මුන් මිල පහළ යාමෙන් ගොවීහු දුෂ්කරතාවට | දිනමිණ


 

මුන් මිල පහළ යාමෙන් ගොවීහු දුෂ්කරතාවට

වසර කීපයකට පසු වැසි ලැබීම හේතුවෙන් මෙවර යල් කන්නයේ මුන් වගාව සරුවී හොද අස්වැන්නක් ලැබුවද විශාල ලෙස මිල පහළ යාම හේතුවෙන් පොල්පිතිගම ප්‍රදේශයේ මුන් ගොවීහු දැඩි අසීරුතාවයට පත්ව සිටිති. පොල්පිතිගම, මොරගොල්ලාගම ගොවිජන කේන්ද්‍ර බල ප්‍රදේශයට අයත් පොහොරවත්ත, නිපුනාගම, බොරවැව, කුඹුක්කඩවල, කම්බුවටවන, කරුවලගස්වැව, බොරවැව, විලදයාය ආදී ප්‍රදේශවල මෙවර වැඩි වශයෙන් මුන් වගා කර තිබේ.

මේ වන විට මුන් කිලෝවක මිල රුපියල් 40 - 50 තරම් පහළ වැටී ඇති බව පෙන්වා දෙන ගොවීහු එම මිලට අස්වැන්න අලෙවි කිරීමෙන් වගාව සදහා යෙදවූ වියදම හෝ ආවරණය කරගත නොහැකි බව කියා සිටිති.

මේ අතර නිකවැරටිය රජයේ බීජ නිෂ්පාදන මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී මුන් වගා කර ඇති ගොවීන් පිරිසක් එම ආයතනයට බීජ මුන් ලෙස තම නිෂ්පාදන කිලෝව රුපියල් 310 බැගින් වූ සාධාරණ මිලක් යටතේ අලෙවි කර ඇති නමුත් එසේ ලියාපදිංචි වී නොමැති ගොවීන් විශාල ප්‍රමාණයකට එම අවස්ථාව හිමිවී නැත. එසේම එම ආයතනයේ ලියාපදිංචි වී සිටින ඇතැම් ගොවීන්ගේ මුන් අස්වැන්නෙන් කොටසක්ද එහි ප්‍රමිතීන්ට අනුව සුදුසු නොවන නිසා එම ආයතනය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම අස්වැන්නද බාහිර වෙළෙදුන් වෙත අඩු මිලට අලෙවි කිරීමට සිදුව ඇති බව ඔවුහු පවසති.

මෙම තත්ත්වය පිළිබද අදහස් දක්වන මොරගොල්ලාගම, නිපුනාගම ආර්.එම්.නිලුකා කුමාරි රත්නායක මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. මම මේ කන්නෙ අක්කර දෙකක මුන් වගා කළා. හොද අස්වැන්නක් ලැබුනා. මමත් නිකවැරටියේ බීජ මධ්‍යස්ථානයේ ලියාපදංචි වෙලා ඉන්න නිසා කිලෝ 610 ක් ඒ ආයතනයට දුන්න. ඊට වඩා ඒ අය ගත්තෙ නෑ. තවත් මුන් කිලෝ 900 ක් මම ළග තියෙනව විකුණන්න බැරුව.කිලෝව රුපියල් 40 - 50 ට තමයි වෙළෙන්දෝ ඉල්ලන්නෙ.

මම දඹුල්ල, ගලේවෙල, කැකිරාව, නිකවැරටිය, ඉබ්බාගමුව වගේම ගම්පහටත් සාම්පල් අරන් ගියා. නමුත් ඒ හැම තැනකම වෙළෙන්දෝ ඉල්ලන්නෙ කිලෝව රුපියල් 40 - 50 ට. මේව ලංකා මුන් මේව තියාගන්න බෑ. කියල අපේ නිෂ්පාදන බාල්දු ක‍රනවා. මම මේ වගාව කළේ මගේ මෝටර් සයිකලයයි වතුර මෝටරයයි උගස් කරල. අපි කෘෂි රසායන යොදන්නෙ නැතිව මේ වගාව කළේ. නමුත් අපේ ඒවාට ඉල්ලුමක් නෑ.හැම කඩේකම පිටරටින් ගෙනාව මුන්. මේව ඉතින් කාට කියන්නද?

 පොල්පිතිගම සමුහ

 

 

නව අදහස දක්වන්න