ඇල්ල වැනි සංචාරක පුරයක් මාතලේත් | දිනමිණ

ඇල්ල වැනි සංචාරක පුරයක් මාතලේත්

ආසියාවේ අතිශය ආකර්ෂණයකින් යුතු ඇල්ල වැනිම සංචාරක කලාපයක් මාතලේ ප්‍රදේශයේ සෙම්බුවත්ත වැව් පරිශ්‍රය ප්‍රමුඛ කොට ගොඩනැඟිය හැකි බවට ඇල්කඩුව වැවිලි සමාගමේ නව සභාපති නාලක දේවින්ද මඩවල මහතා පවසයි.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ පසුගිය දා සෙම්බුවත්ත ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිණි.

‘සෙම්බුවත්ත ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත්තේ කඳු ඉස්මත්තේ පිහිටා ඇති වැව නිසායි. සීතල මුසු සෞම්‍ය දේශගුණය, කඩිනමින් වෙනස්වන කාලගුණය, මීදුම මෙන්ම සමීපයේ ඇති සොඳුරුතම හරිත පැහැ කඳු පන්තිය, මේ සියල්ල නිසාම මෙතනට පැමිණෙන ඕනෑම කෙනකු තුළ ඇති කර‍න චමත්කාරය අපිරිමිතයි‍.

මේ ස්ථානයේ සුන්දරත්වය ආරක්ෂා කරමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් සංචාරක පාරාදීසයක් බවට පත්කළ හැකි මහා සම්පතක් ලෙස සෙම්බුවත්ත සඳහන් කළ හැකියි.’

ඇල්කඩුව වැවිලි සමාගම සතු සම්පත් අතර ප්‍රමුඛතම සම්පත ලෙස සැලකෙන්නේ සෙම්බුවත්ත වතු යායයි. තේ, කරාඹු ආදී වැවිලි ‍භෝගයන් මෙන්ම වසර 100 කට වඩා පැරැණි තේ කම්හල සහ පැරැණි වතු බංගලා මේ ස්ථානයේ වටිනාකම වැඩි කරන සම්පත් ලෙස හැඳින් වූ ඒ මහතා සංචාරක ආකර්ෂණය ඇති වන අන්දමින් ඒවා වැඩි දියුණු කිරීම මෙන්ම, සංචාරකයන් වඩාත් ආකර්ෂණය වන ආකාරයේ කබානා ආදිය නිර්මාණය කිරීමට සැලසුම් කරන බව ද සඳහන් කළේය.

ඉදිකිරීම් හා සියලු සංවර්ධන කටයුතු පරිසර හිතකාමී අන්දමින් සිදු කිරීමටත් පවතික සුන්දරත්වය සුරැකෙන අයුරින් කටයුතු කිරීමට සඳහාත් මේ වනවිට කමිටුවක් පත් කර ඇති බවත් සඳහන් කළ ඒ මහතා මේ මඟින් ප්‍රදේශයේ ජනජීවිතය ‍දියුණු කිරීමට පිටුවහලක් විය හැකි බව ද සඳහන් කළේය. එසේම ඇල්කඩුව වැවිලි සමාගමේ ආදායම ඉහළ නංවමින් රජයට වැඩි ආදායමක් ලබා දීම මුඛ්‍ය අරමුණ බවත්, සෙම්බුවත්ත වැව් පරිශ්‍රය මෙන්ම එහි ස්වභාවික සුන්දරත්වය ජාතික සම්පතක් ලෙස අනාගතයට ඉතිරි වන අන්දමින් කටයුතු කිරීම රජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේද අරමුණ බව නාලක මඩවල මහතා අවධාරණය කළේය.


නව අදහස දක්වන්න

Or log in with...