මලර්විලි ඇන්ටන්ට කාන්තා ව්‍යවසායකත්ව රිදී සම්මානය | දිනමිණ

මලර්විලි ඇන්ටන්ට කාන්තා ව්‍යවසායකත්ව රිදී සම්මානය

කාන්තා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ කාන්තා ව්‍යවසායකත්ව 2017 සම්මාන උළෙලේදී V & Eye Opticiansy හි සභාපතිනි මලර්විලි ඇන්ටන් මහත්මිය මධ්‍යම පරිමාණ අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මාතලේ ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයෙන් සහ හින්දු ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ මලර්විලි ඇන්ටන් මහත්මිය 1995 දී එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ සමාගමට පුහුණු වන දෘෂ්ටි විශේෂඥවරියක ලෙස සම්බන්ධ වී 1999 දී එම සමාගමේ බම්බලපිටිය ශාඛාවේ කළමණාකාරවරිය ලෙස පත් වූවාය. 2001 දී ඇයට එම සමාගමේ අධ්‍යක්ෂ ධුරයක් ද හිමි විය. එම සමාගමේ සේවය කිරීමෙන් පසු මලර්විලි ඇන්ටන් මහත්මිය ව්‍යාපාර ලෝකයට පියවර තැබුවාය. එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ සමාගමේ හිටපු සභාපති නැසීගිය රොහාන් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තමන්ට ලබා දුන් ධෛර්යය සහ සහයෝගය පිළිබඳ ඇය සිය කෘතඥතාවය පළ කළාය.

2005 දී මලර්විලි ඇන්ටන් මහත්මිය තමන්ගේම දෘෂ්ටි විශේෂඥ සමාගමක් දෙහිවල, රෝහල පාරේ, අංක 05 දරන ස්ථානයේ V & Eye Opticians නමින් ආරම්භ කළාය. ඇය Open International University for Complimentary Medicine & Medicina Altermativa වෙතින් කටු චිකිත්සාව පිළිබඳ උපාධියක් ලබා ගත්තාය. ‘කාන්තාවක් ලෙස මා ලැබූ ජයග්‍රහණය පිළිබඳව සහ රටේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සැපයීමට හැකි වීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. මේ සම්මානය වසර ගණනාවක් පුරා අපගේ පාරිභෝගිකයන් වෙත පිරිනැමූ ගුණාත්මකභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් ඉහළ සේවය සඳහා ලැබූ අගය කිරීමක් ලෙස හැඳින්විය හැකියි.” මලර්විලි ඇන්ටන් මහත්මිය සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවාය.

නව අදහස දක්වන්න