇත් සම්පතේ තවත් කොටසකි. සංචාරකයන් මහත් ආසාවෙන් නරඔන්නේ අපේ ඇතුන් මෙන්ම වල් අලියන්ය. නිදැල්ලේ කැලේට වී එහා මෙහා යමින් සිටියත් අලි ඇතුන් විසින් අප රටට සොයා දෙන ආදායම ඉතා ඉහළ එකකි. ඕනෑම සංචාරකයෙක් මේ රටට පැමිණි විටෙක විශේෂයෙන් යන්නේ අපේ අලි ඇතුන් නැරැඹීමටය. දේශීය වශයෙන් ද සංචාරයේ යෙදෙන අපේ රටේ සෑම කෙනකුම අලි ඇතුන් බැලීමට නොයන අවස්ථාවක් ඇතොත් ඒ අහම්බෙනි. මේ ආකාරයෙන් වසරකට අලි ඇතුන් විසින් මේ රටට සොයා දෙන ආදායම එසේ මෙසේ එකක් නොවේ.

මේ අතර වල් අලින්ගෙන් ගම්මානවලට ඇතිවන තර්ජන ද මෙතැකැයි කිව නොහැකිය. අලි ගම්මානවලට වැදීමෙන් වසරකට මිනිස් ජීවිත දහස් ගණනක් මෙරටට අහිමි වෙයි. කාලයක් තිස්සේ මේ අනතුරුදායක තත්ත්වයට පිළියම් යෙදුවත් ඒවා ස්ථිර පිළියම් බවට පත් නොවීමට වගකිව යුතු පිරිස අතර රටේ වගකිව යුතු පිරිසක් ද සිටියි. වල් අලි ගම් වැදීමට විශේෂම හේතුව වන්නේ ඔවුන්ට හිමි කැලෑ භුමිය අපේ මිනිසුන් විසින් අත්පත් කරගෙන පදිංචිවීමයි. කැලෑව අහිමි වූ පසු අලි ගම්මානවලට එනවා යැයි කියන්නේ ඔවුන් ඔවුන්ගේම භූමියට පැමිණීම බව කිය යුතුය. අලියකුගේ මතක ශක්තිය ඉතා ඉහළ එකකි. වසර ගණනාවක් ගියද ඔවුන්ගේ මතකය ඒ ආකාරයෙන්ම පවතී. ඒ අනුව වල් අලියකු විසින් ගැවසෙමින් තිබූ භූමිය තවත් කිසියම් පිරිසක් විසින් අත්පත් කර ගත්තත් එම භූමිය වල් අලියාගේ මතකය තුළ රැඳී තිබෙන්නේ ඒ භුමිය ඔවුන්ගේ භුමිය බවයි. මේ ආකාරයෙන් අලින්ට හිමි භූමිය මිනිසුන් විසින් අත්පත් කරගෙන පසුව වල් අලි ගම් වැදී ගම්මාන විනාශ කළා යැයි කියන අර්ථය පිටුපස තිබෙන්නේ කුමක් ද යන්න යථාර්ථවාදීව කල්පනා කළ යුතු වෙයි.

පසු ගිය කාලය තුළ වන සතුන්ට හිමි වන රක්ෂිතවල පිහිටි භූමිවලින් සියයට හතළිහක පමණ භූමි ප්‍රදේශයක් මිනිසුන් විසින් අත් පත් කර ගෙන තිබුණි. මෙසේ අත්පත් කරගන්නවා යනු ගෙවල් සාදා පදිංචිවීම පමණක් නොවේ. එම භූමිවල මිනිසුන් රැඳී සිටිමින් විවිධ ජාවාරම්වල යෙදීමද මිනිසුන් විසින් අත් පත් කර ගත්තා හා සමාන වෙයි. විශේෂයෙන් රටේ කැලෑබද ප්‍රදේශවල විශාල වශයෙන් කංසා වැනි ජාවාරම් අක්කර සිය ගණන්වල වගා කර ඇත. එම කංසා වගාවන්ට හානි වන නිසා අලින්ට එම වගාවන් ඇති කොටස්වලට ඇතුළු විය නොහැකි වන පරිදි ගස් කපා අහුරා ඇත. කම්බි වැටවල් ද යොදා ඇති බව මේ වගාවන් වටලන පොලිසිය කියයි. මේ වගාවන් ඇති ප්‍රදේශ ද වල් අලින්ට අහිමි වන භූමි බවට පත් වෙයි.

මේ ආකාරයෙන් වන රක්ෂිත ආශ්‍රිතව ගම්මාන ඇති කර ගන්නා පුද්ගලයන් විසින් එම ගම්මානය ක්‍රමක් ක්‍රමයෙන් වනය තුළට පුළුල් කර ගැනීමත් පසුව එම ගම්මානවලට විදුලිය ඇතුළු විවිධ පහසුකම් සහිත ප්‍රදේශ බවට පත් කර ගනිමින් දේපාලනඥයන් විසින් එම ප්‍රදේශ ඡන්ද ලැයිස්තුවලට ඇතුළත් කිරීමත් හරහා වන රක්ෂිත ගම්මාන බවට පත් වීම සිදුව ඇති අතර, මේ වන විට වන රක්ෂිත වටකර ගනිමින් බිහිවී ඇති ගම්මාන ප්‍රමාණය පන්සියයකටත් වඩා වැඩි බව වාර්තා වෙයි.

මේ නිසා වන සතුන්ට හිමිව ඇති ප්‍රදේශ අත්පත් කර ගන්නා එසේත් නොමැති නම් එම ප්‍රදේශ අත් පත් කර දීමට ක්‍රියා කරන බලවතුන් අලින්ගෙන් මිනිසුන්ට සිදු වන හිරි හැරවල වගකිව යුතු‍ය.

මේ අතර කාලයක් තිස්සේ ගම්මාන ආරක්ෂා කිරීමට ගම් අවට යොදා ඇති විදුලි වැට නොහොත් අලි වැට වල් අලි ගම් වැදීම වළක්වා ගැනීමට කරන ආරක්ෂිත පියවරක් වුවත් පසු ගිය කාලය පුරාම අලි වැට ප්‍රතිසංස්කරණය නොකිරීම හා සම්බන්ධව සිදු වූ විවිධ සිදුවීම් ඉතාමත් ඛේදනීය සිදුවීම්වලින් අවසන් විය. මේ තත්ත්වයට ස්ථිර පිළිතුරක් ලබා දීමට මේ වන විට වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පොරොන්දු වී ඇත. ඒ මහතා එම අමාත්‍යංශය බාර ගන්නා විට එදා අලි වැට යෙදීමට මුදල් හෝ වෙනත් පහසුකම් නොමැති බවට කියා තිබුණත් ඇමැතිවරයා කියා සිටියේ අලි වැට ශක්තිමත් කිරීමට අවශ්‍ය තරමටත් වඩා මුදල් ඇති බවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමන් කියන්නා වූ දේ කරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අලි වැට යෙදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. එපමණක් නොව වන ජීවී නිලධාරීන්ට සහාය පිණිස සිවිල් ආරක්ෂක බළකායේ තුන්දහසක පමණ පිරිසක් ද මේ වන විටත් ගම්මාන ආරක්ෂාවට යොදා ඇත. ඒ ඇමැතිවරයා අමාත්‍යංශය බාර ගෙන මාස තුනක් ඉක්ම වීමටත් පෙර බව කිය යුතුය.

මේ අතර කාලයක් තිස්සේ සිදුවන වල් අලි සහ ඇතුන් මිය යාමේ ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් ස්ථිර පිළියමක් යෙදීම වන ජීවී නිලධාරීන්ට පවා අපහසු දෙයක් බවට පත්ව ඇත. ගම් වදින අලින්ට ප්‍රහාර එල්ල කිරීම තුළින් අලින්ට හිරි හැර සිදු වුවත් අලි මිය යෑමක් සිදු වන්නේ අහම්බෙනි. එහෙත් ජාවාරම්කරුවන් විසින් ඇතුන් මරා දැමීම විශාල වශයෙන් පසු ගිය වසර දහය තුළ සිදු විය. මේ වන විට එම ජාවාරම්වල වාර්තා වී ඇති සංඛ්‍යා ලේඛනයන්ට අනුව යම් ආකාරයක අඩු බවක් පෙන්වා දෙයි. ඊට හේතු වී ඇත්තේ අතුන් ජාවාරම පිටුපස වනජීවී නිලධාරීන් පමණක් නොව වෙනත් ආකාරයේ බුද්ධි අංශ ද ක්‍රියාත්මක වීම වෙයි.

එහෙත් දුම්රියවලට හසුවීම තුළින් පසුගිය වසරක පමණ කාලය තුළ අලි සහ අලි පැටවුන් අතුළුව පනහක පමණ පිරිසකගේ ජීවිත අනතුරුවලට ලක්වී තිබුණි. මේ අතර ස්වාභාවික හේතු මත එනම් වනයේම සිදුවන අනතුරුවලට ලක්වීමෙන් අලින් විශාල සංඛ්‍යාවකගේ ජීවිත විනාශවී ඇත. මීට දින දෙකකට පෙර පොළොන්නරුව තුම්මෝදර ජල ගැලුම් ප්‍රදේශයේ අලින් හත් දෙනකුගේ ජීවිත අනතුරකට පත් වීම ඉතා සංවේගදායී සිදුවීමක් වෙයි. වනයේ ජලය සහ ආහාර නොමැති වූ විට ඒවා සොයා යන අතර තුර මහවැලි ග‍ඟේ අත්තක් ගලා යන ප්‍රදේශයක් වූ තුන්මෝදර මේ වගුරු භුමිය තුළදී මේ අලින් හත් දෙනා මියගොස් ඇත්තේ එම වගුරු බිමේ ගිලීමෙනි. මේ ප්‍රදේශය වගුරු බිමක් බව දැන සිටිය යුත්තේ වන ජීවී නිලධාරීන් මිස වන සතුන් නොවේ. මේතාක් කාලයක් පුරා මේ ප්‍රදේශය හරහා අලින් ගමන් කළා නම් එම වගුරු බිමේ මීට පෙරද ඔවුන් සිර වීමට ඉඩ තිබුණි. වාර්තා වන ආකාරයට මේ වගුරු බිමේ මීට පෙර මේ ආකාරයේ ඛේදවාචකයක් සිදු වී නොමැත. මේ ප්‍රථම අවස්ථාව වෙයි.

එක් වල් අලියකු පමණක් නොවේ. දෙදෙනකුද නොවේ. හත් දෙනකු යනු මේ රටේ කොයිතරම් වටිනා සම්පතක් ද? කිසිවක් නොදන්නා මේ අහිංසකයන්ට මේ ඛේදනීය තත්ත්වයන් මින් ඉදිරියටවත් සිදු නොවන්නට එම ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් ලෙස සලකා මින් අවුරුදු පනහකටවත් බිඳ නොවැටෙන පරිදි ඉතා ශක්තිමත් වැටක් ‍යොදා එම ප්‍රදේශයට වල් අලින්ට හෝ එසේත් නොමැති නම් මී ගවයන් වැනි වගුරු බිම්වල එරී ජීවිත හානි වන සතුන්ට ඇතුළු විය නොහැකි පරිදි ආවරණයක් නැත්නම් ශක්තිමත් වැටක් යෙදිය හැකි නම් එය වන සම්පත ආරක්ෂා කිරීමක් පමණක් නොව මහඟු පින්කමක් ද වන්නේය.

මේ සිද්ධිය වීමත් සමඟ විෂය භාර ඇමැතිවරයා මේ ස්ථානයට ගොස් තිබුණි. වගුරු බිමේ සිරවී සිටි එම අහිංසකයන්ගේ ජීවිත ගොඩගෙන අදාළ පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණ ද පැවැත්වීමට ද පියවර ගෙන තිබුණත් පරීක්ෂණ පැවැත් වූවත් මේ ඛේදනීය සිද්ධිය මෙතනින් අවසන් නොකර වන ජීවී මහත්වරුන් විසින් මේ අනතුරුදායක ප්‍රදේශ හඳුනාගෙන ඊට සතුන්ට ඇතුළු විය නොහැකි වන පරිදි ස්ථිර පිළියම් යෙදීම ඉතාමත් වැදගත්ම කාර්යය වන්නේය.

අපේ රටේ මිනිසුන් ඇතැම් අවස්ථාවල මොන තරම් දරුණු අය වුවත් ඔවුන් තරම් සංවේදී මිනිසුන් ඇති රටක් ද තවත් මේ ලොව නැති තරම්ය. එසේ කියන්නේ කතා කළ හැකි අසරණ වූ මිනිසුන්ට පිහිටවීම පමණක් නොව විවිධ අනතුරුවලට ලක් වූ වල් අලින් සිය ගණනකගේ ජීවිත ගම්මුන් විසින් බේරා ගෙන ඇති බව අපි දෑසින්ම දැක ඇත. විශාල ජලාශ, ඇළ, විශාල වළවල්, කඳු පල්ලම් වගා ළිං ඇතුළු බොහෝ අනතුරුදායක ස්ථානවලට ඇද වැටුණු අලි ඇතුන්ගේ ජීවිත ගම්මුන් විසින් බේරාගෙන ඇති බව ද මෙහි දී මතක් කළ යුතුය. ගම්මානවලට වැදී ගේ දොර වගාවන් විනාශ කළ ද අනතුරකට ලක්වූ සතුන් මේ ආකාරයෙන් බේරා ගැනීම නිරතුරුවම සිදුවන දෙයකි. මේ ආකාරයෙන් දකින විට වන සම්පත ආරක්ෂා කර ගැනීම මෙන්ම සිදුවන ඛේදනීය තත්ත්වයන්ගෙන් ඔවුන් බේරා ගැනීමේ වගකීමෙන් කොටසක් මේ රටේ මිනිසුන් වෙත බාර වී ඇත.


නව අදහස දක්වන්න

Or log in with...