ෆොටෝ ගහන දොස්තර මහත්තයා | දිනමිණ


 

ෆොටෝ ගහන දොස්තර මහත්තයා

වෛද්‍ය වෘත්තිය කියන්නෙ ඉතාමත් වගකීමක් සහිත රැකියාවක්. පොඩ්ඩක් වැරදුණොත් රෝගියකුගේ ජීවිතයක් අවදානමේ. ඒ නිසාම හොඳ අවධානයකින් වගේම වගකීමකින් යුතුව ඒ වෘත්තියේ නියැලෙන්න ඕන. ඒ නිසාම ඔවුන්ගේ ජීවිතය ‍බො‍‍හොම කාර්යබහුලයි ව‍ගේම ඉතාමත් අවිවේකීයි.

මේ කියන්න යන දොස්තර මහත්තයා නම් ඊට ටිකක් වෙනස්. වෛද්‍ය වෘත්තියේ නියැලෙන ගමන්ම ඉඩක් ලැබුණ හැම අවස්ථාවකම සොබා දහමත් එක්ක එකතු වෙමින් එහි තිබෙන දේවල් විනෝදාංශයක් ලෙස ඡායාරූපයකට නඟමින් සිහිවටන ලෙස එකතු කරන පරිසර හිතවාදී දොස්තර මහත්මයෙක්. ඔහු දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී හැටියට සේවය කරන වාසිරි රසූ ගජමන් මහතායි. විනෝදාංශයක් වශයෙන් ලබා ගන්නා ලද ඡායාරූප පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පවත්වනු ලැබු “2018 ශ්‍රී ලංකා ජායාරූප උළෙලට“ ඉදිරිපත් කිරීම නිසා කුසලතා සම්මාන 3ක් දිනා ගැනීමටත් ඔහුට හැකියාව ලැබුණා.

සොබා දහමට ආදරය කරමින් එහි අපූරුතම අවස්ථාවන් ඡායාරූපයට නගමින් සිහිවටනයන් ලෙස එකතු කරන මේ කලාකාමී දොස්තර මහතා හමුවීම සඳහා එම රෝහලට පසුගියදා අපි ගියෙමු. එහිදී ඔහු ඒ සම්බන්ධව අදහස් දක්වමින් මෙලෙස පැවසීය.

“මම පොඩි කාලේ ඉඳලම කලාවට ගොඩක් ආසයි. අපේ පවුලේ අම්මා, අක්කා, නංගි, පුංචි අම්මා, බාප්පා මේ සියලුමදෙනා චිත්‍ර විෂය හදාරපු අය. ඒ වගේම අපේ සීයත් හොඳ මූර්ති ශිල්පියෙක්. ඒ නිසා මගේ ඇ‍ඟෙත් කලාව පිහිටලා තියෙනවා. මම විනෝදාංශයක් විදියට ගොඩක් ආස කළේ ඡායාරූප ගැනීමට තමයි. මම මුලින්ම පාවිච්චි කළේ පොඩි කැමරාවක්. ඒත් දැන් ටිකක් ලොකු වැඩවලට පාවිච්චි කරන්න තවත් හොඳ කැමරා දෙකක් ගත්තා.

මම ගොඩක් ආස කරන්නේ වන සතුන්ගේ විවිධ ඉරියව් ඡායාරූපගත කරන්න. විශේෂයෙන්ම ඒ සතුන්ගේ චර්යා රටා, ඉරියව් ගැන හොඳ අධ්‍යයනයක් මේ සඳහා තිබීම ඉතා වැදගත් වෙනවා. ඒ අතරට පරිසරයේ ඇති වෙනත් ඡායාරූපද ගන්නවා. සමහර වෙලාවට එක ඡායාරූපයක් ගන්න පැය දෙක තුනක් ගත කරන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවක කුරුල්ලෙක් ඉගිලෙන අවස්ථාවක් වගේ ගන්න ඕන වුණොත් ඒ සතාට කරදරයක් නොකර ඌ ඉගිල්ලෙනකම් නිසොල්මනේ බලාගෙන ඉන්න වෙනවා. මේකට ඇත්තටම ඉවසීම, කැපවීම කියන දේවල් හොඳට ප්‍රගුණ කරන්න ඕන.

පසුගියදා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් නෙළුම් පොකුණ රඟහලේදී පවත්වනු ලැබු “2018 ශ්‍රී ලංකා ජායාරූප උළෙල” සඳහා මා විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූපවලින් වනජීවී අංශයෙන් කුසලතා සම්මානයකුත්, ජීවන රටා හා සංස්කෘතික අංශයෙන් කුසලතා සම්මාන දෙකකුත් දිනා ගැනීමට මට පුළුවන්කම ලැබුණා. මේ සඳහා ඡායාරූප 3537ක් ඉදිරිපත් කර තිබුණා. එයින් ප්‍රදර්ශනය සඳහා තෝරා ගෙන තිබුනේ ඡායාරූප 150ක් පමණයි. ඒ අතරින් තමයි මට සම්මාන 3ක් ලබා ගැනීමට හැකියාව ලැබු‍ණේ.

ඇත්තටම මේ තුළින් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා. රාජකාරී ජීවිතයට බාධාවක් නොවන අන්දමින් නිවාඩු වෙලාවල් මේ සඳහා යොදා ගන්නවා. ගොඩක් වෙලාවට ඉඩක් ලැබුණු ගමන්ම වගේ කරන්නේ කුමන හෝ පැත්තක සංචාරය කිරීම තමයි. මේ පැත්තේ නම් නිතර නිතර කලමැටිය, උස්සන්ගොඩ, රැකව කළපුව, යාල අභය භූමිය වගේ තැන්වලට යනවා. දුර බැහැර පැතිවලත් යනවා. ඒ වෙලාවල්වලට හැකි සෑම අවස්ථාවකම මගේ බිරිය වගේම මගේ දරුවනුත් සහභාගී කර ගන්නවා.

ඉදිරියේදී මම දැනට අරන් තියෙන ඡායාරූප සියල්ල එකතු කරලා ප්‍රදර්ශනයක් තියන්න බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. ඒ වගේම මේ ජායාරූප එකතුවක් ලෙස පොතක් හදන්නත් අදහසක් තියෙනවා. ඇත්තටම මම මේ දේවල් කරන්නෙ විනෝදාංශයක් විදියට. අපේ මේ වෛද්‍ය වෘත්තියේ හැටියට නිතරම ඉන්න වෙන්නෙ රෝගීන් එක්ක. ඒ අයගෙ දුක් වේදනා, කෙඳිරිලි හඬවල් තමයි නිතරම ඇහෙන්නට දකින්නට ලැබෙන්නෙ. ඔවුන් සුවපත් කරනවා වගේම ඔවුන්ගෙන් අපට ඇහෙන දුක් වේදනා සමනය කර ගන්න, ඒ ලැබෙන මානසික ආතතිය අඩු කර ගන්න මේ වගේ සොබා දහමත් එක්ක ඉන්න ලැබෙන කොට ලැබෙන සහනය මට නම් ගොඩක් වැදගත් වෙනවා.

ඒ වගේම මම ගන්නා ඡායාරූප මගේ නමින් ඇති Wasiri Rasu Gajaman යන පේස්බුක් පිටුවට ඇතුළත් කරනවා. ඒ තුළිනුත් මට ගොඩක් ලොකු ප්‍රතිචාර හා අගය කිරීම් ලැබෙනවා. ගොඩක් දෙනකුට එය ප්‍රයෝජනවත් වෙච්ච අවස්ථාත් තියෙනවා.”

 

 

 

නව අදහස දක්වන්න