ජාතික රෝහලේ සෞඛ්‍ය තොරතුරු සේවා ඩිජිටල්කරණය වෙයි | දිනමිණ


 

ජාතික රෝහලේ සෞඛ්‍ය තොරතුරු සේවා ඩිජිටල්කරණය වෙයි

මහින්ද අලුත්ගෙදර

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන ඇත. ශ්වසන රෝග අංශයේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කර තිබෙන අතර ඒ අනුව රෝගියෙක් රෝහලට ඇතුළත් කර ගැනීමේ දී බාකෝඩ් පතක් ලැබෙන බවද මේ නිසා රෝගියාට ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකිවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදුවුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම හේතුවෙන් කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලනය කිරීමට හැකිවේ. තවද සාමාන්‍ය පරිදි මෙතෙක් කලක් සිදුකෙරුණු රෝගීන්ගේ එක්ස්රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට ඩිජිටල්කරණය කිරීම නිසා විනාඩී කිහිපයක් තුළදී ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ එක්ස්රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබෙන බවද එම නියෝජිතායතනය පෙන්වා දෙයි.

මේ ව්‍යාපෘතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වු රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල්. වනිගරත්න මහතා පෙන්වා දුන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම රෝහල් කාර්ය මණ්ඩලයට රෝගීන් සඳහා ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් එය රෝගීන්ට ලැබෙන වාසියක් වගේම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට රෝහලේ රැදී සිටීමට අවශ්‍ය කාලය අවම වී තිබෙන බවත්ය.

රෝගියෙක් එක්ස්රේ එකක් ගත් සැනින් වෛද්‍යවරයාට තමා ඉදිරිපිට තිබෙන පරිගණක තිරයෙන් එය නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබී තිබෙන අතර වසරකට රුපියල් මිලියන හතරහමාරක් පමණ එක්ස්රේ පටල සඳහා වියදම් වූ බවද ඒ මුදල ඉතිරිකර ගැනීමට හැකිවී තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ ‍මේ ව්‍යාපෘතිය රෝහල්වල ක්‍රියාත්මක කරන මුල් අවධියේ දී විවිධ දුෂ්කරතාවන් මතුවූ නමුත් ඇතැම් අවස්ථාවල පැරැණි ක්‍රමය හොඳ යැයි සිතූ බවත් අද ඒ බාධක දුෂ්කරතා ජය ගැනීමට හැකිවී තිබෙන බවත්ය. අයි.සී.ටී.ඒ ආයතනයේ ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන ලබාදුන් සහයෝගය කිසිවිටෙක අමතක කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට මේ ව්‍යාපෘතිය රෝහල් 32ක පමණ ක්‍රියාත්මක කර තිබෙන බවද මේ වසර තුළදී තවත් රෝහල් 12ක පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ ව්‍යාපෘතිය තම රෝහල්වලත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතින බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සඳහන් කළේය.

මේ ඩිජිටල්කරණ වැඩසටහන සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍යය ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇත.

නව අදහස දක්වන්න