වංචාවට-දූෂණයට එරෙහිව රජය පියවර රැසක් ගත්තා | දිනමිණ


 

වංචාවට-දූෂණයට එරෙහිව රජය පියවර රැසක් ගත්තා

ජනපති

නිදහසින් පසු ලංකාවේ වසර 70 කට වැඩි කාලසීමාව තුළ වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවයට එරෙහිව ගත නොහැකි වූ තීන්දු තීරණ රැසක් ගනිමින් වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් රට තුළ ගොඩනැඟීමට යහපාලන රජය කැපවූ බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ශක්තිමත් කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම ඇතුළු පියවර රැසක් පසුගිය කාලය තුළ රජය ගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා විගණන කොමිෂන් සභාව පිහිටුවීමට ලැබීම එහිදී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ද කියා සිටියේය.

එමෙන්ම වසර 40ක 50ක කාලයක් තිස්සේ කතාබහට පමණක් සීමාවූ විගණන සේවය ස්ථාපිත කිරීම ද කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. දූෂණයට, නාස්තියට සහ හොරකමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රමාදයන් පිළිබඳව රටේ මහජනතාව තුළ පවතින කනස්සළු ස්වභාවය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ යහපාලන රජය තුළින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකරමින් එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කඩිනමින් කටයුතු කළයුතු බවයි.

රටේ සිදුවූ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට තමා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා මඟින් ලබාදෙන වාර්තාවන්ට අදාළ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. එහිදී මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන නීතියට මරණ දඬුවම් වුවද ඇතුළත් කළ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. රාජ්‍ය අංශයේ ව්‍යාපාර ක්ෂේත්‍රවල පිබිදීමක් ඇති කිරීමේදී දූෂණයෙන්, වංචාවෙන් සහ අක්‍රමිකතාවයෙන් තොරව එම කටයුතු සිදුවීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දූෂණයට හා වංචාවට එරෙහිව කටයුතු කරන ආයතනවල භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන පිළිබඳ විගණන විමර්ශන සිදුකොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන විගණකාධිපති වාර්තා විභාග කිරීමේ සම්ප්‍රදායානුකූල ක්‍රමවේදයෙන් ඔබ්බට ගමන් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක්වන සියලුම රාජ්‍ය ආයතනවල මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම සහ කාර්යසාධනය පිළිබඳ තොරතුරු පරිගණක ජාලගත වැඩසටහනක් මඟින් ලබාගැනීමෙන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් එම තොරතුරු විශ්ලේෂණය හා විමර්ශනය කොට සිදු කළ බර තැබීම් අනුව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන ඇගයීම වෙනුවෙන් දෙවන වරටත් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

2016 මුදල් වර්ෂයට අදාළ පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත තොරතුරු පද්ධතිය මඟින් දිවයින පුරා විසිර තිබෙන සියලුම රාජ්‍ය ආයතන එනම්, මධ්‍යම රජයේ සියලුම අමාත්‍යාංශ, සියලුම දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු ආයතන 837 කින් ලබාගත් තොරතුරු ඇගයීමෙන් අනතුරුව විවිධ කාණ්ඩ යටතේ තෝරාගනු ලැබූ අදාළ මුදල් වර්ෂයේදී උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන 101ක් සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි. අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණී විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න