මහින්ද හම්බන්තොට සංවර්ධනය කළා නම් වැසිකිළි නැති පවුල් දහසක් තිබිය නොහැකියි | දිනමිණ


 

මහින්ද හම්බන්තොට සංවර්ධනය කළා නම් වැසිකිළි නැති පවුල් දහසක් තිබිය නොහැකියි

ඇමැති මංගල සමරවීර

වසර දහයක කාලයක් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා උපන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කළ යුතු සංවර්ධන කටයුතු සිදු කළා නම් වැසිකිළි නොමැති පවුල් 10,000ක් පමණ තිබිය නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පෙරේදා (04) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු කර නොමැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් අතුරින් සියයට 33.8ක ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභ ලබන්නන්. ඊට අමතරව පොල් අතු සෙවිළි කළ නිවාස 1683ක් ද, කිසිදු වැසිකිළි පහසුකමක් නොමැති පාසල් 333ක් ද තිබෙනවා. හම්බන්තොට වරාය ඉදිකිරීමට රුපියල් බිලියන 173ක් ද, මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට රුපියල් බිලියන 34ක් ද, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට රුපියල් බිලියන 6ක් ද, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට රුපියල් බිලියන 4ක් ද ලෙස අනවශ්‍ය පරිදි රුපියල් බිලියන 241ක දැවැන්ත මුදලක් වැය කර තිබෙනවා.

මෙලෙස වියදම් කළ අති විශාල මුදලින් සියයට එකක ප්‍රමාණයක් හෝ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙද වූයේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කය සුරපුරයක් කිරීමට ඉඩ තිබූණා. අපි සෑම දිස්ත්‍රික්කයකටම අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැඟින් ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ලබා දෙනවා. අමෙරිකාවේ, ලොස් අන්ජලීස්වල හෝ නොමැති මාර්ග ඉදි කළ ද එයින් පොදු ජනතාවට සෙතක් සැලසී නෑ.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න