“ මරපු එක පවක් නෙමේ” | දිනමිණ

“ මරපු එක පවක් නෙමේ”

හිරගෙදර විසිට් බලන්නට පැමිණ පෝලිමේ සිට නැවත මහමඟ දෙසට එන අම්මා කෙනකු දැක මම ඇය ළඟට සේන්දු වුයෙමි.

ඒ ඇයට කතා කරන අදහසිනි. “ මං ආවේ දුව බලන්න. ඒත් එයාව අඟුණකොළපැලැස්සට මාරු කරලා යවලලු. ඉතින් මෙතන ඉඳලා වැඩක් නැහැනේ. ඒ නිසයි මං මේ යන්න හැරුණේ.”

ඈ එසේ පවසන්නට වූයේ දෙනෙතට නැඟි කඳුළු සාරි පොටෙන් පිස දමමිනි. ඇය පැමිණ සිටියේ හිරගෙදර සිටි සිය දියණිය බැලීමටය. මම ඇගෙන් ඒ ගැන විමසුවෙමි.

“ එයා වරදක් කළා. එයා එයාගේ මහත්තයට වහ දුන්නා. ඒ මිනිහා මැරුණා. ඒත් ඒ මිනිහා මැරුව එක පවක් කියලා මං හිතන්නේ නැහැ.” ඇය කතා කරන්නේ තම දුව කළ දේ සාධාරණය කරන හැඟීමෙනි. ත මිනිහෙක් මරපු එක පවක් නෙමෙයි කියන්නේ කොහොමද? ඇගේ කතාවෙන් පුදුමයට පත් වූ මම ඇයගෙන් විමසුවෙමි. “ මිනිස්සු මගෙ දුවට බනිනවා එයා වැරදියි කියලා.

ඒත් කොයි ගෑනිද කැමති හිංසා පීඩා විඳින්න. මේ සිද්ධිය වෙනකොට මගේ දුවට අවුරුදු විසි හතරයි. එයා හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. අපිත් එයාට හොඳට ඉගැන්නුවා. මට හිටියේ දුවයි පුතයි. පුතා ඇක්සිඩන්ඩ් එකකින් මැරුණා. දරුවන්ගේ තාත්තා ඒ හිතේ අමාරුවෙන්ම අසනීප වෙලා නැති වුණා. ඉන් පස්සේ දුවයි මමයි තමයි ගෙදර හිටියේ. දුව රස්සාවකටවත් යන්න කැමති වුණේ නැහැ මම තනියම නිසා.

රස්සාවකට නොගියට අපිට අගහිඟකම් තිබුණේ නැහැ. මහත්තයගේ විශ්‍රාම වැටුප මට ලැබුණා. අපිට පොල් වත්තක් තිබුණා. ඒ නිසා ඒකේ ආදායමත් මට ලැබුණා. දුව මේ හැමදේම බලාගෙන මාවත් බලාගෙනයි හිටියේ.” ත එයා කසාද බැඳලද? “ දුවට අවුරුදු විස්සේ ඉඳලා මංගල යෝජනා ආවා. ඒත් දුව ඒ එකකටවත් කැමති වුණේ නැහැ. අන්තිමට මගේ කියවිල්ල නිසාම දුව බඳින්න කැමති වුණා.” ත කාවද බැන්දේ ?

“ මගේ ඥාතියෙක් තමයි මංගල යෝජනාව ගෙනාවේ. ආණ්ඩුවේ රස්සාව කරනවා කියලා කිව්වා. ඒ ළමයා හරි ලස්සනයි. ඒත් බැලූ බැල්මට හිතෙනවා සෙල්ලක්කාරයි කියලා. දුවත් ඒ ළමයට කැමති වුණා. එයාගේ කැමැත්තට මං ඉඩ දුන්නා. ලොකු උත්සව ගත්තේ නැහැ. අපි දුවව කසාද බැන්දුවා. ටික දවසක් යනකොට තමයි තේරුණේ ඒ කොල්ලට හරි හමන් රස්සාවක්වත් නැහැයි කියලා.”

මගුල හොයලා දුන්න ඥාතියා මොකද කිව්වේ? “ එයා කිව්වා එයාටත් යාළුවෙක් තමයි ඒ ළමයා ගැන කිව්වේ කියලා. අපි රුවටුණා කියලා එතකොටත් හිතුණේ නැහැ. මුල් දවස්වල දුවයි බෑණයි හරිම සතුටෙන් හිටියා. ඒ නිසා මං ඔය කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා හෙව්වේ නැහැ.” “ බෑණට කඩයක් දාලා දෙන්න ඕන කියලා දුව මා එක්ක කිව්වා.

මම ඒකටත් අකමැති වුණේ නැහැ. ටවුම කිට්ටුව තිබුණ හෝටලයක් බෑණට බදු අරගෙන දුන්නා. අපරාදේ කියන්න බැහැ ඒ කර්මාන්තේ ඒ ළමයට හරි ගියා. සෙනඟ ආවා. දුවලා දියුණු වුණා. කාර් එකකුත් ගත්තා. ” ත දුවට දරුවෝ නැද්ද? “ නැහැ දරුවෝ නැහැ. බෑණා ඒ ගැන එච්චර උනන්දු වුණෙත් නැහැ. ඔය අතරේ තමයි දුව අසනීප වුණේ. එයාට එක පාරටම බඩේ කැක්කුමක් ආවා.

පස්සේ බෙහෙත් අරගෙන ඔපරේෂන් එකකුත් කෙරුවා. දුව අසනීප වුණාට පස්සේ හෝටලේට යන එක බෑණා නතර කළා. පස්සේ බෑණා දුවගෙන් ඈත් වුණා. මාස ගානකට පස්සේ හෝටලේට ගිහිල්ලා දුව ගෙදර ආවේ අඬාගෙන.

මං ඇහුවා ඇයි කියලා. එයා මට උත්තර දුන්නේ නැහැ. දවස් ගානක් යනතුරු දුව ඇඬූ කඳුළෙන් හිටියේ.” ත බෑණා ගෙදර ආවේ නැද්ද? “ ගෙදර ආවා. ඒත් දුව එයාට මුහුණ දුන්නේ නැහැ. මට තේරුණා දෙන්නා අතර මොකක් හරි නෝක්කඩුවක් තියෙන බව. දවසක් බෑණයි දුවයි හොඳටම රණ්ඩු වුණා. බෑණා මගේ දුවට ගැහුවා.

එදා රෑ එයා ගෙදරින් ගියාට පස්සේ දවස් කිහිපයක්ම ගෙදර ආවේ නැහැ. මං දුවගෙන් ඇහුවා ඇයි මෙහෙම වුණේ කියලා. ඊට පස්සේ තමයි මං සිද්ධිය දැන ගත්තේ.” ත මොකක්ද වෙලා තිබුණේ....?

“ බෑණා හෝටලේට එක එක ගෑනු ගෙනැල්ලා. ඒ මදිවට ඒ ගෑනුන්ව එයාගේ යාළුවන්ටත් දීලා. දෙතුන් පාරක්ම පොලිසියෙන් පැනලා. දුව මේ හැමදෙයක්ම කාගෙන් හරි දැනගෙන. දවසක් බෑණා වෙන ගෑනු කෙනෙක් එක්ක කාමරයක ඉන්නවා දුව දැකලා. පස්සේ මමත් බෑණට අවවාද කළා. මං හිතුවා ඉන් පස්සේවත් බෑණා හොඳ වේවි කියලා. ඒත් එයා එහෙම වුණේ නැහැ.

ගෙදරදි එයා දුවට සැර වැර කරන්න, ගහන්න පටන් ගත්තා. දවසක් දුවව බේරගන්න ගිහිල්ලා මටත් පොලු පාරක් වැදුණා. බෑණා එන්න එන්නම දරුණු වුණා. දුව දවස ගත කළේ හැඬූ කඳුළෙන්. මට දුව දුක් විඳිනවා බලා ඉන්න බැරි වුණා. අපි දෙන්නා ගෙයි පුටු දෙකක වාඩි වෙලා වරු ගණන් ඇඬුවා. ඒත් අපට විසඳුමක් ලැබුණේ නැහැ.”

“ දවසක් බෑණා ගෙදරටම ගැනියෙක් ගෙනාවා. අපි දෙන්නම වෙන දෙයක් වෙන්න ඇරලා බලාගෙන හිටියා. ඒ වගේම බෑණා ටික ටික බීමටත් ඇබ්බැහි වුණා. මේ නිසා මට මේ ප්‍රශ්නය විසදගන්න අමාරු වුණා. දුව නීතිඥයෙක් හම්බ වෙලා දික්කසාද නඩුවක් දැම්මා. ඒක දැනගත්ත දවසේ බෑණා දුවව මරන්නම ගියා. එයා බලෙන්ම මහගෙදරයි පොල් වත්තයි එයාගේ නමට ලියා ගත්තා.

දුවයි මමයි බොහෝම අසරණ වුණා. අපිට කර කියාගන්න දෙයක් නැතිව ගියා. නෑයෝ මේ කිසිම දෙයක් දන්නේ නැහැ.” “ ගෙවල් දොරවල් ලියා ගත්තට පස්සේ බෑණා දුවත් එක්ක ටික ටික හොඳට කතා කරන්න ගත්තා. මම හිතුවා දැන් දෙන්නා සමගියි කියලා. දුවත් හරි ආදරෙන් එයාට සලකන්න ගත්තා. ඒත් බෑණා ගෙදරට අර ගෑනු කෙනා ගේන එක නතර කළේ නැහැ.”

“ දවසක් දුවයි බෑණයි ගමනක් ගිහින් ආවා. ඒත් මම හිතුවා ඒ දෙන්නා දැන් ඉන්නේ සතුටින් කියලා. ඒ සිතුවිල්ල මට වැරදුණා. මං හිතුව දේ නෙමෙයි අන්තිමට වුණේ.” ත ඇයි මොකක්ද වුණේ? “ එදා උදේ දුව කාමරේ ඉඳලා අඬාගෙන ආවා. මං ඇහුවා ඇයි කියලා. එහෙම අහලා මමත් දුව එක්ක කාමරයට ගියා. බෑණා සෙම දාගෙන බිම වැටිලා හිටියා. ඒ ළඟම බෝතලයකුත් තිබුණා.

මම කෑගහලා අහල පහළ අයට අඬ ගැසුවා. බෑණාව රෝහලට ගෙනිච්චා. බේරගන්න බැරි වුණා. පොලිසියෙන් විවෘත තීන්දුවක් දුන්නා. ඒකට හේතුව වුණේ බෑණගේ පැත්තේ අය කියලා තිබුණා මරණය සැකයි කියලා. මරණයෙන් පස්සේ දිගින් දිගටම පොලිසිය අපේ ගෙදරට ආවා.

පරීක්ෂණ තිබ්බා. පස්සේ දුවව අත්අඩංගුවට ගත්තා. අවුරුද්දකට පස්සේ දුවට ඇප ලැබුණා. ඒත් නඩුව විභාග වුණා. ඇප ලැබිලා ආවට පස්සේ දුව හැම දේපළක්ම විකුණුවා. අපි පුංචි ඉඩමකුයි ගේකුයි ගත්තා. දැන් මං ඉන්නේ ඒ ගෙදර. දුවට අවුරුදු ගාණක සිර දඬුවමක් ලැබුණා. මං හිතන්නේ නැහැ එයා කවදාවත් ජීවිතේ සතුටෙන් හිටියා කියලා.”

දුවව වැලිකඩින් මාරු කරලා කියලා දැන ගත්තේ නැද්ද ? “ දුව දවසක් ආවම කිව්වා මෙහෙන් යන්න වෙයි කියලා. ඒත් මං දැනගෙන හිටියේ නැහැ මෙච්චර ඉක්මනට යයි කියලා.

හිරගෙදර ඉන්නකොට එයාට හුඟාක් ප්‍රශ්න තිබුණා. ඒ අනික් ගැහැනුන්ගෙන්. ඒ නිසා මට බය හිතුණා. දුව කරදරයක් කර ගනීද කියලා.

මම දුවගේ හිත හැදුවා.අදත් මම දන්නේනැතිව තමයි ආවේ. එයා එහෙ ගිය එක හොදයි. ඒත් මට එහෙ යන්න දුරයි. ඒත් එයා දැන් මෙහෙ නැති නිසා මගේ හිතත් ටිකක් නිදහස්.

(ඉනෝකා සමරවික්‍රම)


නව අදහස දක්වන්න

Or log in with...