පත්තිනි ඇදහිල්ල ජනතාවට බලපා ඇත්තේ කෙසේද? | දිනමිණ


 

පත්තිනි ඇදහිල්ල ජනතාවට බලපා ඇත්තේ කෙසේද?

ඇසළ උත්සව සමයේ පෙරහර පවත්වා පුද පූජාවලින් පිදුම් ලබන එකම දෙවඟන පත්තිනි දෙවියන්ය. පත්තිනි මෑණියෝ "පත්තිනි අම්මා" ලෙස ද ජනතාව මහත් භක්තියෙන් හඳුන්වති. පත්තිනි දෙවියන් ශාන්තිවාදී දෙවි කෙනෙකි. පිරිමි ආත්මයක් ලැබ මතු බුදුවන්නට පෙරුම් පුරයි. බෞද්ධ ජනතාවගේ වැඩිම සැලකිල්ලට ලක්වූ දෙවඟන පත්තිනි දෙවියන්ය.

ක්‍රි. ව. 2 සියවසේ මෙරට රජ කළ 1 ගජබාහු රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වූ වංකනාශික තිස්ස රජුගේ කාලයේදී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ වහලුන් ලෙස මෙරටින් රැගෙන ගිය 12000ක් පිරිසක් එම පිරිසට හිලව් ලෙස තවත් 12000 ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේදී එවකට එරට රජ කළ පත්තිනි දේව ඇදහිල්ල ප්‍රචලිත කළ සෙන්ගුත්තවාන් රජු පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රණ ආයුධ ද ගෙන ආ බව පිළිගත් ඉතිහාස කතාවකි. මේ පුවත රාජාවලිය, පූජාවලිය, පැරකුම්බා සිරිත මෙරට ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

තවද පත්තිනි දෙවියන්ගේ උපත පිළිබඳ ප්‍රධාන මූලාශ්‍රයක් වූ සුළු සිද්ධ වේර කවියෙකු වන ඉලන්තෝ අඬිගල් විසින් රචිත සීලප්පදිකාරම් (සළඹේ කතාව) කාව්‍ය ග්‍රන්ථයේද ගජබා රජු සොලී රටට ගොස් මෙරටට පත්තිනි දෙවියන්ගේ පා සළඹ රැගෙන ආ පුවතත් එම පා සළඹ තැන්පත් කර පත්තිනි දෙවියන් වෙනුවෙන් දේවාලයක් තනා ඇසළ පෙරහර ආරම්භ කළ පුවතත් සඳහන්ව ඇත.

මේ දේවාලය නවගමුවේ ඓතිහාසික පත්තිනි දේවාලය බව ඉතිහාස කතාවයි. එසේම ශ්‍රී ලංකාවේ මුල්ම ඇසළ උත්සවයක්, පෙරහරක්, දෙවොල් මඩුවක් පවත්වා ඇත්තේ නවගමුව පින්බිමේය. පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ආරම්භ කර ඇති ඇසළ පෙරහර පසුකලෙක රජ වූ කිත්සිරිමෙවන් රජු විසින් උතුම් දළදා වහන්සේ සම්බන්ධ කොට පවත්වන්නට පටන් ගෙන ඇත.

පත්තිනි දේව ඇදහිල්ල ශ්‍රී ලංකාවේ ආරම්භ වීම තුළින් මෙරට ජන සමාජයට ඉතා වැදගත් වටිනා කරුණු මෙන්ම පුරුදු රැසක් දායාද වී ඇත.

කාන්තාව සතු වටිනාම වස්තුව වන්නේ පිරිසිදුභාවයයි. (පතිවතයි) මේ උතුම් දහම පිළිබඳව ලෝකයේ මානව ශිෂ්ටාචාරයට මහත් බලපෑමක් ඇතිකරන ලද්දේ පත්තිනි මෑණියන්ගේ කතා පුවතය. එම උතුම් දහමේ වටිනාකම කියාපෑමම පත්තිනි මෑණියන්ට මතු බුදුවන්නට ප්‍රමාණවත් වේ. තවද මේ දහම ඕනෑම රටක ඕනෑම කාන්තාවකට වලංගුය.

පත්තිනි දෙවියන් දේවත්වයට පත්වීමට පෙර සොලී රටේ "කන්නගී" නම් කාන්තාව වූවාය. ඇයගේ සැමියා වූ "කෝවලන්" නොකළ වරදකට මධුරාපුර රජු විසින් රාජපුරුෂයන් ලවා මරා දැමීම හේතු කොටගෙන තම වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනිලවන මෙන් ශාප කළ අතර, එම ගිනිලෑමේදී දරුවන්, රෝගීන්, ගැබිනි මවුවරුන්, සතුන් බේරන ලෙස ද ප්‍රාර්ථනාවක්ද කළාය. ඒ අනුව මධුරාපුරය පුරා ගිනිගන්නා විට රජු විසින් කන්නගිගෙන් මේ ගින්න නිවාදමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වේ. නැවුම් එළදෙනකගේ නැවුම් කිරි මුළු මධුරාපුරයේම ඉසීම හේතුවෙන් ගින්න මැඬපැවැත්විණි. මේ ක්‍රියාව අදද ජනසමාජයේ නව වසර ආරම්භක දවසේදීත් අලුත් අවුරුදු උදාවේත්, නව නිවසකට ගොඩවැදීමේදී වෙනත් සුබ අවස්ථාවලදීත් කිරි උතුරවා සිදු කරනු ලැබේ. එබැවින් කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද පත්තිනි කතා පුවතට සම්බන්ධය.

ගැබිනි මව තම කුසේ හටගත් කළලය බිලිදකු වී ඉපදෙන තෙක්ද ඉපදී හැදී වැඩෙන තෙක්ද ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලන්නේ පත්තිනි මෑණියන්ගෙන්ය. ගැබිනි මවුවරුන් ද රෝගීන් ද පත්තිනි පිහිට පතති. කිරි අම්මාවරුන්ට දාන හාර වෙති. පඬුරු බඳිති. මේ සියල්ල කන්නගී මධුරාපුරයේ ගිනිලෑමට සම්බන්ධය.

ඇසළ පෙරහර මංගල්‍යයකදී මෙන්ම දෙවොල්මඩු මංගල්‍යකදී ජනතාව භේදයන්ගෙන් තොරව එකට එක්ව කටයුතු කරන බව දක්නට ලැබෙන විශේෂ කරුණකි. විශේෂයෙන්ම දෙවොල් මඩු යාගවලදී ගමේ සියලු දෙනා එක්ව කටයුතු කරති. කෑම්බීම්, කැවිලි පෙවිලි සංග්‍රහ කටයුතු කාන්තාවන් අතින් ඉටුවේ. මඩුව සකසන්නට, මායිම් වැට තනන්නට, මල් යහන් ඉදිකරන්නට, තොරණ ඉදිකරන්නට පිරිමි පෙළ ගැසෙති. දෙවොල් මඩුවේ මුර්ති ශිල්පයට, කැටයම් කලාවට, චිත්‍ර ශිල්පයට ප්‍රධාන ස්ථානයක් ලැබේ. මඩුවේ ඇඳුරන්ට එම කලා කටයුතු පිළිබඳ දැනීමක්, කුසලතාවක් ඇති ගැමියන්ගේ සහාය ලැබේ.

පහතරට නැටුම් කලාවේ උපත සිදුවූයේ දෙවොල්මඩුව නිසාය. එබැවින් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පිරිසක් පහතරට නැටුම් කලාවේ නියැළෙති. නැටුම් ශිල්පීන්, බෙරකරුවන් ඒ අතරින් ප්‍රධානය. තවද පහතරට නැටුම් සඳහා ඇඳුම් නිර්මාණය, බෙර, හේවිසි, තම්මැට්ටම් නිර්මාණය, වෙස්මුහුණු කලාව මේ සියල්ල ද පත්තිනි ඇදහිල්ල නිසා ඇතිවූ ස්වයංරැකියා විය. නාට්‍ය කලාවට ද පත්තිනි මෑණියන්ගේ ඇදහිලි සමඟ සම්බන්ධතාවක් ඇත. දෙවොල්මඩුවේ සියලුම නැටුම් අංග කවි ගායනා කරමින් ඉදිරිපත් කරනු ලබයි. මේ නැටුම් අංග අවසන් වූ පසු නිදිවර්ජිත වෙහෙසට පත් ප්‍රේක්ෂකයන් තවදුරටත් මඩුපොළේ රඳවා ගැනීමට පත්තිනි පුවත හා සම්බන්ධ කතා පුවත් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරයි.

අඹ විදීම, මරා ඉපැද්දවීම, දෙවොල් නැටීම, දොළහ පෙළපාළිය මේ අතරින් ප්‍රධානය. වේෂ නිරූපණය, නැටීම, සංවාද කිරීම, කවි ගායනය, වෙස්මුහුණු පැළඳවීම ආදී කටයුතු මෙහිදී සිදුවේ. සිංහල ගැමි නාට්‍ය සම්ප්‍රදායක් වූ කෝලම් නැටීම මේ අනුසාරයෙන් ආරම්භ වී ඇත.

පත්තිනි ඇදහිල්ල ජනතාවට වඩාත් දැනෙන තවත් විශේෂ කරුණක් වන්නේ මිනිසාගේ සෞඛ්‍යය නිරෝගී බව පිළිබඳවද වැදගත් ස්ථානයක් ලැබී තිබීමය. ක්‍රීඩාව මිනිසාගේ යහපත් සෞඛ්‍යයට, නිරෝගී භාවයට ඉතා වටී. මෙය මිනිසාට පමණක් නොව සතාසිවුපාවාට ද එක සේ බලපාන කරුණකි. මේ අනුව පත්තිනි ඇදහීම සම්බන්ධ ක්‍රීඩා 64ක් ඇති බවට පත්තිනි පුරා කතාවන්ගෙන් පැවසේ. දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාස කරන වසංගත රෝග 64ක් ද තිබෙන බව එම කතාවන්ගෙන් පැවසේ.

එම ක්‍රීඩා අතර සොකරි නැටීම, අංකෙළිය, මීගොන් පොර, පේලි යාම, පොල් කෙළිය, ඔලිඳ කෙළිය, ලී කෙළිය, නෙරංචි කෙළිය, ගුඩු ගැසීම, තට්ටු පැනීම, උඩැක්කි කෙළිය, ‍පන්තේරු කෙළිය, කළගෙඩි පිඹීම, පන්දු කෙළිය, මුතු කෙළිය වේ.

තම සැමියා සොයාගෙන කන්නගී මධුරාපුරයට යන ගමනේදී කාවේරි ග‍‍ඟේ තොටුපළේදී ඔරුව පැදි තොටියා කන්නගීව එගොඩ කර නැත. එහිදී ඇය තොටියාටත්, ඒ පරපුරේ අයටත් ශාපකර ඇත්තේ වඳුරු ‍වසංගත රෝග ඇතිවී විනාශ වන්නටය. එබැවින් පත්තිනි දෙවියන් උරණ වූ විට වඳුරු වසංගත රෝග ඇතිවෙන බවට ජනතාවගේ විශ්වාසයයි.

තවද මේ ගමනේදී වෙල්ලිස නම් අම්බලමේදී කාලියකින්න තමා කෑමට ආ විටදී තමාගේ නාමයෙන් මතුවට පවත්වන පූජාවන් ද, කෙළි සෙල්ලම් ද එම යක්ෂණියට භාරගැනීමට පැවරුවාය. වඳුරු වසංගත රෝග ඇතිකරන්නේ කාලි යක්ෂණිය බව ද ජනතාවගේ විශ්වාසයයි. එවිට පත්තිනි දේවියට අංකෙළිය, පොල්කෙළිය (පොර පොල් ගැසීම) ආදී ක්‍රීඩා හා ඇසළ මහේ පූජා පැවැත්වේ. ඒ සියල්ල කාලි යකින්න භාරගෙන පත්තිනි දේවියගේ නාමයෙන් රෝග දුරු කරයි යන්න ජන විශ්වාසයයි. දෙවොල් මඩුවේදී සිදුවන්නේ මේ යා‍ගහෝමයන්ය. වර්තමානයේ මේ ක්‍රීඩා කෙමෙන් කෙමෙන් ජන සමාජයෙන් ඈත් වී ඇත. නමුත් බක්මහ උළෙලහිදී පත්තිනි මෑණියන් වෙනුවෙන් මේ ක්‍රීඩා පවත්වනු ලබයි.

පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා පවත්වන අවස්ථාවලදී මස් මාළු අනුභවයෙන් තොරව කිලිවලින් වැළකී එම පුද පූජාවලට සහභාගි වීමට ජනතාව වගබලා ගනිති. මේ යහපත් සිතිවිල්ල ද ජනතාවට හුරු පුරුදු වී ඇත්තේ පත්තිනි ඇදහිල්ල නිසාය.

පත්තිනි ‍මෑණියන්ගේ පිහිට සතා සීපාවට ද නොඅඩුව ලැබෙන බව තහවුරු වන එක් අවස්ථාවක් වන්නේ ගොනුන් පිට සධාතුක කරඬුව සහ දේවාභරණ වඩම්මවන අතිශය දුර්ලභ පෙරහරය. මේ පෙරහර නවගමුව පත්තිනි දේවාලයට පමණක් ආවේණික වූවකි. මේ පෙරහර පවත්වන්නේ අතීතයේ ගොනුන්ට වැළඳුණු වසංගත රෝගයකින් බේරීමට පත්තිනි මෑණියන්ට වූ භාරයක් ඔප්පු කිරීමටය.

ශ්‍රී ලංකාවාසී ජනතාවට පත්තිනි ඇදහිල්ල නිසා යහපත් දේ ඉගෙනීමට ලැබී ඇත. මිනිසාගේ ආකල්ප වර්ධනයට සාරධර්මවලට බලපාන චාරිත්‍ර රැසක් දායාද වී ඇත. බුද්ධ ධර්මයට අමතරව ජීවිත යහපත් කරගැනීම සඳහා වටිනාම ආදර්ශ ආභාෂ ලැබී ඇත්තේ පත්තිනි පුවතිනි. මේ හෙයින් පත්තිනි මෑණියන්ට පුද පූජා පවත්වන එතුමියගේ පිහිටි බලාපොරොත්තු වන අය දිනෙන් දින ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිපුරම ඇත්තේ පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉදිවූ දේවාලය. මෙයින් ප්‍රධානතම දේවාලය නවගමුවේ පිහිටා ඇත. නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය (ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇසළ උත්සවය) මේ දිනවල පැවැත්වේ. අලි ඇතුන් පිට රන්දෝලි මහ පෙරහර පසුගියදා (සැප්:01) අලි ඇතුන් රාශියක් පිරිවරා සංචාරය කළ අතර ගිනිමඩු මහා මංගල්‍යය මේ මස 08 වැනි දින රාත්‍රිය මුළුල්ලේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ අතිදක්ෂ පහතරට නැටුම් ශිල්පීන්ගේ සහ බෙරකරුවන්ගේ සහභාගිත්වයෙනි.

රටේ සාමය, කලට වැසි වැස ගොවිතැන් සරුවීමට රටේ සෞභාග්‍ය ඇතිකිරීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පත්තිනි මෑණියන්ගේ පිහිට පතා ඇසළ පෙරහරට, ගිනිමඩුවට ඉතා භක්තියෙන් සහභාගි වීමට නවගමුව පින්බිමට පැමිණෙති.

-චන්ද්‍රසේන පලිහේන

නාගරික මන්ත්‍රී (එජාප) කඩුවෙල මහ නගර සභාව උප සභාපති - නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම රජමහා විහාරස්ථානයේ සහ ඓතිහාසික පත්තිනි මහා දේවාලයේ දායක සභාව.

නව අදහස දක්වන්න