පොලිසිය පො-ලි-ෂ් | දිනමිණ

පොලිසිය පො-ලි-ෂ්

පොලිස් සේවයේ සමාජ වටිනාකම පිළිබඳ අවබෝධයක් සාමාන්‍ය ජනතාවට නැත. යම් හෙයකින් පොලිසිය සතියකට නිවාඩු ගියහොත්; එසේ නැතහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදුණහොත්; රටේ තත්ත්වය කෙසේ වෙයි ද? සියලු මහාමාර්ග අනතුරුවලින් පිරී යනු ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම හා කසිප්පු ජාවාරම ක්ෂණිකව සක්‍රීය වනු ඇත. මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, කැරලි හා තවත් අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. පොලිසිය නැතොත් රටේ නීතිය හා සාමය ආරක්ෂා වන්නේ නැත. නීතිය හා සාමය නැති කල; ජන ජීවිතය පවත්වාගත නොහැකි ය. ජන ජීවිතය අඩාල නම්; ඒ රටට අනාගතයක් නැත.

පොලිස් සේවයක් නැති රාජ්‍යයක් ලොව කොතැනකවත් නැත. ත්‍රිවිධ හමුදා නැති රටවල පවා පොලිස් සේවයක් පවතී. මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම, රාජ්‍යයට ආරක්ෂාව ලබාදීම හා රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම පොලිසියක මූලික රාජකාරිය ලෙස සැලැකිය හැකි ය. එය භාරධූර වගකීමක් වන අතර අත්‍යවශ්‍ය සේවාවක් ද වන්නේ ය. ශ්‍රී ලංකාවේ ‍පොලිස් සේවය පිහිටුවා වසර එකසිය ගණනක් සම්පූර්ණ වී ඇත. ගෙවී ගිය අතීතය දෙස බලනවිට පොලිසිය සිය භාරධූර වගකීම ඉටුකර ඇත්තේ බලවත් දුෂ්කරතා මැද ජීවිත පරිත්‍යාගයෙන් බව කිව යුතු ය. එහෙත් පොලිස් සේවය පිළිබඳ මහජන අවබෝධය අඩු නිසාම පොලිසිය අගයන කෙනකු දකින්නට නැත.

ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ය. එකල පොලිසියට අයත් රාජකාරී සීමාසහිත විය. එහෙත් පසුකාලය වනවිට අපරාධවල පරිමාව හා ඒවායෙහි ස්වභාවය සංකීර්ණ විය. තව අතෙකින් ත්‍රස්තවාදය ව්‍යාප්ත විය. සිවිල් යුද්ධයක් දසක තුනක කාලයක් පුරාවට පැවැතියේ ය. පොලිසිය මේවාට මුහුණදීම සඳහා අලුත් අධ්‍යයන, අලුත් පුහුණුවීම් හා අලුත් මෙවලම් භාවිත කළේය. අද අපට දකින්නට ලැබෙන්නේ අවුරුදු එකසිය ගණනකට පෙර ආරම්භ කළ පොලිසියට වඩා මුළුමනින් ම පාහේ වෙනස් එකකි. ලෝකයේ දියුණුම පොලිස් සේවයක් හා සමකළ හැකි තත්ත්වයක් අපේ පොලිසියෙන් විද්‍යමාන වෙයි.

නූතන පොලිස් සේවය මහජනයාට ඉතා සමීප විය යුතුය යන්න පිළිගත් මතයකි. රජය හා පොලිසිය මේ බව වටහාගෙන ඇති බවක් පෙනෙයි. ඊට හොඳම නිදසුන් දෙක වන්නේ ප්‍රජා පොලිස් වැඩසටහන හා ක්ෂණික ප්‍රතිචාර සඳහා වූ පොලිස් සේවයයි. එය දවසේ පැය විසිහතර පුරාම අඛණ්ඩ සේවාවක් ලබාදෙයි. අපරාධ පිළිබඳ තොරතුරු සැපයීම, හදිසි ආරක්ෂාව ඉල්ලා සිටීම යන ඕනෑම කටයුත්තක් සඳහා පොලිසිය සූදානම් බව එයින් පෙනීයයි. සෑම ග්‍රාමසේවා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීම කෙරෙහි පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී ඇත. එය මහජනයා හා පොලිසිය අතර සම්බන්ධය වැඩිදියුණු කරන අවස්ථාවකි.

ශ්‍රී ලංකාව අපරාධ වැඩි රාජ්‍යයක් ලෙස හුවාදැක්වීමේ ප්‍රයත්නයක් කෙනකු ළඟ පැවැතිය ද එය විද්‍යාත්මකව සනාථ කළ නොහැකි ය. නිල සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ අපරාධ ප්‍රමාණය අඩුවී, අපරාධ විසැඳීම ඉහළ ගොස් ඇති බව ය. 2014 තුළ දී අපරාධ පනස්දහස් නමසිය හැට දෙකක් සිදුවී ඇත. 2017 වන විට එය තිස්පන්දහස් නමසිය හැත්තෑඑක දක්වා අඩු වී ඇත. ප්‍රතිශතයක් ලෙස ගතහොත් 35%ක අඩුවීමක් ලෙස දක්වනු ලැබේ. අපරාධ විසැඳීම 58% සිට 79% දක්වා වැඩිදියුණු වී ඇති බව ද නිල සංඛ්‍යා ලේඛන දක්වයි. මෙහි සම්පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට යා යුතුය. සාමාන්‍යයෙන් ජනමාධ්‍ය පවා පොලිසියේ අඩුපාඩු විවේචනය කරනවා මිස පොලිස් සේවයේ ගුණාත්මක පාර්ශ්වය හුවාදක්වන්නේ නැත.

රජයේ පාර්ශ්වයෙන් ගතහොත් ගෙවීගිය වසර තුනක කාලය තුළ පොලිස් සේවයේ අභිවර්ධනය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකර තිබේ. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන තේමා පාඨයක් වන්නේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම ය. ඒ සඳහා පොලිස් සේවය ශක්තිමත් කළ යුතු සේම එය නිදහස් සේවයක් බවට පත් කළ යුතු ය. පොලිස් කොමිසම තහවුරු කිරීම, පොලිස් සේවයේ වැටුප් තල ඉහළ දැමීම, සේවා පහසුකම් සැපයීම, උසස්වීම් ලබාදීම, ඔස්සේ ඉහත කාර්යය සිදුවී ඇත. වඩා වැදගත් වන්නේ දේශපාලන බලපෑමකින් තොරව පොලිසියට ක්‍රියා කිරීමට ඉඩ ලබාදීම ය. දැන් එබඳු බලපෑම් නැත.

පොලිස් සේවය දේශපාලන බලපෑම්වලින් නිදහස් වී ඇති ආකාරය පොලිස්පතිවරයාගේ චර්යා රටාවෙන් වුව හඳුනාගත හැකි ය. ඔහු ඉඳ-හිට ගීයක් ගයයි. නැටුමක් නටයි. ව්‍යායාම කරයි. රටේ උසස් නිලධාරියකුට වුව සාමාන්‍ය ජීවිතයක් තිබේ. දේශපාලකයන්ට බියෙන් ඒවා නතර කළ යුතු නැත. පොලිස්පතිවරයා කිසිඳු වැරදි චර්යාවක නිරතවී නැත. පොලිසියට මෛත්‍රී භාවනාව හඳුන්වා දුන් නිලධාරියා හැටියට ද ඔහු ඉතිහාස ගතවනු ඇත. පොලිසිය භාවනා කිරීම විවේචනයට ලක් වුව එය ඉතා බුද්ධිමත් තීරණයකි. පොලිස් නිලධාරියාගේ මනස සන්සුන් කිරීමට සේම ශක්තිමත් කිරීමට ද භාවනාව යොදාගත හැකිය. පොලිස් නිලධාරීන්ට තමන්ගේ ආරක්ෂාව සඳහා ද භාවනාව යොදාගත හැකි ය.

ඊයේ පැවැති කොළඹ වැටලීම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ පොලිස්පතිවරයා අවම බලය නොව; අවශ්‍ය බලය යෙදීමට තමන් පසුබට නොවන බව කියා සිටියේ ය. නිලධරයකුට මෙබඳු නිර්භීත ප්‍රකාශයක් කිරීමට පරිසරය සැකසෙන්නේ දේශපාලන බලපෑමක් නැති නිසා ය. පොලිසිය අවශ්‍ය තැන දී මහජනයාගේ ද, රාජ්‍යයේ ද ආරක්ෂාව පිණිස තම බලය යෙදිය යුතු ය. කැරැල්ලක් මර්දනය කිරීමේ හැකියාව ද අපරාධකාරයන් සමඟ සටන් කිරීමේ හැකියාව ද පොලිසියකට තිබිය යුතු ය. එසේ නොවන්නේ නම්; ජාතික ආරක්ෂාව ගැන සහතිකයක් දිය නොහැකි ය.

අප මුලින් ද සඳහන් කළ පරිදි මෑතභාගය තුළ ලෝකයේ අපරාධවල ස්වභාවය සංකීර්ණ විය. සූක්ෂ්ම මූල්‍ය වංචා, ත්‍රස්තවාදී ප්‍රහාර, සයිබර් අපරාධ ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේවා ඉදිරියෙහි කිසිඳු පසුබෑමකින් තොරව අපරාධ මර්දනයට අපේ පොලිසිය ඉදිරිපත්වී සිටිති. මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා පැසසුම් කටයුතුය. මේ ක්‍රියාවලින් අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් තව වැඩි කාලයක් යන්නට පෙර මත් උවදුර මුළුමනින්ම වැළැක්විය හැකි බව පෙනෙයි.

 

නව අදහස දක්වන්න