සද්දෙට ‍රැවටෙන මවුබිම මගේය | දිනමිණ

සද්දෙට ‍රැවටෙන මවුබිම මගේය

රටක උගතුන් හා බුද්ධිමතුන් නූතන සේරිවානිජලා අතින් ප්‍රතික්ෂේප වී යන සන්දර්භයක ඒ සේරිවානිජලා ම ළාමක, හිස් මිනිසුන් ජනප්‍රිය කරවා, අන්දමන්ද කරවා සමාජයට දැවැන්තයන් ලෙස හඳුන්වා දෙන්නේ සංස්කෘතික සළුපිළි ද අන්දවමින් ය. මේ සේරිවානිජ ලෝකයේ විවිධාකාරව සකස් කර ඇති ධාවන තරගවලට තල්ලු වී රටටම ණය හා බය ද වෙමින් සමාජය ඉදිරියේ නිර්වස්ත්‍ර වී හූල්ලමින් සිටීම හැර වෙන විකල්පයක් මේ සේරිවානිජයන් අපට ඉතිරි නොකිරීම අපේ ම අවාසනාව ය. විකල්ප හඳුන්වා දෙන්නේ ද ඔවුන්ම ය. සිතා බලා කටයුතු කිරීමට පුරුදු පුහුණු නොකළ අධ්‍යාපනයෙන් සකස් වූ මොළ ගෙඩිවලින් දෙන්නේ ද අපායේ වැටෙන මං මය.

අධ්‍යාපන කඩ, කෑම කඩ, විලාසිතා කඩ, ආගමික කඩ, දේශපාලන කඩ, බෙහෙත් කඩ හා රෝහල් කඩ ආදී කඩ සංස්කෘතියක් මැද අපේ ජීවිත කඩාගෙන යන බව නොතේරේ. නොදැනේ. වැඩිහිටි අපට නම් කම් නැත. ඒත් අපේ දරුවෝ? ගැලවී ගත නොහැකි මහා සේරිවානිජ සැඩ පහරකට හසු වී ගසා ගෙන අපට අපේ දරුවන් ගලවා ගැනීමටවත් අවශ්‍ය කායික මානසික ශක්තිය ඉතිරි වී නැත. අප බෙලහීන වී ඇත. අපි දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිමු.

ඇස් ඇර බැලූ විට පෙනෙන්නේ සුරපුරයක් ය. අති අලංකාර වාහන, සුන්දර රූසපු ඇති ලඳුන්, අලංකාර නිවෙස්, නවීන විලාසිතා, ඇස රවටන දසුන් හා කන රවටන නාද, මිහිරි බණ දෙසුම් ආදී බොහෝ දේ යටින් අපට නොදැනෙන, නොපෙනෙන සුළි කුණාටු, අකුණු සැර, හෙණ, විෂ ඝෝර සතුන්, සුනාමි ඇතිවන බව නොදැනෙන්නේ අපේම කරුමයට විය යුතු ය. අපි මෙන්ම අපේ අහිංසක රට ද ණය උගුලේ හිරවී මිරිකී සිටින බව සැවොම කියති. දනිති. ඒත් එකී විපත් හදවතේ ගැඹුරින් තැන්පත් නොවීම නිසා හා ලජ්ජා බය දෙකම අපෙන් ඈත් වූ නිසා දෝ විපත් පෙනෙන්නේ ද සැපයක් ලෙසම ය.

වලිග පාගාගත් විපක්ෂය හා ආණ්ඩු පක්ෂය

දේශපාලනඥයන්ගේ අපේක්ෂාව කෙසේ හෝ බලයට පැමිණිමයි. උගතුන්, ආගමික නායකයන් හා සාමාන්‍ය ජනතාව කල්පනා කරන්නේ ද තම තමන් රුචි කරන්නා වූ අපේක්ෂකයන් බලයට පමුණුවා ගැනීමට ය. එහි දී සැබෑ ප්‍රතිපත්ති, අතීත කියුම් කෙරුම්, හැකියා, අධ්‍යාපන සුදුසුකම් ආදී අත්‍යවශ්‍යම කාරණා එතරම් වැදගත් නොවන අතර චාටු කතා තෙපලන ප්‍රේමවන්තයකුට රැවටෙන තරුණියක මෙන් අපි ද අපේක්ෂකයන්ට රැවටෙන්නෙමු. තම හිස, තම අත, තම හද ගැන විශ්වාසය නොතබා දේශපාලනඥයන් වෙතින්ම ගොඩයාමට මගබලා සිටින්නෙමු.

වරක් දෙවරක් නොව සිය දහස් වරක් රැවටුණ ද කම් නැත. ඊළඟ වාරයේ හෝ තම අපේක්ෂා ඉටුවේ ය යන බලාපොරොත්තුවෙන් රෑ වැටුණු වළේ දවල් පමණක් නොව ඕනෑම විටෙක වැටෙන්නෙමු. දණින් වැටීම සැපයක් බව ද වැඩකිරීම පසෙක ලා යැදීම සුදුසු බව ද සිතන්නෙමු. තමන්ට රුචි දේශපාලනඥයන් අපිරිසිදු වූ විට ඔවුන්ව නහවා, පිස දමා, සුදු සළුපිළි අන්දවන්නෙමු. ඔවුන්ගේ කියුම් කෙරුම් දෙස බලා සතුටු වන්නෙමු. අකමැති දේශපාලනඥයන්ව අපිරිසිදු කරන්නෙමු. ඒ වෙනුවෙන් කෑ ගසන්නෙමු. වෘත්තියක යෙදෙන කාලය පවා උගසට තබා දේශපාලනඥයන් පසුපස ගොස් යදින්නෙමු. දෙන දෙයක් ලැබ ඉවසන්නෙමු.

ආණ්ඩුව නියමිත කාලයට පෙර පැරදවීමට විපක්ෂය පිඹුරුපත් සකසයි. ජනතාව අතර වාද භේද ඇති කරයි. විරෝධතාවලට උඩගෙඩි දෙයි. ආනන්තරීය පාපකර්ම වුව ද කර බලයට ඒමට කැසකවයි. මේ සියල්ල අපේ සැපතට බව සිතමින් විපක්ෂයට ළැදි පුලන්නෝ (ජනතාව) විපක්ෂයට කඩේ යති (කායිකව හා මානසිකව). විපක්ෂය වෙනුවෙන් උරණ වෙති. රණ්ඩු කරති. කෑ ගසති. වැඩ පැහැර හරිති. දීමට නොහැකි වරදාන වරප්‍රසාද ඉල්ලති. විරෝධතාවලට පෙළඹෙති. මේ සියල්ල රට සංවර්ධනය කොට අපේ ළමයින්ට යහපත් අනාගතයක් ඇති කිරීමට ද? “අපි බලයට ආවොත් මේ රට නැවත ගොඩගන්නවා”(බලයේ සිටි කාලයේ රට ගොඩගිය බව ඔවුන් තරයේ විශ්වාස කරන අතර ඔවුන්ගේ එහෙයියෝ ද එලෙසම සිතති). “අපේ ජනතාව දුක් විඳිනවා”ලෙස කියනු ලබන ප්‍රකාශ අසා අපි අසීමිත බලාපොරොත්තු දල්වාගන්නෙමු.

ආණ්ඩු පක්ෂය ද බලයට පැමිණි පසු විපක්ෂයේ සිටිය දී කළ කී දෑ අමතක කර තම තමන් දිව්‍ය ලෝකයකට යාමට උත්සාහ දරන අතර ජනතාව කුම්බලා මාළු කෑ නිසා පැමිණි දුක් පැණි රසයයි කියමින් කල් ගෙවති. ආණ්ඩුව සියලු උත්සාහ දරන්නේ නැවත බලයට පැමිණිමට නොව ස්ථිරව පරාජයට පත්වීමට ය. විපක්ෂය මෙන්ම විපක්ෂයට ළැදි ජනතාව ද බලය නැති විට හැසිරෙන්නේ ඉතා බුද්ධිමත් හා පරමාදර්ශී ලෙස වන අතර බලයට පැමිණි විට ඉතා මෝඩ ලෙස හැසිරෙන්නේ 'බලය ඇති විට මොළය නෑ - මොළය ඇති විට බලය නෑ' යයි යන කියමනේ සත්‍ය බව තහවුරු කරමිනි. මොවුහු තමන් වටා සිටින අනුගාමිකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද බයට පත් කරති. කේන්ති ගනියි. සීතාම්බර පටය හැඳි රජතුමන් ලෙස හැසිරේ. මේ නිසා නිලධාරීහු ඔවුන් කරන කියන දේ අනුමත කොට ඇන ගන්නට ඉඩ සලසා ‍නිහඬව සිටිති. ගන්නා බොහෝ තීන්දු තීරණ අපගේ නිවෙසක හෝ නොගන්නා අඳ බාල තීරණ වන අතර කාලය, ශ්‍රමය, ධනය නාස්ති වී නිෂ්ඵල වී යන්නේ මේ හෙයිනි.

පාර්ලිමේන්තුවේ ගැලරියට ගිය විට දේශපාලනඥයන් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත හැකි වුවද එසේ පාඩම් ඉගෙන හැදෙන්නේ කවුද? බොහෝ දෙන මැරයන්, චෞරයන්, මෝඩයන් ලෙස හැසිරෙන විට මතක් වන්නේ නන්දා මාලිනිය ගායනා කරන අවුරුදු දෙදහස් පන්සීයක් දැං වයසයි ගීතයයි. “උගුල් අටවලා උනුන් කොටවලා - රජවෙති මගේ උන් හැමදාමත්, දරුවන් නොව උන් පරයින් මැරයින් මගේ දේ කා මට වින කෙරුවෝ.”

වැඩ කිරීමට වඩා වැඩ පෙන්වීමට මේ දෙපිරිසම අති දක්ෂය. ආණ්ඩු පක්ෂය සිදු කරන යහපත් දේට සහයෝගය පළ කිරිම, සාධාරණ විවේචන සිදු කිරීම, අනාගතයේ රට පාලනයට තමන් සතු සුදුසුකම් පෙන්වීම, නියම විපක්ෂයක කාර්යභාරය බව සාර්ථක රටවල් දෙස බැලූ විට පෙනේ. ආණ්ඩු පක්ෂය ද තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමට වග බලා ගත යුතුය. කෙටිකාලීන වාසි නොසලකා රටට අත්වන දිගුකාලීන වාසි සැලකිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවන ප්‍රතිපත්ති නොව ජාතික ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුය. අනාගතය මත නොසිතා ගත් බොහෝ තීන්දු තීරණ කලක් යන විට අසාර්ථක වන බව පෙනෙන විට අති විශාල මුදලක් වියදම් වී හමාරය.

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකිනෙකාට ඇහුම්කන් නොදේ. රට නමැති කරත්තයට නොගැලපෙන රෝද සවි කළ විට කිසි විටෙක ඉදිරියට නොයයි. එකිනෙකා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා නොකරති. කා කොටා ගනිති. සැම විට ම අවිශ්වාසයෙන් අනෙකා දෙස බලති. එහෙත් ඔවුන්ගේ පඩි නඩි හා වරප්‍රසාද සම්බන්ධයෙන් එකට සිටගනිති.

සද්දේ තරමට ඡන්දේ

ඉතා කුඩා ඉදිකිරීම් පවා අලංකාර උත්සව පවත්වා ජනසතු කරන අතර අති විශාල මුදලක් ඒ සඳහා ද වැය වේ. එලෙස නොකර බැරි වී ඇත්තේ සද්දේ තරමට ඡන්ද හිමිවන නිසා බව අත්දැකීමෙන්ම දන්නා නිසා ය. විවෘත කරන්නේ වැඩ නිමවූ දිනයට නොව බලවතුන්ගේ උපන් දින, විවිධ සැමරුම් ඉලක්ක කොට ගෙන ය. වැඩ නිම නොවුණත් විවෘත කෙරෙන අතර උත්සවයෙන් පසු නැවත ඉදිකෙරේ. ගෘහයක් සෑදීමේ දී සාමාන්‍ය මිනිසුන් වන අපි දු ණය මුදලක් ගෙන ඉතා අර පරිස්සමෙන් වියදම් කරන්නෙමු. හොඳ ශිල්පීන්, අඩු පිරිවැය , හොඳ නිමාව ගැන සැළකිලිමත් වන අපි වැඩ නිමවූ පසු හිතවතුන්ට සංග්‍රහයක් කර අදාළ ගෘහයේ පදිංචිය සංකේතවත් කරන්නෙමු.

ලබා ගන්නා ණයෙන් කොටසක් බිරින්දෑවරුන් හෝ මහත්වරුන් යටි මඩිගසා තම සුඛ විහරණයට පමණක් යොදා නොගනී. පවුලේ සැම එක්ව සියල්ල භුක්ති විඳින අතර ණය ගෙවීම අපි සියල්ලන්ගේම වගකීමක් බව සිතන්නෙමු. එහෙත් රට වෙනුවෙන් ගන්නා ණය කළමනාකරණය වන්නේ එලෙස ද? රටවැසි සියල්ලෝම ණය ගෙවීමට බැඳි සිටිති. විදේශ ණය කන්දට යටවී වැළලී යන්නට අපට සිදුවන්නේ කන්දක් විලි ලා මී පැටියෙකු වැදුවා වැනි සංවර්ධනය නිසා ය. රැවටීම හා රැවැට්ටවීම සම්ප්‍රදාය වෙමින් රට පුරා රයිගමයන් හා ගම්පලයන් වැඩියෙන් බිහිවන ලකුණු පෙනෙන මෙකල උඩුගම් බලා පිහිනීමට ද නොහැකි වී ඇත්තේ පිහිනිය යුතු උඩුගම් ද දැන් වල්බිහි වී ඇති නිසා ය .

විවාහයක් සඳහා මනාල මනාලියන් තෝරා ගන්නා විට බොහෝ සුදුසුකම් පරීක්ෂා කෙරේ. පොරොන්දම්, කුලය, වත් පොහොසත්කම්, පවුල් පසුබිම, උගත්කම හා රැකියාව වැනි බොහෝ දේ සැලකුව ද දේශපාලන අපේක්ෂකයන් තෝරා ගැනීමට එතරම් දුර යාම අවශ්‍ය නොවේ. දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට හා වෙනත් ආයතනවලට තෝරා පත්වන ආකාරයේ සුදුසු නුසුදුසු බව තේරුම් ගැනීමට යාමට වඩා නිර්වානාවබෝධය පහසු විය යුතු ය.

දේශපාලන පක්ෂ බොහෝ ගිහියන්ගේ ආගම වී ඇති අතර කරුමයකට මෙන් ඇතැම් භික්ෂූන් ද එවැනි තැනකට තල්ලු වී ම නම් මහත් පුදුමයකි. රාජ්‍ය ආයතන බොහොමයක දේශපාලන මතවාද කටින් ආරම්භ වී පසුව අතින් පයින් අවසන් වූ අවස්ථා ද සුලභ ය. දේශපාලන මතවාද මත මිතුරන් සතුරන් වීමට ගත වන්නේ සුළු මොහොතකි.

දේශපාලන කතා බහේ දී අපි මෙන්ම භික්ෂුන් වහන්සේලාද ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස වාග් ප්‍රහාර එල්ල කරමින් උන් වහන්සේලාගේ මහා හික්මීමට “නො”යන්න එකතු කරගනිමින් හැසිරෙන්නේ උන් වහන්සේලාගේ ශාස්තෘවරයා කවුදැයි අපටම ප්‍රශ්නයක් ඇති කරවමිනි. මෙයින් පෙනී යන්නේ දේශපාලනය යනු අපව සිහි මූර්ජා කරවන පියවි තත්ත්වය නැති කරවන රෝගයක් බව ය. තමන් කවුද යන්න අමතක වීම, රටේ සම්පත් තම පෞද්ගලික ධනය ලෙස පෙනී යාම, අධික කෝපය, මුල අමතක වීම, අන් අය ඉදිරියේ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීම, සියල්ල දන්නා බව පෙන්වීම, අන් මත නොඉවසීම වැනි මෙකී රෝගයේ රෝග ලක්ෂණ බොහෝ ය.

අනේ ! වනේ වන හතුරෙකුට හෝ මෙවන් රෝ දුකක් නොවැලඳේවා.

 

කථිකාචාර්ය දහම් බාලසූරිය
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය
උණවටුන - ගාල්ල
[email protected] 


නව අදහස දක්වන්න

Or log in with...