මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහි නීතියට මරණ දඬුවමත් එක්විය යුතුයි | දිනමිණ


 

මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහි නීතියට මරණ දඬුවමත් එක්විය යුතුයි

රාජ්‍ය ආයතන 101ක් සඳහා සම්මාන පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගී වෙමින් ජනපති කියයි

මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක කරන නීතියට මරණ දඬුවම ඇතුළත් කළ යුතු බව ජනාධිපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

තම ධූර කාලය තුළ මෙම නීතිය සම්මත කර ගැනීමට හැකි වූවහොත් එක්අයකු හෝ දෙදෙනකු වෙනුවෙන් මරණ දඬුවම ලබාදීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

සමූහ ස්ත්‍රී දූෂණය, මත්ද්‍රව්‍යවලට අදාළ වැරදි මෙන්ම ආදි වැරදිවලට අදාළව මරණ දඬුවමට අදාළ නීති ප්‍රතිපාදන ඇතත් මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වැරදිකරුවන් කිසිඳු බියකින් තොරව වැරදි ක්‍රියාවන් හි නිරත වන බවත් මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිතයට එරෙහිව ද නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කෙළේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනයට ලක්කරන ලද රාජ්‍ය ආයතන 837 අතුරින් විශිෂ්ට මට්ටම හිමිකර ගත් රාජ්‍ය ආයතන 101 ක් සඳහා සම්මාන පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ‍.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා-

පාර්ලිමේන්තුව මඟින් සිදු කෙරෙන කටයුතු අතර පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ හා පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු විශේෂ වෙනවා. එහි සභාපතිවරයා හා සාමාජික පිරිස සිය ධූර කාලයේ දී තමාගේ වගකීම සහ යුතුකම් නිසි ලෙස ඉටුකරනවා නම් ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවයේ විගණන කටයුතුවල දී ඉතාම පිරිසිදු බවත් කාර්යක්ෂම බවත් ඇති වෙනවා. එමඟින් රටේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලැබෙනවා. ඒ අනුව ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිතුමාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව අලුත් මගක් අරගෙන තිබෙනවා. මේ රටේ රාජ්‍ය සේවයේ පොදු ව්‍යාපාර කටයුතුවල පිබිදීමක් ඇති කිරීමට එය සමත් වී තිබෙනවා.එම කටයුතු දූෂණයෙන් අක්‍රමිකතාවෙන් තොරව බොහෝ වෙලාවට ඇතැම් අයගේ අපහාසයට උපහාසයට ලක් වී තිබෙන යහපාලන සංකල්පය යථාර්ථවාදි සැබෑ අරමුණින් කටයුතු කරන දේශපාලන සංකල්පයක් වශයෙන් හදුන්වා‍ දීමට මෙම කමිටුව සමත් වී තිබෙනවා.

මෙම ගිණුම් කාරක සභාවන් නිසි පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් කතානායකතුමාගේ නායකත්වය ලබා දීමත් අගය කරනවා. අපේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14කට වැඩි සංඛ්‍යාවත් සිටිනවා. ඒ වගේම ලක්ෂ විසි දෙකකට අධික පිරිසක් අනෙකුත් පෞද්ගලික අංශය නියෝජනය කරනවා. මේ සියල්ල මේ රටේ සංවර්ධනයේ ප්‍රධාන කොටස් කරුවන්‍ ලෙස වගකීම් දරන පිරිසයි.

ඒ අංශවල තිබෙන විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, විධිමත්භාවය ඉතාමත් වැදගත්. පසුගිය දශක කීපය ගත් විට සෑම ආණ්ඩුවක් ම මේ බලාපොරොත්තු වූ යහපත් අරමුණ ඉටු කර ගැනීමට පියවර රාශියක් ගෙන තිබෙනවා. ඇතැම් ඒවා සාර්ථක වුණා. ඇතැම් ඒවා ආසාර්ථක වුණා.අලුත් නීති සම්මත කළා. අලුත් ආයතන ආරම්භ කළා.

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තා පදනම් කරගෙන මෙම ලබා දෙන සම්මාන ප්‍රදානය ඉතාම වැදගත් වෙනවා.බොහෝ වෙලාවට සම්මාන දෙන්නේ හොඳම අයටයි. සම්මන නොලැබෙන අයත් හඳුනා ගැනීමක් තිබිය යුතුයි. ඒ වගේම ගොඩක් වෙලාවට සම්මාන දෙන්නේ හොදම අයට ‍.අන්තිමයා වූයේ කුමන හේතුවක් නිසාද යන්න හදුනා ගැනිමට ඒ අයටත් සහතිකයක් හෝ ලබාදිය යුතුයි.

යහපාලන සංකල්පය තුළ කටයුතු කරමින් අපි මේ රටේ රාජ්‍ය සේවයේ දූෂණ වංචා අක්‍රමිකතා නැති කිරීම සඳහා අලුත් පියවර රාශියක් ගත්තා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, කොමිෂන් සභාව වශයෙන් ශක්තිමත් කළා.මෑත භාගයේ අල්ලස් හෝ දුෂණ පනත සංශෝධන කළා. ජාතික වැදගත්කමින් යුතු කරුණක් ලෙස සළකා අල්ලස් දූෂණ නීති ශක්තිමත් කරන්නට කටයුතු කළා.අපි ලද ජයග්‍රහණයක් වන්නේ විගණන කොමිෂන් සභාව පත් කිරීමයි.වසර හැත්තෑවකට අධික කාලයක් මේ රටේ සිදු වූ දූෂණය වංචාව පිටු දැකීම සඳහා රාජ්‍ය විගණන කොමිෂන් සභාවක් ආරම්භ කළා. එයත් අප ලද ජයග්‍රහණයක්.ඒ වගේම විගණන සේවය පිහිටුවීමත් කඩිනමින් සිදුවිය යුතුයි.අල්ලස් කොමිෂම ස්වාධීන කොමිෂමක් ලෙස ශක්තිමත් කිරීමත්, මෑත දී අවශ්‍ය නීති රීති සංශෝධනය කිරීමත්, විගණන කොමිෂන් සභාවක් පිහිටුවීමත් සිදු කර තිබෙනවා.අල්ලස දූෂණය පිටු දැකීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් අපි ක්‍රියාවට නැංවූවා‍.

මේ වා‍ගේ පින්වන්ත රටක් ලෝකයේ කොහෙවත් නැහැ. මේ පුංචි රට සංවර්ධනය කරන්න අපට තියෙන්නේ පුංචි වැඩ කොටසක්.මේ රටේ මිනිස්සු හරියට වැඩ කරනවා නම් කෙටි කාලයක් තුළ මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.රාජ්‍ය සේවකයින් පැය අට නිවැරදිව වැඩ කරනවනම් නිවැරදි මහජන සේවාවක් ලබා දෙන්න පුළුවන් කියා කතා‍නායකවරයා සඳහන් කළා. කතානායක තුමනි, මම කියනවා පැය අට නොවෙයි පැය හතර නිවැරදි ලෙස වැඩ කරනවානම් නිවැරදි මහජන සේවාවක් ලබාදෙන්න පුළුවන් කියා‍.හැම දෙනාගෙම වගකීම සාමුහිකව ඉටුකරනවා නම් අනෙකුත් රටවල් මෙන් අපටත් ඉදිරියට යන්න පුළුවන්.

ඒ වගේම දේශපාලනයේ උඩ ඉන්න අය සොරකම් කිරීම නැවැත්විය යුතුයි. උඩ සිටින දේශපාලන ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචා නැති කරලා කටයුතු කරනවා නම් රාජ්‍ය සේවයේ පහළ ක්ෂේත්‍රයත් ඉන් බැහැර වෙනවා.

පසුගිය සතියේ මම නේපාලයට ගියා. ඒ රටවල් සමඟ බලන විට අපේ ‍රට කෙතරම් හොඳ ද කියා සිතෙනවා. ඒ වගේම අපේ රට දියුණු කිරීම, සංවර්ධනය කිරීම වෙනුවෙන් කෙතරම් පොඩි වැඩ ප්‍රමාණයක්ද කරන්නට තිබෙන්නේ කියා සිතෙනවා. අපේ රටේ පළාත් සභා මන්ත්‍රිවරු 50-60 එකවර විදෙස් සංචාරවල නිරත වෙනවා. ඇවිදින්න යනවා. අපි එපා කියද්දීත් යනවා. අපේ අවසරය නැතුවත් යනවා. ඒ අය යන්නේ ලොකු ලොකු රටවලට.‍එහෙම යන පළාත් සභා මන්ත්‍රිවරු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් යවන්න ඕන නේපාලය වගේ රටවල් වලටයි. එවිට ඒ අයට තේරෙයි අපේ රට ගොඩ ගන්න ‍අපට තිබෙන්නේ මොන තරම් පොඩි වැඩ ප්‍රමාණයක්ද කියා.

ඒ වාගේම දූෂණයට වංචාවට විරුද්ධව කටයුතු කරන ආයතන ශක්තිමත් කිරීම සිදුවිය යුතුයි. එමෙන්ම එවැනි ආයතනවල පුද්ගලයින් ශක්තිමත් කළ යුතුයි.විගණකාධිපතිවරයාගේ වැටුප් සංශෝධනයට අදාළ යෝජනාව වසර කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙනවා. මම දන්නේ නැහැ ඇයි එහෙම වන්නේ කියා‍. අඩු ගණනේ තමන්ගේ වැටුපවත් හරියට ලැබෙන්නේ නැත්තම් නිලධා‍රින් දුර්වල වෙනවා. ඒ නිසා ඒ අය ශක්තිමත් කළ යුතුයි.ශ්‍රී ලංකන් ගුවන්‍ සේවය පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂමෙන් හෙළිවන කරුණු අනුව මොන තරම් දූෂණ වංචා සිදුව තිබෙනවාද යන්න පැහැදිලි වෙනවා. වැරදි කළ අයට දඩුවම් පැමිණවීම කඩිනමින් සිදුවිය යුතුයි.

පසුගිය කාලයේදි මා පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව පැමිණිලි 32ක් සම්බන්ධයෙන් වාර්තාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වැරදිවලට දඩුවම් පැමිණවීමේ කටයුතු සිදුවන්නේ මන්දගාමිව. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවත් ඉදිරිපත් කළා. ගුවන් සමාගමේ වාර්තාවත් මාස තුනක් ඇතුළත ඉදිරිපත් කරනවා. කොමිෂමක් පත්කළාම ඒ ඔස්සේ නිර්දේශ ඉදිරිපත් කළාම දඩුවම් ලබාදීමත් සිදුවිය යුතුයි. ලබා දී ඇති නිර්දේශ අනුව දඩුවම් ලබාදීම සිදු වෙනවාද කියා ජනතාව බලාගෙන සිටිනවා. මේ දඩුවම් නොලබා කාලයක් යනවිට වගඋත්තරකරුවන් අතුරුදන් වෙනවා. නිලධාරීන් මාරු වෙනවා. පරීක්ෂණ අතරමග නතර වෙනවා. මොන තරම් අපරාධ සිදු වුණත් ඒවාට දඩුවම් ලබාදීම කඩිනමින් සිදුවිය යුතුයි.

දූෂණය නාස්තිය සහ සොරකම ගැන කතා කරන විට, මෙතෙක් පැවැති නීති රීතිවල අඩුපාඩුකම් අපි දකිනවා.අඩුපාඩුකම් නිසා වැරදිකරුවන්ට දඬුවම් දීම ප්‍රමාද වෙනවා.ලංකාවේ මරණීය දණ්ඩනය තිබෙන වැරදි ගණනාවක් තිබෙනවා. මිනීමරුමට මරණ දණ්ඩනය තිබෙනවා. රාජ්‍ය ද්‍රෝහීත්වයට මරණ දණ්ඩනය තිබෙනවා. සමූහ ස්ත්‍රී දූෂණයට මරණ දණ්ඩනය තිබෙනවා. මත් කුඩුවලට එරෙහිව මරණ දණ්ඩනය තිබෙනවා. එහෙත් ක්‍රියාත්මක නෑ.

නීතිය පොතේ තිබුණට ක්‍රියාත්මක නොවීම නිසා වැරදි කරන අය ඒ විදියටම වැරදි කරනවා.මේ රටේ රාජ්‍ය දේපොළ හොරකම් කරන හා දූෂණයට එරෙහි නීතියට මරණ දණ්ඩනය ඇතුළත් කළ යුතුයි.හුගක් වැරදි කරන්නේ දඬුවම් නැති නිසා. මේ පින්වන්ත පුංචි ලස්සන රට හදන්න සංවර්ධනය කරන්න, අපි අපේ වැඩ හරියට කරන්න දීර්ඝ කාලයක් අවශ්‍ය වන්නේ නෑ. සැවොම සාමූහිකත්වයෙන් වැඩකළ යුතුයි. උඩ ඉන්න අය හොරකම් නොකළ යුතුයි. පහළ ඉන්න අය දවසේ පැය ගණන වැඩ කළ යුතුයි.මේ රට ලස්සන රටක් කරන්න පුළුවන්.අපිට මේ රට ගොඩගන්න බොහොම පොඩි වැඩ කොටසක් කරන්න තියෙන්නේ.දූෂණය හා වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ දී එම ආයතන ශක්තිමත් කිරීමත් පුද්ගලයින් ශක්තිමත් කිරීමත් වැදගත් වෙනවා.

කතායක කරූ ජයසූරිය මහතා- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස අන්තර් ජාතික පාර්ලිමේන්තු කමිටුව පවා නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව අපගේ පාර්ලිමේන්තුව ජාත්‍යන්තර වශයෙන් පවා ඇගයීමට ලක්ව තිබෙනවා. පාඩු පිට යන ආයතන ලාභ ලබන ආයතන බවට පත්කළ හැකිනම් විදෙස් ණය ලබා ගන්නා ප්‍රමාණය අඩුකරන්න පුළුවන්.වාර්ෂික ගිණුම් වාර්තා ඊළඟ වසරේ මාස හතක් ගතවීමට පෙර ලබාදෙන ලෙස අපි ආයතනවලට දැනුම් දී තිබෙනවා. 2007 වසරේ දී සියයට හතලිහක රාජ්‍ය මුදල් අවභාවිත වී ඇති බව සමික්ෂණ වා‍ර්තාවකින් තහවුරු වී තිබෙනවා. පළාත් සභා හා පළාත් පාලන ආයතන අතර හොඳ සම්බන්ධතාවක් ඇතිකර ගැනීම සඳහා පූර්ණ බලැති කොමිසමක් පත් කළ යුතුයි.

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමටත් ශක්තිමත් කිරීමටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගත් උත්සාහය ඇගයීමට ලක් කරනවා.මේ අයුරින් ආයතන ඇගයීමට ලක් කිරීම තුළින් රාජ්‍ය ආයතන ප්‍රගතියක් ලබා තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත තුළින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළින් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා. නාස්තිය දූෂණය තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් රටේ ජනතාවට සේවයක් සළසා දිමට හැකි වේවි.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මහතා-

පාර්ලිමේන්තුව මඟින් රාජ්‍ය ආයතනයට ලබාදෙන මුදල් අක්‍රමිකතාවය, තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කරනවා.‍පාර්ලිමේන්තුව නීති සෑදීම වගේම ප්‍රධන කටයුත්තක් වන්නේ අයවැය මඟින් වෙන් කළ මුදල් නිසි ලෙස වියදම් කරනව ද යන්න නිරීක්ෂණය කිරීමේ වගකීම තිබෙනවා.විගණන පනතට බිය විය යුතු නෑ. විගණන කොමිෂම ශක්තිමත් විය යුතුයි.සංවර්ධනයට මේ සොයා බලීම් බාධවක් නොකරගත යුතුයි.

මෙහි දී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රි දී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කෙරිණි. 2016 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත පද්ධති මඟින් දිවයින පුරා විසිරී තිබෙන සියලු රජ්‍ය ආයතන 837කින් ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ඇගයීම සිදු කරන ලදී.

මේ අවස්ථවට මැති ඇමැතිවරු ඇතුළු ජනතා නියෝජිතයින්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, විගණන කොමිෂන් සභාවේ සභාපති, විගණකාධිපති ගාමිණී විජේසිංහ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, රජයේ උසස් නිලධාරීන්, සම්මානයට පාත්‍ර වූ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න