කලාකරුවන්ට ආණ්ඩුව දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන්න | දිනමිණ


 

කලාකරුවන්ට ආණ්ඩුව දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන්න

ආණ්ඩුව කලාකරුවන්ට දී තිබෙන පොරොන්දු හුදු ප්‍රකාශවලට පමණක් සීමා නොකර ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (04) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ආණ්ඩුව සම්මත කළ නව දේශීය ආදායම් බදු පනත නිසා කලා ක්ෂේත්‍රයේ නිෂ්පාදකවරුන්ට, රංගන ශිල්පීන්ට, සාහිත්‍යකරුවන්ට ඇතුළු නිර්මාණකරුවන්ගේ බදු ඉහළ නංවා තිබෙනවා. එයින් ඔවුන් අපහසුතාවට පත්ව තිබෙනවා. මෙරට බහුතරයක් කලාකරුවන් නිර්මාණ කටයුතුවල නියැලෙන්නේ ස්වෝත්සාහයෙන් අතින් මුදල් වියදම් කරගෙන. ඒ අයට මේ වගේ බදු ගැසීම් දරා ගන්න අමාරුයි. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළත් ඒවා මෙතෙක් සැලකිල්ලට ගෙන නෑ. මෙරට රංගන ශාලා ආශ්‍රිතව ද බරපතළ ගැටලු ගණනාවක් පැන නැඟී තිබෙනවා. ජාතික කලා භවන අලුත්වැඩියා කටයුත්තකට යැයි පවසමින් මේ වන විට වසා දමා තිබෙනවා. එය විවෘත කිරීමක් පිළිබඳ අදහසක් නෑ. ජාතික කලා භවන, ජෝන් ද සිල්වා රඟහල පවතින ප්‍රදේශ මෙරටට නොගැළපෙන ආකාරයේ ඩිස්නිලන්තයක් බවට පත් කරන්නට උත්සාහ කරනවා. මේවා සම්බන්ධයෙන් ආණ්ඩුව නැවත වතාවක් සිතා බැලිය යුතුයි.

මේ බදු පනතට අපි විරුද්ධයි. හැකියාව තිබෙන අයගෙන් බදු අය කරගෙන ඇතැම් ක්ෂේත්‍රවලට බදු සහන ලබාදීම තමයි සාමාන්‍යයෙන් සිදු වන්නේ. මෙරට වේදිකා නාට්‍යකරුවන්ට මුල් වසරේ ආදායමට සියයට 50ක බදු සහනයක් තිබුණා. ඒ සියලු දේ අද ඉවත් කරලා. රටක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, දරුවන්ට බදු සහන ලබා දෙනවා. අපේ රටේ කුඩා දරුවන්ගේ ගිණුම්වලටත් මේ වන විට බදු ගහලා. කලාකරුවන්ට පනවා තිබෙන බදු දැක්කාම අපිට හිතෙන්නේ මේ පනත හොලිවුඩ්වල හැදූ එකක් කියලයි. ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය දැක්කාම පෙනෙන්නට තිබෙන්නේ අපේ රටේ ජනතාව කලාව හා සංස්කෘතික ක්ෂේත්‍රවලිගෙන් ඈත් කිරීමට කටයුතු කරගෙන යන බවක්. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කලාකරුවන් පමණක් නොව ජනතාව පුරවැසියන් විදියට මැදිහත් විය යුතුව තිබෙනවා.

සමාජවාදී කලා සංගමයේ සාමාජිකයන් වන ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා, ප්‍රවීන සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි ලලිත් රාජපක්ෂ, ප්‍රවීණ රංගල ශිල්පි ජගත් මනුවර්ණ මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න