බිම්ස්ටෙක් සභාපති | දිනමිණ

බිම්ස්ටෙක් සභාපති

බිම්ස්ටෙක් රාජ්‍ය එකමුතුවට බහුකාර්ය මෙන්ම බහුවිධ කරුණු රැසක් අරමුණු කරගනිමින් වැඩ කළ හැකි බව ද අරමුණු සීමා විය යුතු නැති බව ද මෙහි දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අනෙක් රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු කළේය. මේ නිසා ඉදිරියේ බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විට එය සාක් අරමුණු ඉක්මවා යන කලාපීය වශයෙන් දැක්මක් සහිත, පොදු අරමුණු මුල්කරගත් මීටත් වඩා ශක්තිමත් සමුළුවක් වනු ඇත. ඊට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නායකත්වය වැඩදායක වනු ඇත.

1985 ඇරඹුණ සාක් සංවිධානය මේ වනවිට දුර්වල වෙමින් පවතී. ඒ වෙනුවට යුරෝපා සංගමය, අප්‍රිකානු ජාතික සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වැනි සංවිධාන කලාපීය සහයෝගීතාවය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බව පෙ‍නේ. අප්‍රිකානු ජාතික සමුළුව ගත් කළ ඒ යුගයේ සාක් සංවිධානය තරම් දියුණු මට්ටමක නොපැවතිය ද අද වනවිට එය ප්‍රබල සංවිධානයක් බවට පත්වෙමින් ඇත. විශේෂයෙන්ම ඉන්දු-පාකිස්ථාන මතභේදය සාක් සංවිධානය දුර්වලවීමට එක් ප්‍රබල හේතුවක් සේ පෙනේ. මේ වනවිට සාක්වරුන් එකට රැස්වීම පවා මගහැරෙමින් පවතී. සාක් ප්‍රඥප්තීන්ට අනුව සියලු සාමාජිකයන්ගේ එකඟතාවයකින් තොරව සමුළුවක් පැවැත්විය නොහැක.

එහෙත් දකුණු ආසියානු රටවල ජනතාවගේ ඉදිරි ගමන වෙනුවෙන් සාක් සංවිධානය එසේ පවතිද්දීම වුවද වෙනත් විකල්පයක් සොයා ගැනීමට එම රටවලට සිදුවී තිබේ. මෙහි දී සාක් කලාපයේ ක්‍රියාත්මක වන සංවිධාන තුනක් කෙරෙහි කාගේත් අවධානය යොමු වේ. ආසියන්, බිම්ස්ටෙක් හා අයෝරා එම සංවිධාන තුනයි. මින් ආසියන් සංවිධානය සැලකෙන්නේ අපට වඩා ජපානය, ද.කොරියාව වැනි රටවලට ඇවැසි ලෙස සිය ප්‍රතිපත්තිය සකස් කරගෙන සිටින සංවිධානයක් ලෙසිනි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් අපට වඩා ඉසුරුබර රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති, විශේෂයෙන්ම බටහිර රටවල් දෙස වැඩි නැඹුරුවක් ඇති සංවිධානයක් ලෙසිනි.

‘සාක්’ අඩපණ නම් ‘ආසියන්’ සමඟ එතරම් සමීප ඇසුරක් නොමැති නම් අපට ගැළපෙන ලෙස ඉතුරු වන්නේ ‘බිම්ස්ටෙක්’ සංවිධානයයි. බිම්ස්ටෙක් හැඳින්වෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල සංවිධානයක් ලෙසිනි. සාක් සමුළුවේ බිඳවැටීම හා පසුබැස්ම හේතුකොටගෙන ‘බිම්ස්ටෙක්’ හි දීප්තිය හා වගකීම එම කලාපයේ රටවල් සම්බන්ධයෙන් වැඩිවී තිබේ. අනෙක් පැත්තෙන් බිම්ස්ටෙක් ‘සාක්’ සංවිධානයට වඩා පුළුල් හා රාජ්‍ය එකමුතුවක් සේ සැලකේ. ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය වැනි සාක් රටවල් පමණක් නොව මියන්මාරය, තායිලන්තය වැනි රටවල් ද අයත් වේ.

ප්‍රධාන ඉලක්කය

බිම්ස්ටෙක් බිහිවන්නේ 1997 වසරේදීය. මෙහි ප්‍රධාන ඉලක්කය සිය සංවිධානයට අයත් රටවල් අතර ආර්ථික සහයෝගීතාවය ඉදිරියට ගෙනයාමයි. මේ සඳහා ප්‍රධාන කරුණු 10ක් හා වෙනත් අවශේෂ කරුණු 14 කෙරෙහි ඔවුහු සිය අවධානය යොමුකර සිටී. බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව මෙම සංවිධානය විශේෂ වැදගත්කමකින් යුතුව සලකනු ලබන බව පෙනේ. ලෝක ජනගහනයෙන් 22%ක් එනම් බිලියන 1.5ක ජනකායක් බිම්ස්ටෙක් රටවල වාසය කරති. මෙම කලාපයේ ඩොලර් ද.ල. 2.8ක දළ දේශීය නිෂ්පාදිතයක් පවතී. මෙහි ආරම්භක සමුළුව පවත්වනු ලැබුවේ 2004 දී තායිලන්තයේ බැංකොක් නුවරදීය. මුල දී සාමාජික රටවල් අතර තාක්ෂණික හා ආර්ථික දියුණුව පදනම් කරගෙන පවත්වනු ලැබූ අතර මේ වනවිට එය තවත් පුළුල් වී තිබේ. මෙවර නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ වූ බිම්ස්ටෙක් සිව්වැනි සැසිවාරයේ තේමාව වී ඇත්තේ ‘‘බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීම’’ යන්නයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා ලෙසින් සහභාගි විය. මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය සුවිශේෂීය. ඊට හේතුව මෙතැන් සිට ඉදිරියට මීළඟ සමුළුව දක්වා බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමිවීමයි. ඒ නිසා මීළඟ බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේදීය.

සාක් සමුළුව වැනි සංවිධානයක් අඩපණ වී ඇති සමයක ශ්‍රී ලංකාවට ‘බිම්ස්ටෙක්’ සභාපති ධුරය හිමිවීම වැදගත්ය. එසේම 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ ජයග්‍රහණය සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව අගය කරන ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක්විය. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයට එම ජයග්‍රහණය සුවිශේෂීය. මෙවර බිම්ස්ටෙක් නායකත්වය හිමිවූයේ එම සුවිශේෂී ජයග්‍රහණය ලැබූ නායකයාටය.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති මෙවර සමුළුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව ද කාගේත් අවධානයට ලක්වූ බව පෙනේ. මෙහි දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රධාන කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කළ අතර දේශගුණික කාරණා හා මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව කලාපීය අවධානය යොමු කිරීම සුවිශේෂිතය.

සාක් සමුළුව

“අද ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන ප්‍රශ්න අතරේ අපේ මේ සාමාජික මිත්‍ර රාජ්‍යයන් මේ කලාපීය රාජ්‍යයන් බිම්ස්ටෙක් සමුළු සාමාජිකයින් එකම ප්‍රශ්න වැලකට මුහුණ දී තිබෙනවා. එහි දී මූලික වශයෙන් කාලගුණික, දේශගුණික විපර්යාස අපේ බොහෝ ආර්ථික සැලසුම් අභියෝගයට ලක් කරනවා. අද ලෝකයේ කාලගුණික, දේශගුණික විපර්යාස සමඟ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි දුගී භාවය, දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය. එය දුගී භාවය වර්ධනය වීමට ප්‍රබල ප්‍රශ්නයක් වී තිබෙනවා.”

මත්ද්‍රව්‍ය ප්‍රශ්නය

“ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය මුළු මහත් මානව සමාජයටම බරපතළ අභියෝගයක් වී තිබෙනවා. අද ලෝකයේ සෑම රටකම කුඩා දරුවාගේ සිට පාසල් ශිෂ්‍යයාගේ සිට බරපතළ ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා. මත්ද්‍රව්‍ය දරුවන් විනාශ කිරීම, නව පරපුර විනාශ කිරීම, සෑම රටකම ජාතියේ අනාගතයට වඩාත් බලපාන්නා වූ ඔවුන්ගේ දැනුම, අධ්‍යාපනය, බුද්ධිය විනාශ කිරීම නීති විරෝධි මත්ද්‍රව්‍ය වගේම බොහෝවිට නීත්‍යානුකූල යැයි හඳුන්වන මත්ද්‍රව්‍යයත් මේ තත්ත්වයට බලපාලා තිබෙනවා. හසීස්, මරිජුවානා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ලෝකයේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, දේශපාලනඥයින් බලයෙන් පහ කරන්න, තමන්ට අවශ්‍ය දේශපාලනඥයින් බලයට පත් කරන්න නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රබල ලෙස මැදිහත් වෙනවා.”

බිම්ස්ටෙක් රාජ්‍ය එකමුතුවට බහුකාර්ය මෙන්ම බහුවිධ කරුණු රැසක් අරමුණු කරගනිමින් වැඩ කළ හැකි බව ද අරමුණු සීමා විය යුතු නැති බව ද මෙහි දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අනෙක් රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු කළේය. මේනිසා ඉදිරියේ බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විට එය සාක් අරමුණු ඉක්මවා යන කලාපීය වශයෙන් දැක්මක් සහිත, පොදු අරමුණු මුල්කරගත් මීටත් වඩා ශක්තිමත් සමුළුවක් වනු ඇත. ඊට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නායකත්වය වැඩදායක වනු ඇත.

8 වැනිදා ජයග්‍රහණය

2015 ජනවාරි 8 වැනිදා ලත් ජයග්‍රහණයෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව දෙස බලන ආකාරයේ වෙනසක් දක්නට ලැබේ. එය කාටත් පිළිගත හැකි මේ ආණ්ඩුව අත්පත්කරගත් සාධනීය ජයග්‍රහණයකි. එහි වැදගත්කම ආණ්ඩුවක් හා එක් දේශපාලන කණ්ඩායමකට වඩා රටක් වශයෙන් වැඩදායකය. අපේ මතවාදයන් කලාපීය වශයෙන් වැදගත් වන්නේද, කලාපීය සමුළුවල මුල් අසුන හිමිවන්නේ ද එම ජාත්‍යන්තර පිළිවෙතේ පිළිගැනීම ද කරනකොටගෙන බව පැහැදිලිය.

වැදගත් වන්නේ මේ ලැබූ ජයග්‍රහණයන් රටක් වශයෙන් ඉදිරියට ගෙනයාමය.


නව අදහස දක්වන්න

Or log in with...