ප්‍රථම අක්මා බද්ධ සැත්කම කළ සරත් සමරකෝන් බලන්න සුව ඇමැති යයි | දිනමිණ


 

ප්‍රථම අක්මා බද්ධ සැත්කම කළ සරත් සමරකෝන් බලන්න සුව ඇමැති යයි

මහනුවර මහ රෝහලේදි සිදු කළ ප්‍රථම අක්මා බද්ධ සැත්කමට භාජනය වූ කටුගස්තොට සරත් සමරකෝන් මහතාගේ සුවදුක් විමසීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා එක්විය.

එම සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය පී.කේ හරිස්චන්ද්‍ර මහතා සමඟ ද සාකච්ඡා කළ සෞඛ්‍ය ඇමැතිවරයා මහනුවර මහ රෝහලේ ඉදිරියේදි සිදු කිරීමට නියමිත අක්මා බද්ධ සැත්කම් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පොරොන්දු විය.

අක්මා බද්ධ සැත්කම් රටපුරා රෝහල්වල ආරම්භ කිරීම පිළිබඳව සැත්කමට භාජනය වූ සරත් සමරකෝන් මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට ස්තුතිය පුද කළේය.

කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල තුළ ද මේ වන විට අක්මා බද්ධ සැත්කම් 40 ක් පමණ සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙරට ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදු කරනු ලැබුවේ ද මහනුවර මහ රෝහලේදීය. එම සැත්කමට භාජනය වූ අනුරාධපුරයේ පදිංචි කාන්තාවගේ ඉල්ලීමකට ද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වූයේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් සැත්කමට භාජනය වූ කාන්තාවගේ නිවසේ වායු සමීකරණ යන්ත්‍රයක් සවි කර ඇතත් එහි විදුලි බිල ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දී තිබේ. ඇයගේ නිවසේ සූර්ය කෝෂ පද්ධතියක් සවි කරන තෙක් නිවසේ විදුලි බිල්පත ගෙවීමට සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පොරොන්දු විය.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

සන්ධ්‍යා කරුණාරත්න

 

නව අදහස දක්වන්න