එක්සත් ජාතික පක්ෂය 72 වන සංවත්සරය | දිනමිණ

එක්සත් ජාතික පක්ෂය 72 වන සංවත්සරය

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ශක්තිමත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදුන් කාලයේ දී සංවාදයට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1946 සැප්තැම්බර් මස 06 වන දින එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීම සඳහා ඩී.එස්.සේනානායක නායකත්වය ලබාදුනි.

සියලු ජාතීන් එක්සත් කිරීමේ අභිලාෂය මත ගොඩනැගුණු දේශපාලන පක්ෂය අර්ථගැන්වෙන ආකාරයෙන් එය එක්සත් ජාතික පක්ෂය යනුවෙන් හැඳින්වීමට අවධානය යොමුවිය. මෙම පසුබිම තුළ එජාපය ගොඩනැගීම සඳහා එවක පැවති දේශපාලන කණ්ඩායම් වූ ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව, මුස්ලිම් සංගමය ඇතුළු දෙමළ මුස්ලිම් නායකයින් ෆාම්කෝට් මන්දිරයට කැඳවීමට ඩී.එස්. සේනානායක මහතා විසින් කටයුතු කරන ලදී.

කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් මාවතේ ෆාම්කෝට් මන්දිරයට රැස්වූ සාමාජිකයින් 205ක පමණ සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ආරම්භ කිරීමට නායකත්වය ලබාදුන්හ. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය ශක්තිමත් කොට ඉදිරියට ගෙනයාමේ දී එක්සත් ජාතික පක්ෂය නව ජවයක් ලබාදීමට සමත්විය.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී කැඳවුම්කරු ලෙස කටයුතු කළේ ජේ.එල්.කොතලාවල මහතාය. ප්‍රථම නිලධාරී මණ්ඩලය තෝරාගැනීමේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සභාපතිවරයා ලෙස ද උපසභාපතිවරු ලෙස ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ටී.බී. ජයා මහතා ද පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පුතා වූ අරුණාචලම් මහාදේව මහතා ද පොන්නම්බලම් රාමනාදන්ගේ බෑනා වූ එස්. නඩේසන් මහතා ද ජෝන් කොතලාවල මහතා සහ ජෝර්ජ් ආර්. සිල්වමා මහතා ද මෙම තනතුරට තේරීපත් විය. මහලේකම්වරයා වූයේ එච්.එම්. අමරසූරිය මහතාය. ජේ.ආර්.ජයවර්ධන සහ ඒ.ආර්.ඒ. රෂීක් මහතා සම භාණ්ඩාගාරිකවරු ලෙස තේරීපත් වීම මඟින් ජාතික සංහිඳියාව සහ ආගමික සහජීවනය සඳහා මූලික අඩිතාලම සකස් කරන ලදී.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේ දී “අපි ලාංකික ජාතියක් වශයෙන් පැවැත්මේ අවබෝධය ඇතිකරගත යුතුය.ජාති ආගම් භේද අනවශ්‍ය යි. සිංහල, ද්‍රවිඩ, යෝනක, මැලේ හෝ බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුවද අප සිතිය යුත්තේ මෙය අප ජනිත වූ භූමිය කියාය. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි භක්තිකයන් වුවද අ ප සියලුම දෙනා පැවසිය යුත්තේ අපේ භූමියට ආශිර්වාද වේවා.” යනුවෙන් ඩී.එස්. සේනානායක ප්‍රකාශ කරන ලදී.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කළේය. එම මැතිවරණය ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීමට ඩී.එස්. සේනානායක මහතා නායකත්වය ලබාදුන්නේය. ප්‍රථම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් විසින් ජාතික සංහිඳියාව මුදුන් පමුණුවා ගැනීම සඳහා පුරවැසි පනත හඳුන්වා දීමෙන් මෙරට ආර්ථිකයේ ශ්‍රම බළකායෙන් විශේෂ තීරුවක් නියෝජනය කළ වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් පුරවැසි බව ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය මුල්බැස තිබූ සමාජ හා සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ එජාප නායකයින් නව සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ මුල් පියවර ලෙස 1948 දී ශ්‍රී ලංකාවට නිදහස අත්පත් කර දුන්නේය.

ඩී.එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කටයුතු කරන සමයේ දී සිට කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කර තිබිණි. මේ සඳහා බුද්ධිමය දායකත්වය ලබාදෙනු ලැබුවේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයා වූ සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ මහතාය. මෙම කෘෂි සංවර්ධන ක්‍රියාවලිය මඟින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනපද රාශියක් ආරම්භ කරනු ලැබීය. 1950 දශකය වනවිට එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපය තුළ ඉතා සාර්ථක අන්දමින් මුල්බැස ගැනීමට සමත්විය. මෙමගින් ශ්‍රී ලංකා සමාජය ඈත අතීතයේ සිට පවත්වාගෙන පැමිණි කෘෂිකාර්මික සමාජ - සංස්කෘතික පරිසරය ආරක්ෂා කොට ඉදිරියට ගෙනයාමට පදනම සකස් කෙරිණි. මෙවැනි සමාජ - ආර්ථික හා සංස්කෘතික ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හේතුවූයේ රටේ අභිවෘද්ධිය ගොඩනැගීමට සියලු ජාතීන්ගේ සමගිය තහවුරුකොට එකිනෙකාට ගරු කිරීමේ උතුම් ගතිපැවතුම් සමාජගත කිරීමේ දර්ශනය එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනගිය නිසාය.

ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති නැති පරතරය තුනී කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට නිදහස් අධ්‍යාපනය මෙරට ක්‍රියාත්මක කළයුතුය යන සටන මල්ඵල ගැන්වීම සඳහා මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ආණ්ඩුව විශේෂ දායකත්වයක් සපයනු ලැබීය. මේ නිසා ගම්බද දුගී දුප්පත් ජනතාවගේ දූ දරුවන්ට අධ්‍යාපන වරප්‍රසාදය අත්පත් කරගෙන සමාජයේ ඉහළට යාමේ අවස්ථාව උදාවිය.

1952 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පසු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. ගෞරවාන්විත දේශපාලනයක නිරත වූ එතුමා ජනසම්මතවාදයට හිස නැමූ නායකයෙකු ලෙස ජනතා පැසසුමට ලක් වී සිටියේය. 1952 මහ මැතිවරණයේ දී එස්. ජේ. වී. චෙල්වනායගම් එජාප අපේක්ෂකයාට පරාජය වුවද ජාතික සහජීවනය ගොඩනැගීම සඳහා එජාපය ආරම්භ කළ ප්‍රතිපත්ති සමුදාය ඉදිරියට ගෙනයාමට එතුමා කටයුතු කළේය. ඒ අනුව දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමේ දී එකම රටක් තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ලෙස දැක්මක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව එතුමා විසින් පෙන්වාදෙන ලදී.

ජී.ජී. පොන්නම්බලම් මහතා 50ට 50 අනුව යමින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මතුකළ විවාදවල දී ඩඩ්ලි සේනානායක මහතා පවසා සිටියේ සියලු ජාතීන් එකමුතු කිරීමේ ක්‍රමයක් සකසා ඒ අනුව කටයුතු කරනවා වෙනුවට මෙවැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීම ජාතික සහජීවනයට බලපෑම් ඇතිකිරීමට හේතුවන බවයි. සියලු ජාතීන්ගේ එකමුතුකම සහ ජාතික එක්සත්කම පිළිබඳ එක්සත් ජාතිකපක්ෂයේ දර්ශණය ඉදිරියට ගෙනයමින් ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම අනුව රට සභා ක්‍රමය හඳුන්වාදීමට පියවර ගනු ලැබීය. මේ නිසා රටේ විවිධ සංස්කෘතීන් එකම ධජයක් යටතේ ජීවත්වීමෙ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. එජාප රජය ඩඩ්ලි සේනානායක විසින් චීන - ලංකා රබර් සහල් ගිවිසුමට එළඹීම මගින් විශේෂ ප්‍රවේශයකට ශ්‍රී ලංකාව යොමුකරන ලදී. මේ නිසා රබර් නිෂ්පාදනය සඳහා ලෝක වෙළඳපොළ තුළ සැලකියයුතු ස්ථානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තව ද, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, රුමේනියාව වැනි කොමියුනිස්ට්වාදී රටවල් සමඟ ද්වීපාර්ශවික සබඳතා ඇතිකර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළේය.

1965 එජාප ආණ්ඩුව මෙරට ආර්ථිකයේ නව ක්ෂේත්‍රයන් හඳුනාගැනීමේ දී සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකය සමඟ බද්ධකර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වැදගත් ය. ඒ අනුව 1966 දී සංචාරක කර්මාන්තය රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකා හෝටල් සංස්ථාව පිහිටුවීම දැවැන්ත ආයෝජනයන් ලෙස සැලකිය හැකිය. මෙමගින් රටේ සංස්කෘතිය හා සදාචාරාත්මක අංග ආරක්ෂා කරගනිමින් ආර්ථිකය දියුණු කරන ආකාරය පෙන්වාදුන් නිසා තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබුණි.

ඩඩ්ලි සේනානායකගේ හදිසි ඉවත්වීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ සර් ජෝන් කොතලාවල මහතාය. එජාප දර්ශණය ඉදිරියට ගෙනයමින් ඩී.එස්. සහ ඩඩ්ලි ආරම්භ කළ වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාර සංවර්ධන සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙනයමින් ගොවි ජනතාව සමෘද්ධිමත් මට්ටමට ගෙනඒමට එතුමාණන් සිය නායකත්වය ලබාදුන්නේය. තව ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ රටට නායකත්වය දුන් සර් ජෝන් කොතලාවල විසින් ලෝකයේ වෙනත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබීය.

මේ අනුව 1947, 1960 මාර්තු සහ 1965 යන වර්ෂවල පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කොට මෙරට සමාජ ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් ඇතිකිරීමට පියවර ගනු ලැබීය.

එජාපයේ දේශපාලන දර්ශනය තවදුරටත් ශක්තිමත් කොට යෝධ විප්ලවයක් ඇතිකිරීමට නායකත්වය ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. 1977 වර්ෂයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ දී හයෙන් පහකබලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට ජේ.ආර්. ජයවර්ධන මහතා සමත්විය. එහි දී පාර්ලිමේන්තු ආසන 168න් 140ක් ජයග්‍රහණය කිරීමට එජාපය සමත්විය. එය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයක දී ලැබූ ඉහළම ජයග්‍රහණය විය. මෙම ජයග්‍රහණය අත්පත් කරගන්නාවිට ජේ. ආර්. ජයවර්ධන මහතා සැත්තෑ එක්වන වියෙහි පමණ පසුවිය.

නිදහසින් පසු ප්‍රථම වතාවට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය බවට පත්වීම මගින් ජාතීන් අතර සමගිය ගොඩනැගීම සඳහා ඉතා හොඳ ප්‍රවේශයක් ලබාදෙන ලදී. ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමග සමීප සබඳතා ඇතිකොට එවක පැවති ලෝක සමාජයේ දියුණුව ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළේය. එහි දී නව ආර්ථික දර්ශණයක් ලෙස විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වාදීමෙන් ආර්ථික ක්ෂේත්‍රයේ මහා පෙරළියක් ඇතිකිරීමට එතුමා සමත්විය.

නවීන ලෝකයට ගැලපෙන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම මඟින් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වාදෙන ලදී. විශේෂයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් තවදුරටත් වර්ධනය කිරීම, ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීම සහ එතෙක් හේතු රහිතව සිරගතව සිටි පිරිස නිදහස් කිරීම සඳහා මහජන ආරක්ෂක පනත හඳුන්වාදීම කැපීපෙනේ.

සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට රාජ්‍ය සුභසාධනය ශක්තිමත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රම මාදිලිය පුළුල් කිරීම හරහා මහජනතාවට වැඩි සහනයක් ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය. එම ආර්ථික මාදිලිය වූ කලී දකුණු ආසියාවේ නායකයෙකු විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම ආර්ථික හැරවුම් ලක්ෂයක් ලෙස දැක්විය හැකිය. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුකළහැකි බලපෑම ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව හඳුනාගෙන තිබිණි. එමගින් වාණිජ ව්‍යාපාර කටයුතු පියවර කිහිපයකින් සංවර්ධනය වීමට අඩිතාලම වැටිණි. විශේෂයෙන් පෞද්ගලික ව්‍යවසායකයින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කිරීම මගින් රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම දැක්විය හැකිය.

විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් සමඟ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශවික ආර්ථික ගිවිසුම් ඇතිකර ගැනීමට එජාපය සමත්විය. රැකිරක්ෂා උත්පාදනය කිරීම මගින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප සංකල්පය හැත්තෑ හතේ විප්ලවය මගින් එජාපය හඳුන්වාදෙන ලදී. මෙම තත්ත්වය තුළ බියගම, කොග්ගල, හා කටුනායක යන ප්‍රදේශ යාකරමින් පිහිටුවනු ලැබූ නිදහස් වෙළඳ කලාප මගින් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්හට ආර්ථික ක්ෂේත්‍රය තුළ නව දැක්මකින් යුතුව කටයුතු කිරීමේ අවස්ථාව එජාපය උදාකරන ලදී.

ඩී.එස්. ගේ ගොවි ජනපද ව්‍යාපාරය ජේ.ආර්. ගේ පාලනය තුළදී මහවැලි ව්‍යාපාරයට පරිවර්තනය කොට යෝධ කෘෂි විප්ලවයක් ඇතිකළ යුගය විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පොළොන්නරුව ශිෂ්ටාචාරයෙන් පසු ඇතිකරනු ලැබූ දැවැන්තම වාරිමාර්ග සහ ඉංජිනේරු ශිල්පය පදනම් කරගත් ජලය රැස්කිරීමේ ක්‍රමෝපාය විය. අවුරුදු 30 කින් නිමකිරීමට සැලසුම්කර තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෙටිකලකින් නිමාකොට කෘෂිකර්මාන්තය, විදුලිබලය, පානීය ජල අවශ්‍යතා, මහාමාර්ග,නව නගර ඇතිකිරීම ඇතුළු සමාජ - ආර්ථික සුභසිද්ධිය සඳහා ධනාත්මක ආකාරයේ සංවර්ධන කාර්යභාරයන් රැසක් ඇතිකිරීම මගින් විප්ලවයක් ඇතිකිරීමට එජාපය සමත්විය. මෙය වූ කලී කෘෂිකර්මාන්තය පදනම් කරගත් පෙර රජදරුවන් ගත් ක්‍රියාමාර්ග කෙරෙහි සැලකිලිමත් වෙමින් නව තාක්ෂණය බද්ධ කිරීමට එජාපය ගනු ලැබූ වැදගත් පියවරකි.

අතීත රජදරුවන් මෙරට නාවුක වරායයන් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා රට යොමුකළ අයුරින්ම එජාප ආණ්ඩුව ජාත්‍යන්තර වෙළඳාම සඳහා මෙරට ගුවන් සහ නාවික ශක්තිය ව්‍යාප්ත කිරීමේ සැලසුම් සම්පාදනය කරන ලදී. මේ හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකිරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබුණි.

ථෙරවාදී බුදුදහම ආරක්ෂා කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සහ ශාසනයේ උන්නතිය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය ඇතිකිරීම ආදී පියවර රැසක් එජාප රජය මගින් ගන්නා ලදී. සංස්කෘතික උරුමය පදනම් කරගත් පුරාවිද්‍යා ස්ථාන ඇසුරින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම උදෙසා සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම සඳහා එජාපය කටයුතු කිරී‍ෙමන් රටේ සංස්කෘතිය හා ජාතික උරුමය ආරක්ෂා කිරීමට පියවර තබන ලදී. මෙම යෝධ සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීමේ දී එජාපයේ දර්ශනය වූ ජාතික සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා ද විශේෂ අවධානය යොමුකරන ලදී.

 වතුකරයේ දෙමළ ජනතාවගේපුරවැසිභාවය ලබාදීමට කටයුතු කිරීම මගින් එම ජනතාව සඳහා ශ්‍රී ලංකාව තමන්ගේ රට යන හැඟීම ලබාදීම සඳහා කටයුතු කිරීමට අවධානය යොමුකිරීම ජාතික සංහිඳියාව ඇතිකිරීමේ ක්‍රියාවලිය තුළ එජාපය සිදුකළ වැදගත් කාර්යභාරයකි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ස්ථාවර කරමින් ග්‍රාමීය පළාත්වල ආර්ථික ශක්තිය දුර්වල වූ දුප්පත් දෙමව්පියන්ගේ දූ දරුවන්හට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය හඳුන්වාදීම නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත්කිරීමට හේතුවිය. විශේෂයෙන් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළුව පළාත් මට්ටමින් නව විශ්වවිද්‍යාලයන් ආරම්භ කිරීම සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා එජාප දර්ශනය මෙහෙයවූ නිසා ගම්බද දුප්පත් දෙමව්පියන්ගේ දූදරුවන් වැඩි ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් හිමිවිය.

තරුණ කටයුතු අමාත්‍යාංශය ස්ථාපනය කිරීම සහ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීම මගින් තරුණ තරුණියන්ගේ නිපුණතා සහ දැනුම වර්ධනය කරගැනීම සඳහා පදනම සකස් කරන ලදී. තව ද, තොරතුරු තාක්ෂණය ආරම්භ කිරීම ශ්‍රී ලංකාව නව හැරවුම් ලක්ෂයකට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී කාන්තා ශ්‍රමය සඳහා ඉහළ සමාජ වටිනාකමක් ලබාදීමේ අරමුනින් මෙන්ම නැතිබැරි පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මැදපෙරදිග ගෘහ සේවාව ඇතිකිරීම එජාපය දුරදිග කල්පනා කරමින් සැලසුම් කළ යෝධ ආර්ථික සංවර්ධන කටයුත්තක් ලෙස සැලකිය හැක.

ඉන්දීය භූ දේශපාලනය සමග රාජ්‍ය තාන්ත්‍රික අයුරින් කටයුතු කිරීම කෙරෙහි එජාපය විශේෂ අවධානය යොමුකර තිබේ. 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වාදීමෙන් ඇතිකළ පළාත් සභා ක්‍රමය ඔස්සේ එක්සත් ජාතිකපක්ෂය විසින් ජාතීන්ගේ එක්සත්කම ආරක්ෂා කිරීමට තිබෙන උනන්දුව ප්‍රායෝගිකව පෙන්නුම් කර තිබේ. එය වූ කලී ශ්‍රී ලංකා සමාජය සකස්වීමේ ක්‍රියාවලිය පිළිබඳ තම දැක්ම ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංහිඳියාව වැදගත්බව නැවත වතාවක් ප්‍රකාශ කිරීමකි.

නූතන ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ආකෘතිය ඇතිකිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළේ එක්සත් ජාතික පක්ෂය බව සැලකිය හැකිය. තරුණ දේශපාලනඥයින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යොදාගැනීමටත්, රටෙහි අනාගත සැලසුම් සම්පාදනය කිරීම සඳහා තරුණ, උගත්, බුද්ධිමත් දේශපාලන පරම්පරා කිහිපයක් ගොඩනගා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනයාමේ අවස්ථාව උදාකරන ලදී. මෙම කාර්යයන් ඉටුකිරීමේ දී එජාපය අවධානයට යොමුකළ ප්‍රධාන කරුණක් වූයේ තරුණ දේශපාලනඥයින් සඳහා විශේෂ වගකීම් පවරාදීමය.

1989 පාර්ලිමේන්තු මහ මැතිවරණය මගින් එජාපය නැවතත් ආණ්ඩු බලය ලබාගත්තේය. 1988 ජනාධිපති මැතිවරණය මගින් ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සංවර්ධන ලෝකයෙහි ඉදිරියට ගෙනයාම සඳහා විශාලවැඩකොටසක් සැලසුම් කිරීමට අවධානය යොමුකරන ලදී. එතුමන් විසින් ආරම්භ කළ ජනසවිය වැඩසටහන දුගීදුප්පත් ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නයට ලබාදුන් වැදගත් විසඳුමක් ලෙස සැලකිය හැකිය. ගම්උදාව වැඩසටහන ආරම්භ කිරීම මගින් ද නිවසක් ඉදිකර ගැනීමට පවා වත්පොහොසත්කමක් නැති අසරණ ජනතාවට මහා අස්වැසිල්ලක්විය. තව ද, ග්‍රාමීය පළාත්වල ජීවත්වන තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වය ලබාගනිමින් ඔවුන්ගේ නිපුණතා දියුණු කරලීමට ආරම්භ කළ ඇඟලුම් කම්හල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ගම්බද පළාත්වල නැතිබැරි තරුණ තරුණියන්ගේඅතමිට සරුකරන සමාජ - සංස්කෘතික පරිසරයක් බිහිකිරීමට සමත්විය.

මෙතුමාගේ හදිසි අභාවයෙන් පසු ජනාධිපතිවරයා ලෙස සහ එජාපයේ නායකයා ලෙස පත්වූයේ ඩී.බී. විජේතුංග මහතාය. පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙනයමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඔහු විශේෂ අවධානය යොමුකළේය.

1994 දී එජාප නායකයා ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ජාතික සංහිඳියාව වෙනුවන් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සමාජගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසැලෙන ප්‍රතිපත්ති සමුදාය - කැපීපෙනෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2001 වර්ෂයේ එජාපය ආණ්ඩු බලය දිනාගනු ලැබීය. ශ්‍රී ලාංකික අනන්‍යතාව, ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය ගොඩනැගීම, නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරගනිමින් දුගීදුප්පත් ජනතාවට ඒවා භුක්ති විඳීමට තිබෙන නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කොට එක්සත් ජාතිකපක්ෂය මෙහෙයවීම මගින් රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකරනු ලැබීය.

එහෙත් විධායක ජනාධිපති ධුරයේ වෙනත් පක්ෂයක නායකයෙකු කටයුතු කිරීම නිසා එජාප ආණ්ඩුව 2004 වර්ෂයේ දී විසුරුවා හැරීමට කටයුතු කෙරිණි. එතැන් පටන් එජාපයට ආණ්ඩු බලය ලබාගැනීමට නොහැකි වූ අතර විවිධ අභ්‍යන්තර ගැටුම්වලටද මුහුණ දීමට සිදුවිය. මේ නිසා එජාපයේ මන්ත්‍රීධුර දැරූ බොහෝ පිරිසක් පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ එජනිස වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹිණි. එහෙත් එජාපය ඉදිරියට ගෙනයාමේ අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාක්ෂිකයන් එක්සත් කරමින් සෑම ගමකම සාමාජිකයන් තිස්දෙදෙනකුගේ කමිටු පිහිටුවමින් ගම් මට්ටමින් ගෙයින් ගෙට යෑමේ පුළුල් සංවිධාන ජාලයක් ගොඩනගා ජයග්‍රාහී අඩිතාලම දමනු ලැබීය.

1947 එජාපය පිහිටුවීමේ දී ජාතික සංහිඳියාව සහ ආගමික සහජීවනය සඳහා ප්‍රමුඛ අවධානය යොමුකළ ද එය සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වීම නිසා රට ආර්ථික හා සමාජීය වශයෙන් ප්‍රබල පසුබෑමකට ලක්වී තිබිණි. එබැවින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා එජාපය සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ශ්‍රීලනිප, දෙජාස ඇතුළු පක්ෂ ගණනාවක් සමඟ පුළුල් පෙරමුණකට ඇතුළත් විය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම අපේක්ෂක ධුරය කැපකරමින් පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාපයේ සහය දැක්වීම එජාප දේශපාලන ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. එම වර්ෂයේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් 106 ක් වූ වැඩිම මන්ත්‍රී ආසන ගණන දිනාගැනීමට සමත් වූ අතර එහි දී සම්මුතිවාදී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව 1947 ප්‍රථම මහ මැතිවරණය පරිදි 2015 දී එජාප - ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව ‍ ගොඩනැගීමට නායකත්වය දුන්හ.

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ශක්තිමත් කිරීම සඳහා එජාපය ප්‍රධාන සම්මුතිවාදී ආණ්ඩුව පසුගිය වසර තුන තුළ සාධනීය පියවරක් තබා ඇත. ලෝකයේ බොහෝ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග මිත්‍ර සබඳතා ගොඩනගා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ තලයකට ගෙනඒමට සමත්විය. එමෙන්ම ඇඟලුම් කර්මාන්තය සහ මත්ස්‍ය නිෂ්පාදන සඳහා වූ ජී.එස්. පී + සහනය ලබාගැනීමටද සමත්ව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළ සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුළ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය බවට පත්කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කෙරෙහි සම්මුතිවාදී ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. එහි දී වීනය හා ඉන්දියාව ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර රටවල් සමඟ සමබර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම මගින් විදේශ ප්‍රතිපත්තියට ප්‍රමුඛ අවධානය දීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදී තිබේ.

මෙම ආර්ථික වර්ධන ක්‍රියාවලිය මඟින් රැකියා දසලක්ෂයක් උත්පාදනය කිරිම සඳහා එජාපයේ ප්‍රමුඛ අවධානය යොමුවී ඇත. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධින කොමිෂන් සභා පිහිටුවීම,දූෂණ හා මූල්‍ය වංචා පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, තොරතුරු පනත නීතිගත කිරීම, විගණන පනත ඇතුළු සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි එජාපය ප්‍රධාන සම්මුතිවාදී ආණ්ඩුව කටයුතු කරනු ඇත. රටේ ඇති වී තිබෙන බොහෝ මූලික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් වූ මූලික කටයුතු නිමාකිරීම සඳහා එජාපය නායකත්වය ලබා දී තිබේ.

පුරවැසි අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය නිදහස තහවුරු කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා කටයුතු කිරීම සම්මුතිවාදී ආණ්ඩුව මඟින් එජාපය දියත් කළ ප්‍රධාන කාර්යයන් අතර වේ.

පටු දේශපාලන වාදභේද අමතක කොට රට පෙරට තබා සංවර්ධනය කිරීමේ පරම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් එජාපය ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අඩිතාලම දමන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුනින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ක්‍රමය මගින් දේශීය ව්‍යාපාරික පන්තියක් ගොඩනැගීම, ගම්පෙරලිය වැඩසටහන මගින් ගම සංවර්ධන කිරීම, සුවසැරිය ගිලන්රථ ‍ෙස්වාව ආරම්භ කිරීම, ඖෂධ වර්ග 50කට අධික සංඛ්‍යාවක මිල අඩුකිරීම, ළඟම පාසල හොඳම පාසල බවට පරිවර්තනය කිරීම, ශිල්ප සවිය ජාතික වැඩසටහන මඟින් තාක්ෂණයෙන් සපිරුණු තරුණ පරපුරක් ගොඩනැගීම, උදාගම් සංකල්පය ක්‍රියාත්මක කිරීම ආදී වැඩසටහන් මගින් රට දියුණු කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇත.

සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා රට තුළ පුළුල් සමාජ කතිකාවතක් ගොඩනගන ලදී. සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය දරමින් එක්සත් ජාතික පක්ෂය රටේ සියලුම දේශපාලන පක්ෂවලට පාලන බලය සඳහා හවුල් වීමට ආරාධනා කර ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් හරහා මහජනතාවට වැඩි සේවාවක් ලබාදීමේ අරමුණින් කටයුතු කිරීමටය.

ශ්‍රී ලංකා ජනසමාජය තුළ ජීවත්වන විවිධ ජාතීන්ගේ එකමුතුකම ර‍ටේ ස්ථාවරභාවයට හා සංවර්ධන කාර්යයට අත්‍යවශ්‍ය කරුණක් ලෙස එක්සත් ජාතික පක්ෂය තම දේශපාලන ඉතිහාසය තුළ ප්‍රතිපත්තියක් ලෙස රට හමුවේ ඉදිරිපත් කර තිබේ.

චීනය, ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු ලෝකයේ වෙනත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹෙමින් සමාජ සුබසාධන වෙළෙඳපොළ ආර්ථිකයක් මගින් සියලුම ජනයාට ප්‍රතිලාභ හිමිවන සංවර්ධිත, ණයබරින් තොර රටක් ගොඩනැගීම එජාපයේ පරම අභිලාෂය වේ.

 

 

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන


නව අදහස දක්වන්න

Or log in with...