බැඳුම්කර පාඩුව අයකරගන්න නඩු දැම්මා | දිනමිණ

බැඳුම්කර පාඩුව අයකරගන්න නඩු දැම්මා

එයින් අපරාධ වරද අවසන් වන්නේ නැහැ අගමැති

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හරහා පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගම රජයට සිදුක මූල්‍යමය පාඩුව රජයට නැවත අයකරගැනීම සඳහා එම සමාගමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇති බවත්, රජය මුදල් අයකරගත් පමණින් අපරාධමය වරද අවසන් නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය. පර්පචුවෙල් සමාගම් ගිණුමේ රුපියල් බිලියන 11ක මුදල් තහනමට ලක්කර ඇති බවද අගමැතිවරයා පැවසීය. මහ බැංකු ගනුදෙනුවෙන් සිදුවූ අපරාධමය වරදක් ඇත්නම් ඊට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට සියලු ප්‍රතිපාදන සකසා ඇති බවත්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හෝ යම් පාර්ශවයකට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට හැකියාව ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.මහ බැංකු ගනුදෙනුවට එරෙහිව විශේෂ මහාධිකරණයේ අපරාධමය නඩු පැවරිය හැක්කේ නීතිපතිවරයාට හා අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාට බව පෙන්වාදුන් අගමැතිවරයා, 2018 අංක 09 දරන අධිකරණ සංවිධාන පනත ප්‍රකාරව එම කටයුතු සිදු කරන බව ද පැවසීය.

විශේෂ මහාධිකරණය දේශපාලන කරුණු මත පිහිටවූ අධිකරණයක් නොවන බවද අගමැතිවරයා පැවසීය.

නීතිපතිවරයාට, අල්ලස් කොමසාරිස්වරයාට කිසිඳු ආකාරයකින් බලපෑමක් සිදු නොවන බව පෙන්වාදුන් අගමැතිවරයා එම දෙපලගේ නිර්දේශ ඉල්ලීම් ප්‍රකාරව අගවිනිසුරුවරයා නිසි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නාතෙක් ඉවසා සිටිය යුතු බවද පෙන්වා දුන්නේය.

මහ බැංකු ගනුදෙනුවට එරෙහිව ආණ්ඩුව නීතිය උපරිමව ක්‍රියාත්මක කර ඇති බව පැවසූ අගමැතිවරයා, ඊට එරෙහිව ක්‍රියාත්මක නොකළ නීතියක් ඇත්නම් පෙන්වාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා එසේ පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ කිසිඳු සබඳකමක් නොමැති බව පැවසූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සිදුවූ පාඩුව නැවත අයකරගන්නට කියලා උපදෙස් ලබාදුන්නේ බැඳුම්කර කොමිෂමයි. ඒ අනුව නැවත අයකරගැනීමට නඩු පවරා තිබෙනවා. එම කොමිෂන් සභා වාර්තාව 2017 දෙසැම්බර් හා පෙබරවාරිවල අල්ලස් කොමිෂමට හා නීතිපතිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ලබාගැනීමට කිසිඳු බලපෑමක් නෑ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

2018 අංක 09 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව එක් විශේෂ මහාධිකරණයක් බස්නාහිර පළාතේ පිහිටුවා තිබෙනවා.‍

ඒ වගේම තවත් එක් විශේෂ මහාධිකරණයක් බස්නාහිර පළාත තුළ පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා.

2018-09-03 දින වන විට විශේෂ මහාධිකරණයට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා.

එකක් තමයි නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් අවභාවිත කරමින් මැදමුලන රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම. අනිත් එක තමයි ගාමිණී සෙනරත් ඇතුළු අයට එරෙහිව ලිට්රො ගෑස් මුදල් අවභාවිත කිරීම පිළිබඳ නඩුව.

2018 අංක 09 දරන අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අනුව සුදුසු පරිදි, නීතිපතිවරයා විසින් හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ විධානය මත, අල්ලස් හා දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, පනතේ සඳහන් වන යම් වරදකට අදාළව එකී වරදේ අවස්ථානුගත කරුණු සලකා බලා ඒ වරද සම්බන්ධව අපරාධ නඩුකටයුතු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරනු ලැබීය යුතුද යන්න පිළිබඳ විධානයක් ලබාගැනීමට, එකී වරද සිදුකිරීමට අදාළ තොරතුරු ගරු අගවිනිසුරුතුමා වෙත යොමුකරනු ලැබිය යුතු වෙනවා.

අගවිනිසුරුතුමා විසින් එම තොරතුරු සලකා බලා පනතේ දක්වා ඇති නිර්ණායක එකක් හෝ ඊට වැඩි ගණනක් සපුරා ඇති බව සිය මතය වන අවස්ථාවකදී, එතුමා විසින් තම අත්සන යටතේ වූ ආඥාවක් මඟින් ඒ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු කටයුතු, ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැවැත්විය යුතු බවට විධාන කරනවා.

විශේෂ මහාධිකරණය වෙත නඩු කටයුතු යොමු කිරීමේ ක්‍රියා පටිපාටිය වන්නේ මෙයයි. මෙය ඉතාමත්ම පාරදෘශ්‍ය (Transparent) විදිහට කරන ක්‍රියා පටිපාටියක්. දේශපාලන කරුණු කාරණා මෙතැනදී අදාළ වන්නේ නැහැ.

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2017 දෙසැම්බර් 30 වනදින ජනාධිපතිතුමන් වෙත භාරදුන්නා.එකී වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය බලාත්මක කරන ආයතන වන නීතිපතිතුමා වෙත හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පිළිවෙළින් 2018.01.02 සහ 2018.02.10 වැනි දින ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම වාර්තාවේ පිටපත් යොමුකර තිබෙනවා.

එකී වරදකරුවන්ට දඬුවම් ලබාදීම දැනට පවත්නා නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව සිදු කරනු ඇති. මේ සඳහා මම කලින් සඳහන් කරපු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් නඩු පැවරීම අවශ්‍යයි.

2018 අංක 09 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතේ විධිවිධාන අනුව,පනතේ සඳහන් වන වැරදි සඳහා එකී මහාධිකරණයේ නඩු පැවරීම,නීතිපති හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ විධානය මත අල්ලස් හා දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ පිළිබඳ විස්තර ගරු අගවිනිසුරු වෙත යොමු කිරීමෙන් පසුව ඒ පිළිබඳ තීරණයක් අගවිනිසුරුවරයා විසින් ගන්නවා ඇති. අනුර දිසානායක මන්ත්‍රීතුමා මේ විශේෂ මහාධිකරණය සහ එහි ක්‍රියාකාරීත්වය ගැන තිබෙන උනන්දුව මම අගය කරනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දී ඒ සඳහා යම් කාලයක් ගතවෙනවා. අපි කිසිම විධියකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව හැටියට අපි කළ යුතු දේ කළා. විශේෂ මහාධිකරණය පිහිටෙව්වා. තවත් විශේෂ මහාධිකරණයක් ළඟදීම පිහිටුවනවා. විපක්ෂයේ ප්රධධාන සංවිධායකතුමාට මම කියන්නේ තව ටිකක් ඉවසිලිවන්ත වෙන්න කියලා. නීතිපතිතුමාත් අගවිනිසුරුතුමාත් විශේෂ මහාධිකරණයත් යන ආයතන තුන යුක්තියත් සාධාරණත්වයත් ඉටුකරන බව මට විශ්වාසයි.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න