එජාපයේ 72 වෙනි සංවත්සරය අද | දිනමිණ


 

එජාපයේ 72 වෙනි සංවත්සරය අද

උපාලි කරුණාරත්න

එක්සත් ජාතික පක්ෂයේ 72 වෙනි සංවත්සරය අද(06) පෙරවරු 9.00ට පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. ‘වැඩ කරන වැඩ කරපු 72‘ මෙවර තේමාවයි.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන යාන්ත්‍රණයේ නායකයින්, මැති ඇමැතිවරුන්, ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වන බවද කී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සංවත්සරය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් යයිද පැවසීය.

මෙම තොරතුරු අනාවරණය වූයේ ඊයේ( 05) පිටකෝට්ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා-

එක්සත් ජාතික පක්ෂයේ 72වැනි සංවත්සරය 06 දිනට යෙදී තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපනයේ සිට රටට බොහෝ දේ දායාද කළ පක්ෂයක්. සංවර්ධනය, රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමට, රටට දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය දායක වී තිබෙනවා. මෙවන් පසුබිමක් යටතේ එක්සත් ජාතික පක්ෂයේ 72වෙනි සංවරත්සරය පෙරවරු 9.00ට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.

ඉදිරි කාලයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක්, දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යනවා. මේ වන විට ශාඛා සමිති ප්‍රතිසංවිධානය, බල මණ්ඩල ශක්තිමත් කිරීම, යොවුන් පෙරමුණු සෑදීම ආරම්භ කර තිබෙනවා. ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල අප ක්‍රියාත්මක කරනවා.

නව අදහස දක්වන්න