හොර නඩයක අවසානය! | දිනමිණ

හොර නඩයක අවසානය!

කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් විසින් සුප්‍රසිද්ධ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ ලියන ලද්දේ මීට වසර එකසිය හැත්තෑවකට පෙරදීය. ලෝක දේශපාලනයට වැඩිම බලපෑමක් කළ ප්‍රකාශනයක් ලෙස සැලකෙන එය ‘බයිබලය’ හැරුණු විට ලොව වැඩියෙන්ම අලෙවි වූ හා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතියයි. එය ලෝක දේශපාලනය වෙනස් කළ කෘතියකි.

ඔවුන් එම කෘතිය ආරම්භ කරන්නේ ප්‍රධාන ප්‍රවාදයකිනි. එනම් ‘මෙතෙක් පැවැති සියලු සමාජයන්ගේ ඉතිහාසය වූ කලී පංති සටන්වල ඉතිහාසයයි’ යනුවෙනි. ඔවුන් එමඟින් කීවේ ඉතිහාසය මතුපිටින් කුමන සිදුවීම් පෙනී ගියත් එය යටින් දිවෙන ගාමක බලය වන්නේ පංති සටන බවයි. සමාජ‍ය වෙනස් වන්නේ එමඟින් බවයි.

එලෙස ඉතිහාසයේ ප්‍රධාන ගාමක බලය පංති සටන බව කී කාල් මාක්ස් ප්‍රංශයේ ලුයි බොනපාට්ගේ නැඟීම ගැන පසු කලෙක ලියූ විවේචනයකදී කීවේ ලුයි බොනපාට් ප්‍රංශයේ නන්නත්තාර පංතීන්, රස්තියාදුකාරයන් හා ලුම්පන් ජනයාට හොඳින් කන්න බොන්න දුන් බවත්, එසේ කා බී විනෝද වූ ලුම්පන් ජනයා අපේ මහරජ ඔබයි කියා ලුයි බොනපාට් බලයට පත්කිරීමට කැප වූ බවත්ය. ඒ කියන්නේ පංති අරගලයට වඩා වෙනත් සංසිද්ධියකි. ලුම්පන් කල්ලියක් තමන්ගේ ආර්මාර්කය සඳහා ඉදිරියට එන්නේ මහජනතාව ලෙස වෙස්මුහුණු බැඳගෙනය. ‍ඔවුන්ගේ අරමුණ තමන්ගේ බඩකට පුරවා ගැනීමය. ලුයි බොනපාට් බලයට පත්කර ගන්නේ ඒකටය. ඒ ලුම්පන්, රස්තියාදුකාර, නන්නත්තාර ජනයාගේ හැටිය.

මත්පැන් සමඟ දන්සල්

ලුයි බොනපාට්ගේ එම ක්‍රියාමාර්ගයට හරියටම හරියන වැඩපිළිවෙළක් පසුගිය කාලයේ සිට ක්‍රියාත්මක කරන්නේ මහින්ද රාජපක්ෂ පාලනය විසිනි. එය හොඳටම පෙනී ගියේ 2009 පැවැති වයඹ මැතිවරණයේදීය. එහිදී ප්‍රධාන අපේක්ෂකයන්ගේ දන්සැල් දක්නට ලැබුණි. එසේ මෙසේ දන්සැල් නොවේ මත්පැන් සමඟ දන්සල්ය. තවත් බොහෝ දේ බෙදා දුන්හ. ඒවා කළේ මහජන ධනය සොරාකමිනි.

එවකට සිටි වෙළෙඳ ඇමැති මෙය ලියන මොහොත වන විට සිටින්නේ රිමාන්ඩ් භාරයේය. සතොස ආයතනයෙන් කෝටි පහක භාණ්ඩ හොරෙන් ගැනීමේ චෝදනාවකටය. සමහරු දැන් කියන්න හදන්නේ එම භාණ්ඩ ගංවතුර සහනාධාර දෙන්න ගත්තා කියාය. ඇත්තටම දන්සල දුන්නේ ඡන්දයටය. ගංවතුරට වුවත් රජයේ භාණ්ඩ හොරෙන් ගෙන බෙදා දෙන්නට බැරිය.

එකල ඡන්ද කළ පාලක කල්ලියේ හැමෝම කළේ මහජන මුදලින් නැතහොත් හොරා කෑ මුදලින් දන්සල් දීමය. මහින්ද රාජපක්ෂ මහතා විසූ අරලියගහ මන්දිරයේ හැමදාම දන්සල්ය. ඒ තනිකරම මහජන මුදලිනි. ඒවාට මුදල් ගන්න අත්‍යවශ්‍ය ආහාරවලට බදු පනවා තිබිණි. ඛනිජ තෙල්වලට අම්බානක බදු ගසා තිබිණි.

රජරට පැත්තේ සමහරු බෙදුවේ උදලුය. සමහරු වතුර මෝටර්ය. වෙනත් පැතිවල තව තව දේ බෙදා තිබුණි.

හොරකමට වීරයෝ

කොළඹ මැතිවරණ තියන විට හෝමාගම පැත්තේ දිවා රෑ දන්සලකි. විමල් වීරවංශ ඇමැතිවරයාගේය. ඒ ඇමැති කළ ඥාති සංග්‍රහයට දැන් නඩු වැටිලාය. ඒ අහුවුණු ඒවාටය. එහෙම ජාතික ධනය හොරකම් කළ උදවිය හිරේ යන්නේද වීර ක්‍රියාවක් කළවුන් සේය. ඊයේ පෙ‍රේදා ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිරේට ගියේ ද ඒ ආකාරයෙනි.

මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි ප්‍රධාන ක්‍රියාකාරීන් හැමදෙනාටම කේස් ය. පවුලේ උදවියට හොරකම් කේස්වලට අමතරව මිනීමැරුම් ගැන ද චෝදනා එල්ලවන තත්ත්වයකි. කල්ලියේ ඊළඟ නායකයා කරන්නට යන නාමල් පුතාට කේස් පහ හයකි. කිසිම ආදායම් මාර්ගයක් නැතිව සිට කෝටි ගණන් ඉපැයූ ආකාරය ගැන ප්‍රශ්නයකි. රගර්වලට කියා කෝටි ගණන් මුදල් ලබාගෙන සාක්කුවේ දමා ගැනීම තවත් කේස් එකකි. මේවා ගැන අධිකරණ තීන්දු තවම නැතත් සිදු වී තිබෙන්නේ මොනවාදැයි සිතාගැනීම අපහසු නැත.

විශේෂ මහාධිකරණයේ පළමු නඩුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල අධිපතිටය. කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබඳවය. ඊළඟ නඩුව කල්ලියේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නට යන ගෝඨා මල්ලිටය. රජයේ ආයතනයක මුදලින් අම්මා, තාත්තාගේ සොහොන් කොත් සෑදීම පිළිබඳවය. මහජන මුදල් භාවිතකොට තිබෙන්නේ අම්මා, අප්පාගේ බූදලේ කියා සිතාගෙනය.

ඒකාබද්ධයේ කැඳවුම්කරු යයි කියන ප්‍රසන්න රණතුංගට ඇත්තේ අප්‍රසන්නම චෝදනාවකි. කප්පම් ගැනීමකි. කප්පම් ගැනීමට මරණ තර්ජන කරන හඬපටි උසාවියේදී අසන්නට ලැබිණි. කතා කරන්නේ කවුද යන්න ගැන කිසිදු සැකයක් එය අහන උදවියට නම් ඇතිවන්නේ නැත. හිටපු ජනාධිපතිගේ අනෙක් මල්ලිට නඩු ගණනාවකි. ඒවායින් කට්ටි පනිමින් ඉන්නේ විවිධ දේ කියා ‍දින ගනිමිනි. දැන් අසනීප වී බෙහෙත් ගන්න අමෙරිකාවට ගොසිනි. එසේ වුවද දිනෙක ආපසු එන්න වනවාය. දොම්පේ අක්කර දහසයක ඉඩම හා මාලිගාව ගැන උත්තර දෙන්නට වනවාය. තවත් බොහෝ දේ එළියට එන්නට නියමිතය.

සාක්කුවට ගිය කාපට්

සමහරු කියන්නේ බැසිල් මල්ලී දේශපාලනයට ගම්පහට ආවේ වැඩිම පාරවල් තියෙන දිස්ත්‍රික්කයක් නිසා බවය. පාරවල් කාපට් කිරීම ඉතා වාසිදායක හොරකම් කිරීමේ ක්‍රමයක් බව කියති. කාපට් එකට ඇස්තමේන්තුව හැදෙන්නේ අඟල් හයකටය. පාරට වැටෙන්නේ අඟල් තුනකි. ඉතිරි හරිය සාක්කුවටය.

පාරවල් හැදීමේදී බැසිල් බස්නාහිර පළාතට සීමාවූයේ නැත. කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්ක ද අල්ලා ගත්තේය. ඒ පළාත්වල සිටි දේශපාලනඥයෝ හූල්ලමින් බලා සිටියහ. මේවා කවුරුත් දන්නා කරුණුය. තවත් හිටපු ඇමතියෙක් ගැන හෙළිවුණේ පවුලේ ආරවුලක් හේතුවෙනි. රටේ නොව ලෝකයේ වෙනත් රටවල ද දේපළ අත්පත් කරගෙනය. දැන් කියන්නේ අම්මා අප්පාගෙන් ලැබුණු දේපළ බවයි. හැබැයි අම්ම අප්පට එහෙම දේපළ තිබුණු බවක් දැනගන්නට නැත. ඇමැති වෙන්නට පෙර ජීවිතය පටන් ගත්තේ නම් රක්ෂණ නියෝජිතයකු වශයෙනි.

සමහරු ගැහුවේ ජාත්‍යන්තර මට්ටමිනි. එක මස්සිනා කෙනෙකුට වරෙන්තු තියෙන්නේ මිග් යානාවලින් ගැහූ ගැහිල්ලක් ගැනයි. වැඩිකල් නොගොස් එයාට මෙරටට එන්නට වන බව කියති. ශ්‍රී ලන්කන් එයාර් ලයින්, මිහින් ලංකා ආදී ගුවන් සමාගම් භාරදී තිබුණේ තවත් මස්සිනා කෙනෙකුටය. ඔහුගේ ගැහිලි ද රජ ගැහිලි බව දැන් හෙළිවෙමින් තිබෙන්නේ ජනාධිපති කොමිසමක් ඉදිරියේය.

කණ්ඩායම ම හොරු

මේ කල්ලියේ තවත් සගයෙක් වන්නේ ගම්මන්පිලයි. ඔහු කර තිබෙන්නේ අනුන්ගේ කොටස් ලියා ගැනීමයි. ඒ නියම හිමිකරුවන්ට ජීවිත තර්ජන එල්ල කරමිනි. දැන් එම හිමිකරුවන් අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් කියන්නේ තමන්ට තර්ජනයකොට තම කොටස් හිමිකම් හොරෙන් ලියාගත් ආකාරයයි.

මහින්ද රාජපක්ෂ කල්ලියේ ප්‍රධානීන්ගේ කැරැට්ටුව ඒකය. එක් එක්කෙනාගේ පෞද්ගලික ක්‍රියාකාරීත්වයක් නොවේ. මෙය මෙම කණ්ඩායමේ සංවිධානාත්මක ස්වරූපයයි. හොරකම් කරන්නට ආධාර අනුබල දුන්නේ ඉහළම නායකයන් විසිනි. මැති ඇමැතිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සියලුදෙනාට ඒ ඒ ප්‍රමාණයෙන් සොරකම් කරන්නට ගසාකන්නට ඉඩ දී තිබිණි. එක එක්කෙනාට හම්බ කරගන්න විවිධ විධි සකස්කොට තිබිණි.

සමහරු කළේ වැලි ගොඩදැමීමයි. තවත් සමහරු ගස් කැපූහ. රජයේ ඉඩම්, රක්ෂිත බලෙන් අල්ලා ගැනීම ද ජයටම කෙරිණි. සමහරු මහා කසිප්පු ජාවාරම්කරුවෝ වූහ. හෙරොයින්, ගංජා ජාවාරම ද ජයටම කෙ‍රිණි. රාජපක්ෂ කල්ලියේ ඇතැම් හෙංචයියන්ට ස්ත්‍රී දූෂණයට පවා ඉඩ දී තිබිණි. ඒවාට නඩු නැත. ඇතැම් නඩු එළියට ආවේ එම පාලනය පෙරළුණු පසුවය.

මෙලෙස මෙම කල්ලිය ගොඩනැඟී ඇත්තේ මහජන ධනය කොල්ලකන හොර මැරකම් කර ජීවත්වන කණ්ඩායමක් ලෙසිනි. ඔවුන් දේශප්‍රේමය ගැන හෝ රට ගැන හෝ කතා කරන්නේ බොරුවටය. රටට ආදරය කරන උදවියට නම් ජාතික ධනය කොල්ලකමින් ජීවත්විය නොහැකිය. දේශප්‍රේමය යන්න මොවුන්ට බලයට ඒමට හෝ බලයේ සිටීමට ප්‍රචාරය කරන ව්‍යාජ මතයක් පමණකි. ඇත්තටම කරන්නේ රටේ ජාතියේ සම්පත් කාබාසිනියා කිරීමකි.

මොවුන්ගේ එක උපක්‍රමයක් නම් කවුරු හෝ සතුරෙක් මවා පෙන්වීමයි. එමඟින් රට බියපත් කිරීමයි. නැත්තට නැතිකළ එල්. ටී. ටී. ඊ. ය යළි මවා පෙන්වන්න හදන්නේ ඒකටය. කලක් තිස්සේ කීවේ බටහිර ජාතීන්ගේ කුමන්ත්‍රණයක් ගැනය. විදුලි පුටුවක් ගැනය. පසුගිය කාලයේ හැදුවේ ඉන්දියානු තර්ජනයක් මවා පෙන්වන්නටය. දැන් සිංගප්පූරු ගිවිසුමක් අල්ලාගෙන බොරු බිල්ලන් මවන්නට හදති.

මේ කට්ටිය උද්ඝෝෂණ කරන්නේ නැවත බලයට එන්නටය. ඒ යළිත් වතාවක් පුරුදු සෙල්ලම පටන් ගන්නටය. මහජන ධනය සොරකම් කරන්නටය. මහජන ධනය ගසාකමින් රජ සැප විඳින්නටය. මොවුන් පුරුදු වී තිබෙන්නේ ඒකටය.

රාජපක්ෂවාදී මෙම කණ්ඩායමට දැන් දැන් කාලය පිළිබඳ ප්‍රශ්නය ද බලපාන්නට පටන්ගෙන තිබේ. ඒ මෙම කල්ලියේ නායකයන්ගේ බෙල්ලට තොණ්ඩු වැටෙන්නට කාලය හරි නිසාය. මේ බොහෝ දෙනෙකුට එරෙහිව තිබෙන නඩු කටයුතු දැන් තීරණාත්මක තැනකට ඇවිල්ලාය. නාමල්ට, බැසිල්ට, ගෝඨාට, මහින්දානන්දට හා අනෙක් අයට එරෙහි නඩු විභාග ඉදිරි කාලයේ පටන් ගන්නට නියමිතය. ජෝන්ස්ටන් මේ වන විටත් රිමාන්ඩ් එක ඇතුළේය. විමල් වීරවංශගේ, උදය ගම්මන්පිලගේ නඩු ද තවත් කල් ඇදගන්නට බැරි තත්ත්වයට පත්ව ඇත. ඉතින් දැන් මෙම කල්ලියට ආණ්ඩුව පෙරළන්නටම ඕනෑ ය. හැබැයි කරන්නට බැරි දේ ද ඒකය. එසේ වුවද කැස කවන්නේ ඒකටය.

එකාට එකා නෑ

සොරකම් කළ මුදල් ඇති නිසා බස් යොදා තම සගයින් ගෙන්වා ගන්නට මොවුනට හැකියාව ඇත. කන්න බොන්න දෙන්න අඩුපාඩුවක් ද නැත. උද්ඝෝෂණ කරන්නේ ඒ හයියෙනි. හයිය පෙන්වන්නේ මෙරට සැබෑ මහජනතාවටය. හැබැයි දැන් මේ කල්ලියේ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන්නේ බරපතළ ආරවුලකි. ඇත්තටම තිබෙන්නේ එකාට එකා නැතිවන තත්ත්වයකි. ඔවුන් කරගෙන තිබෙන ගණන් බැලීම් අනුව ඉදිරි මැතිවරණ ජයගන්නට බැරිය. නායකත්වය පිළිබඳව ද ප්‍රශ්න ගොඩකි. උපාය උපක්‍රම ගැන විවිධ යෝජනාය. සමහරු හදන්නේ මෛත්‍රීට නැවත ජනපති වෙන්න උදව් කර හෝ අගමැතිකමවත් මහින්දට ගන්නටය. මහින්ද එයට කැමැති නැතැයි ඇතුළේම ගෝරියකි. රාජපක්ෂ කල්ලිය වැටී තිබෙන ඇත්ත බංකොලොත් තත්ත්වය ඒකය.

මෙලෙස යළි නැගිටින්නට හදන්නේ මේ රටේ ජනතාව වරෙක පරාජයකොට පළවාහැරිය බලවේගයකි. ඔවුන්ව පළවාහරින ලද්දේ රටේ ධනය කාබාසිනියා කළ නිසාය. හොරා කෑ නිසාය. ජනතාව තවමත් කේන්තියෙන් සිටින්නේ මේ පිරිසට නිසි දඬුවම් තවමත් නොලැබීම ගැනය. තවමත් උඩ පනින්න ඉඩ දී තිබීම ගැනය. එසේ වුවද මෙම කල්ලිය නැවත බලයට එන්නට දැඟලුවහොත් ජනතාව පෙරටවිත් ඔවුන් පරාජය කරන එක සිකුරුය.

සී.ජේ. අමරතුංග

 

නව අදහස දක්වන්න