කොළඹ වටලා අගමැති හෝ ජනාධිපති පත් කරන්න බෑ | දිනමිණ


 

කොළඹ වටලා අගමැති හෝ ජනාධිපති පත් කරන්න බෑ

චන්ද්‍රිකා පෙරේරා

ඇමැති පී හැරිසන් කියයි

පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් මිස කොළඹ වටලා අගමැති හෝ ජනාධිපති පත් කළ නොහැකි බවත් ඒ සඳහා තීරණයකට ආ හැකි වන්නේ තවත් වසර දෙකකින් පමණ බවත් සමාජ සවිබල ගැන්වීම් ඇමැති පී.හැරිසන් මහතා පැවසීය.

තම කණ්ඩායමට බහුතරයක් තිබේ නම් කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිසි තීන්දුව කතානායකවරයා ගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

සමෘද්ධි නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් එම අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති විශේෂ හමුවේදී ඇමැති පී. හැරිසන් මහතා එම අදහස් පළ ක‍ළේය.

එහිදී තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.

ජනතාව සවිබල ගැන්වීමේ කටයුතු සිදු කිරීමේ මූලික කාර්ය ලෙස අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගෙන ඒ අයට සමෘද්ධි සහනාධාර ලබාදීමට ආණ්ඩුව තීරණය කළේ පත් වූ මුල් අවධියේමයි. ඉන්පසු එම පවුල්වල ආර්ථික තත්ත්වය නඟා සිටුවීමේ කාර්යයන් රැසක් මේ ආණ්ඩුව ක්‍රියාක්මක කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට සමෘද්ධි සහනාධාර හිමිවිය යුතු පවුල් කොපමණ සිටිනවාද යන්න රටපුරා සිදුකළ ඉල්ලුම්පත් කැඳවීමකින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ කෙරෙන සමෘද්ධි සහනාධාර ලබාදීම රට පුරාම ක්‍රියාත්මක කරනවා.

එම කාර්ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන්නේ අතර එහි ප්‍රථම අදියර හෙට පොලොන්නරුවෙන් ආරම්භ කෙරෙනවා. පක්ෂ පාට භේදයකින් තොරව සුදුසුකම් ඇති සියලුදෙනාට සමෘද්ධි සහනාධාර ලබාදීමට කටයුතු කරනවා. මේ අනුව ලබන සිංහල අවුරුද්දට පෙර සමෘද්ධිය ලැබිය යුතු සියලු දෙනාට සමෘද්ධිය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා .

එහිදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

කොළඹ වටලා අගමැති තෝරන්න බැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය අවශ්‍යයි. එහෙම බහුතරයක් තිබෙනවානම් කතානායකවරයාට ඉදිරිපත් කළොත් කතානායකවරයා ඒ පිළිබඳ තීරණයක් ගනීවි. නිසි අයුරින් කටයුතු නොකර මහමඟ රැස්වීම් තියා, උද්ඝෝෂණ කර, කොළඹට සෙනඟ ගෙන්වා අගමැතිවරු හෝ ජනාධිපතිවරු පත් කරන්න බැහැ. නව ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත් කරනවා නම් තව අවුරුදු දෙකකින් පස්සේ ඒ ගැන හිතන්න ඕනෑ. බලයේ සිටි රාජපක්ෂ කණ්ඩායම සිතා සිටින්නේ ඒ පවුලේ අයට පමණක් මේ රට ලියා දී තිබෙන බව. ඒ නිසා ඒ අය පමණයි ජනාධිපති, අගමැතිවරු වෙන්න ඕනෑ කියා. රටේ ජනතාව එය වෙනස් කර පසුගිය ඡන්දෙදී පාඩමක් ඉගැන්නුවා. එය තේරුම්ගෙන වැඩ කළයුතුව තිබෙනවා.

කෙසේ වුවත් යථා තත්ත්වය අනුව ඒකාබද්ධයේ කණ්ඩායම හා ආණ්ඩුවෙන් වෙන් වූ පහළොස්දෙනා අතර යම් යම් ගැටලු පවතින බව දැකිය හැකියි. බදුල්ලේ වෙල්ගම මහත්තයා කියලා තිබෙනවා. ඩිලාන් නෙමෙයි එයයි ලොක්කා කියා. මේ අයට අවසානයේ එහෙත් නැහැ. මෙහෙත් නැහැ. ‘ ගෙදර ගියොත් අඹු නසී. මඟ හිටියොත් තෝ නසී‘ කියා කියන්නේ මෙවැනි දේට තමයි.

කෙසේ වුවත් මේ ආණ්ඩුව නිදහස දී තිබෙනවා ඕනෑම කෙනෙකුට ඇවිල්ලා විරෝධතා තියලා යන්න. කිසිම කෙනෙක්ගෙන් ඊට බාධාවක් නැහැ.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මෙවැනි විරෝධතා තැබුවොත් මැර ප්‍රහාර එල්ල වුණා. වතුර වෙනුවෙන් විරෝධතා තියන කොට වෙඩි තියා මැරුවේ, ධීවරයන් ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බැහැලා සිටින විට ඒ ගොල්ලන්ට ගහලා, වෙඩි තියලා මැරුවා. ගාමන්ට් ළමයි තමන්ගේ ප්‍රශ්නවලට විරෝධතා තියනවිට ඒ අයට හිරිහැර කළා.

සිංගප්පූරු ගිවිසුම හරහා ශ්‍රමිකයන් ලංකාවට ගේනවා කියන ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතා එදා කිව්වා රුපියල් 2500ට මාසෙම කෑම කන්න පුළුවන් කියා. සිංගප්පූරුවේ මෙරටට වැඩි ලොකු වැටුප් ගෙවන රටක්. ඒ අය මෙරටට පැමිණ මෙහේ වැඩ කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඉන්දියාවෙන් අපිට ගිලන් රථ සේවයට දෙනවිට වෛද්‍යවරුන් ,රියැදුරන් ,රිය සහායකවරු හා පිරිසිදු කරන්නන් ගේනවා කිව්වා. නමුත් එවැනි අය ආවේ නැහැ. එව්වේ වාහන පමණයි. බන්දුල ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටි කාලේ ධන, සෘණ කරන්න ගිහිල්ලා අපිටත් ප්‍රශ්න ඇති කළා. එයා යන තැන විනාශයි.

පළාත් සභා මැතිවරණය පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ කතානායක හා අගමැති ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවක් මගින් පක්ෂ නායකයන්ගේ එකඟත්වය අනුව ඉක්මනින් මැතිවරණය පවත්වන්න කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

රටේ ඕනෑම කෙනෙකුට මංගල උත්සව සඳහා අරලියගහ මන්දිරයේ ශාලාව වෙන් කර ගැනීමේ හැකියාව ඇති බවද යහපාලනයේ පැවැත්ම එය බවද වැඩිදුරටත් පැවසීය.

 

නව අදහස දක්වන්න