උතුරේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නෑ | දිනමිණ


 

උතුරේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නෑ

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප්‍රමාණයක් අද වන විට වැසී ගොස් තිබෙනවා. කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ කම්හල් වැඩි ප්‍රමාණයක් අද වැසී ගොස් තිබෙන නිසා උතුරු පළාතේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නෑ. ලංකාව වටේටම මුහුද තිබුණත් ඉන්දියාවෙන් ලූනු ගෙන්වන තත්ත්වයක් අද උදා වෙලා. මේ නිසා ලූනු ආශ්‍රිත නිෂ්පාදන කරන කම්හල් ලෙහෙසියෙන්ම ආරම්භ කරන්න පුළුවන්කම තිබුණත් කුමන හේතුවක් නිසා හෝ අද ඒවා කඩා වැටිලා. මේ නිසා උතුරේ තරුණ ප්‍රශ්නයට මූලිකම හේතුව විරැකියාව. යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ සර්ව ආගමික සංවිධාන, ස්වේච්ඡා සංවිධාන සහ සමාජ සේවා සංවිධාන යාපනය ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා මේ බව පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කීවේය. අද වන විට උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වය මැඩ පවත්වා ගන්න මවුපියන්ගේ මැදිහත්වීම අවශ්‍යයි. දරුවන්ගේ කුඩා කාලය දහම් අධ්‍යාපනයට නැඹුරු කළොත් මේ තත්ත්වය බොහෝ දුරට අවම කර ගන්න පුළුවන්. අද සමාජයේ පවතින තරගකාරී තත්ත්වය යටතේ අම්මලා තාත්තලා බොහෝ කාර්ය බහුලයි. දරුවන් ගැන සොයා බලන්න වෙලාවක් නැති තරම්. මේ නිසා දරුවන් කරන්නේ මොනවාද කියලා මවුපියන් බොහෝ විට දන්නේ නෑ. මවුපියන්ගේ මූලික අදහස දරුවන්ට අධ්‍යාපනය ලබාදීමයි. දරුවන් සමාජ ගත කරන විට හැදියාව සහ සමාජශීලී දරුවන් බිහි කළ යුතුයි යන්න පිළිබඳව තැකීමක් මවුපියන් තුළ අද නෑ. හැදියාව සහ සමාජශීලී දරුවන් බිහි කරන්න ආගම විෂයට විශිෂ්ට සම්මානයක් ගත් පමණින් පුළුවන්කමක් නෑ. ඒ සඳහා දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි. තාක්‍ෂණය හෝ විද්‍යාව ඉගෙන ගත්තාට හැදියාව සහිත දරුවෙක් හැදෙන්නේ නෑ.

ඒ නිසා මා නැවත නැවතත් කියා සිටින්නේ ද්‍රවිඩ දහම් අධ්‍යාපනය දියුණු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන ලෙසයි. ඒ සඳහා හින්දු ආගමික අමාත්‍යාංශය, හින්දු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තිබෙනවා. හින්දු ආගමික අමාත්‍යාංශයෙන් උතුරු පළාතේ හින්දු ආගමික දහම් පාසල් 370ක් පමණ පවත්වාගෙන යනවා. ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් කළ යුතුව තිබෙනවා. හින්දු සංස්කෘතියට අනුව සිකුරාදා සවස සහ ඉරිදා උදයේ දහම් අධ්‍යාපන කටයුතු සඳහා නිදහස් කර තිබෙනවා. නමුත් මේ දිනවල පෞද්ගලික උපකාරක පන්ති තිබෙන නිසා යම් බාධාවක් තිබෙන බව හින්දු ආගමික නායකයන් මමට පැවැසුවා.

ඒ සඳහා ගත යුතු හොඳම තීරණය ගත හැක්කේ උතුරු පළාත් සභාවටයි. අනෙකුත් පළාත් සභා ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති නැවැත්වීමේ යෝජනා සම්මත කර ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේ උතුරු පළාත් සභාවටත් එවැනි යෝජනාවක් ගෙනැවිත් සම්මත කර ගත හැකියි. එවැනි තත්ත්වයක් යටතේ හින්දු ආගමික කටයුතු සහ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න පුළුවන්. හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන ගොඩ නඟා දරුවන්ගේ සදාචාරය හා විනය හදන්න බෑ. ඒ සඳහා දරුවන්ට උපදේශනය අවශ්‍යයි. ඒ උපදේශනය දෙන්න හොඳම තැන පාසල සහ ගමේ කෝවිලයි. හැම ගමකම කෝවිලක් පවතිනවා. එම කෝවිලට දරුවන්ගේ පැමිණීම සම්බන්ධ කර දහම් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්.

උතුරේ බහුල වශයෙන් කිරි ගවයන් සහ කිරි ගොවීන් සිටිනවා. ඒ වුණාට කිරිවලට සාධාරණ මිලක් නෑ. ස්වයං රැකියා වැඩපිළිවෙළක් ආරම්භ කර එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දී තරුණ තරුණියන්ට එමඟින් ද රැකියා ලබාදීමට හැකියි.

යාපනය නාග විහාරාධිපති මීගහජදුරේ විමලකිත්ති හිමි- බෞද්ධාගමික දහම් පාසලෙන් දරුවන්ට හොඳ පුරුදු, සදාචාරය, හැදියාව උගන්වනවා. ඒක ජීවිතයට හොඳ පිටිවහලක් වෙනවා. ඒ තත්ත්වය සෑම ආගමික මධ්‍යස්ථානයකින්ම ලබා දෙනවා නම් හොඳයි. ආගමෙන් හැදියාව පුරුදු කරන්න පුළුවන්. අද සෑම ආගමික සිද්ධස්ථානයකම ආගමික අධ්‍යාපන සේවා පවත්වාගෙන යනවා. එමඟින් සමාජ විරෝධී වැඩපිළිවෙළ මැඩ පවත්නවන්න පුළුවන්. යාපනය නාග විහාරයේත් දමිළ බෞද්ධ දහම් පාසලක් ආරම්භ කර බණ භාවනා වැඩපිළිවෙළක් පවත්වාගෙන ගියා. නමුත් අද වන විට කුමන හේතුවක් නිසා හෝ එම දහම් පාසල වැසී ගොස් තිබෙනවා. එය නැවත ආරම්භ කිරීමට ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම අවශ්‍ය බව මා සිහිපත් කරනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති වසන්ති අර්සරත්නම් මහත්මිය - සෑම මවුපියකුටම අවශ්‍ය තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. ඒ නිසා මවුපියන් දරුවන්ව උපකාරක පන්තිවලට යවනවා. උපකාරක පන්ති නැතිව උසස් අධ්‍යාපනය කරා යොමු වෙන්න බෑ. ඒ නිසා මා යෝජනා කරනවා පාසල් කාලයේදීම දහම් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා. ළමයින් අද ක්‍රීඩා කටයුතුවලින් ද ඈත් වෙලා. ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ උපකාරක පන්තිවලට ගිහින් උසස් අධ්‍යාපනය කරා යොමුවීමයි. එම නිසා දහම් අධ්‍යාපනය පාසල් විෂයට ඇතුළත් කර වැඩි දියුණු කරන්න කියා මා යෝජනා කරනවා.

හින්දු කුරුක්කල්වරු ද, ප්‍රදේශයේ ආගමික නායකයෝ ද, බහුජන සංවිධානවල නියෝජිතයෝ ද මෙහි දී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න