අඩ-නාරී | දිනමිණ

අඩ-නාරී

සේන - සමන්ති යුවතිපති

සුබ මොහොතින් අතිනග ගනිති

ආදර අක්කාණෙනි, අයියේ

මේ සුබ පැතුම් පිළිගනු මැනවි

 

රන්වැල්ලේ සැනසිල්ලේ

නිවසෙහි මේ සුබ මංගල්ලේ

 

ත්‍රිවිධ රත්නේ පිහිට ලබා

නිදුක් නිරෝගීව සැනසේවා

රටක් වටින දූ පුතුන් ලබා

සියක් වසක් ආයුෂ වේවා!

 

ජය වේවා - සැප‍ෙවො

ඔබ දෙපොළට සුබ සුබ වේවා!

 

ළමා සාරියෙන් සැරසුණු බාලිකාවන් සිව් දෙනෙකු විසින් මනහර ලෙස ගැයුණු මෙම පිළිගැනීමේ ගීතයෙන් පසු නව යුවළ නිවසට සැපත් වූහ. එවිටම මනාල පර්ශ්වයේ ඥාති තරුණයකු දොර උළුවස්සේ එල්ලා තිබූ මල් වෙඩිල්ලක නූල පහතට ඇද්දේය. “පොප්’ යනුවෙන් නැඟුණු හඬත් සමඟම වර්ණවත් කඩදාසි කොළ වැස්සකින් නව යුවළ තෙමී ගියේය. මනාලියගේ සිහින් තලඑළළු මුහුණේ කෝල සිනාවක් පිපී තිබුණේ ය.

මනාල මහතා වූ ‘සේන’ හතර කෝරළය පැත්තේ පිහිටා තිබූ එක්තරා රාජ්‍ය ආයතනයක සාමාන්‍ය තනතුරක් දැරුවේය. ඔහුගේ අනිනත ගත්ත මනාලිය වූ ‘සමන්ති’ හඳුනා ගැනීමට හැකි වූයේ එක්තරා රාජකාරි මට්ටමේ කටයුත්තකදීය. ‘සමන්ති’ ඕනෑම වගකීමක් අනලස්ව ඉටු කරන ඉතා කාර්ය සූර තැනැත්තියක වූවාය. ඇගේ මේ ගති ලක්ෂණය ‘සේන’ ගේ සිත තදින් පැහැර ගැනීමට සමත් විය. ඔවුහු නොබෝ කලකින් පෙම්වත්හු බවට පත් වුහ. ඔවුන් දෙදෙනාගේ නිවෙස්වලින්ද අමුතු බාධාවක් පැන නැඟුණේ නැත.

“ඒ දුව නම් ඒ තරම් හැඩවැඩ ඇති කෙනෙක් නෙවෙයි. අනික ඇඟපතත් බොහෝම කෙට්ටුයි. ඒත් ඉතිං සිංහල පුහුණු ගුරුවරියක්. වැඩ පොළටත් බොහෝම දස්සයි. ආයෙ ඉතිං මයෙ එකත් ඒ තරම් ලස්සන එකෙක් නෙවෙයිනෙ. අපේ කොල්ලා වගේ ලැජ්ජාකාරයෙකුට ඒ වගේ දුවල පැනල වැඩ කරන්න පුළුවන් ගෑනියෙක් ලැබෙන එකත් වාසනාවක්.”

සේනගේ මව මංගල්‍යයට කැමැත්ත පළ කළේ එසේ කියමිනි. ‘සමන්තිගේ’ පියාගේ අදහස්ද ඊට වඩා වෙනස් වූයේ නැත.

“ඒ ළමය බොහොම ලැජ්ජාකාරයා. ඒ වගේ කෙනෙක් මගෙ කෙල්ලට හොඳයි. මඟුල් කීයක්නම් කතා කළාද? අන්තිමට එයාම තමන්ට ගැලපෙන කෙනා හොයාගත්තා.”

ඔවුන් දෙදෙනාගේ ඇසුර වසර දෙකක් තරම් දිගු කාලයක් පැවතියේය. එහෙත් එය සමීප ඇසුරක් බවට කිසි දිනයක පත් නොවන්නට සමන්ති වග බලා ගත්තාය. කොහේ හෝ නිදහසේ කතා බහ කරන්නට, ඇවිදින්නට සේන යෝජනා කළොත් ඇයට කියන්නට කාරණා කප්පරක් තිබිණි.

“සේන හොඳට මතක තියාගන්න. මම ගුරුවරියක්. අපේ ඉස්කෝලෙ විනය භාරව කටයුතු කරන්නෙත් මම. ඉතිං පාරෙ තොටේ යන එක එක වුණත් හරිම පරිස්සමින් කරන්න ඕනෙ. හැම තැනම මගේ ගෝලයෝ.

ඇගේ මේ අදහස් ගැන ‘සේන’ තව දුරටත් පැහැදුණේ ය. එම නිසා ඔහු කිසි විටෙකත් ඇයට බලපෑම් කළේ නැත. අවසානයේ පොරොන්දම්ද බලන ලදී. ඒවාද බෙහෙවින් ගැලපෙන බව නැකැත්කරුවෝ කීහ. දෙදෙනාම වැඩි විච්චූරණවලට අකමැති වුවත්, මඟුල සාරෙට ගන්නට කතිකා කර ගත්හ. හෝටල්වල මඟුල් ගැනීම අනවශ්‍ය වියදමක් බව කල්පනා කළ ඔවුහු සිය නිවෙස්වලම උත්සව කටයුතු පැවැත්වීම මැනවි යැයි සිතූහ. බටහිර චාරිත්‍රානුකූලව සිදු කෙරෙන මධුසමයක්ද නුවුවමනා බව කල්පනා කළ මේ දෙපළ මනාලයාගේ නිවසේම නිදහසේ සිටින්නට ගිවිස ගත්හ.

මනාලියගේ නිවසේ මංගල බොජුන් මේසය ජයට පිළියෙළ කර තිබුණි. මධුවිතින් සංග්‍රහ නොකළද, බොන්නෝ කොහෙන් හෝ බීගෙන ආහාර අනුභව කළහ. එදනම රාත්‍රී කාලය මධු පානය සමඟ මනාලයාගේ යහළු මිත්‍රාදීන්ට මංගල බොජුන් සකස් වී තිබිණි.

‘සමන්ති’ ඔයාට මහන්සිත් ඇති. ගොඩක් රෑ වෙනකල් ඉන්නත් එපායැ. ඔය මඟුල් සාරිය ගලවලා හිටිය නම් නේද හොඳ?

‘සේන යෝජනා කළේ සිය මනාලිය පිළිබඳ ලෙහි උපන් අසීමිත ආදරයෙනි.

“අනේ ඕනි නෑ ‘සේන’ තාමත් අමුත්තො එනවනෙ. පස්සෙ රෑ වෙලාම ඇඟ හෝදාගෙන ගවුමක් දාගන්නම්.”

‘සේනගේ’ එකම නැගණිය මේ වන විට අගනුවර සරසවියක අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ඇගේ සමීපතම යෙහෙළියෝ කීප දෙනෙක්ද, ඇරයුම් ලැබ, මංගල්‍යයට සහභාගී වී උන්හ. ඔවුන්ගේ ද උදව්වෙන් ‘සේනගේ’ නැගණිය වු ‘නාමලී’ මනාල යුවළට වෙන් වූ කාමරය මැනවින් පිළියෙළ කළාය.

තරමක් විශාල ඇතුළු කාමරයක් වූ එහි පැ‍රැණි වියන් ඇඳක් තිබිණි. එහි කොට්ට, මෙට්ට, ඇතිරිලි අලුත්ම ඒවා විය. කොට්ට උර මසා සකස් කර තිබුණේ නාමලී ම ය. කුරුලු ජෝඩුවක් සහ මල් පොකුරු මසා තිබූ ඒවායේ Good Night, Sweet Dreams වැනි ඉංග්‍රීසි වාක්‍ය අලංකාර ලෙස නූලෙන් මසා තිබුණි. පිත්තල පෝච්චියක දැමූ වත්තෙන් කැඩූ රෝස මල් මුළු කාමරයම සුවඳවත් කළේය. ඇඳුම් අල්මාරිය අරින විට ‘සැවැන්දරා’ සුවඳ නික්මිණි.

ගොම්මන් යාමයත් පසු වී බොහෝ වේලා ඉක්ම ගොස් තිබිණි. මනාලිය ස්නානය පිණිස සූදානම් වූවාය. මංගල සාරිය උනාලූ ඇය ලා නිල්පාට රාත්‍රී ඇඳුමක්ද, එහි උඩු වැස්මද හැඳ ගත්තාය. විශාල තුවායක්ද පපු පෙදෙස වැසෙන සේ ලා ගත්තාය. ඇය ස්නානය පිණිස සැරසෙනු දුටු ‘සේන’ ටද ඈ හා යාමට ආශාවක් ඇති විය. ඔහු ඒ හැඟීමෙන්ම ඇයට කතා කළේය.

ඔයා නාන්න යන්නද? හැබැයි ඉතිං නාන්න වෙන්නෙ වත්ත පල්ලෙහා ලිඳෙන්. එතන ගස් ගොම්මන. මාත් එන්නම් ඔයාගෙ තනියට මනාලිය මඳක් බියපත් වූ හඬින් මනාලයාට මෙසේ කීවාය.

“අයියෝ සේන මං කළුවරට බය නෑ. ඕනම රෑක මට ගමන් යන්න පුළුවන්. ඔයා එන්න එපා.

අනික ලැජ්ජයිනෙ ළමයෝ ඔයාගෙ අම්මලා, නංගිලා විතරක් නෙවෙයි. නංගිගෙ යාළුවො කට්ටියකුත් ඉන්නවා. එයාලා විහිළු කරයි.”

කෙසේ වෙතත් ‘නාමලී’ ගෙන් ගැලවී යන්නට මනාලියට ඉඩ නොලැබිණි. ඈ සමඟ ඇගේ යෙහෙළියෝද පැමිණීමට කැමැත්ත පළ කළහ. එහෙත් මනාලිය දුන් ඍජු පිළිතුරෙන් ඔවුන්ට කර කියා ගැනීමට දෙයක් නැති විය.

“අයියෝ නංගිලා මං පස්සෙන් එන්න එපා. මට තනියම නා ගන්න පුළුවන්. ඔයාලට ගොඩක් ස්තූතියි උදව් කරන්න ආවට.”

ඇය ඉතා කඩිසරව ළිඳෙන් වතුර අදින හඬත්, කාරමින් කෙළ ගසන ශබ්දයත් ‘සේන’ අසා සිටියේ මවිතය කැටි වූ සතුටකිනි.

රාත්‍රියේ මධු බඳුන් උතුරා ගියේය. යහළුවෝ සිත් සේ සතුටු වූහ. නිවස අසල ඇට්ටේරියා ගස්වල පිපුණු මල්වලින් මායාකාරී සුගන්දයක් පැතිරිණි. මදක් දුර ඈත කිරලෙකු නැඟූ නාදයේ අසැබි වදනක හුරුවක් ඇතැයි ‘සේනට’ පළමු වරට කල්පනා විය.

රෑ දෙගොඩ හරිය වන තෙක් තිබූ සාදය මැද හරියේ දී මනාලිය හිස රිදෙන බව පවසා යහනට ගියාය. බේබදු මිතුරන්ගේ නොමනා විහිළුවලට මනාලිය ලක්වන බැවින්, ඇය එතැනින් පිටව යාම හොඳ යැයි සේන සිතුවේය. අවසානයේ ඔවුහු කා බී වෙරි වී නටා ගයා සුබ පතා නික්ම ගියහ.

‘සේන’ දහසක් ප්‍රාර්ථනා ඇතිව මනාලිය හිඳින මැනවින් පිළියෙළ කළ කාමරයට ගියේය. මනාලිය චාරිත්‍රානුකූලව ඔහුට දණ ගසා වැන්දාය. ඔවුන් රහස් හඬින් දොඬවන අයුරුත්, මද වේලාවකට පසුව පහන නිවී යන අයුරුත් දුටු ‘නාමලීගේත් යෙහෙළියන්ගේත් මුහුණුවල මද සිනා පහළ විය. සිය සොහොයුරා අද පටන් අලුත් ජීවිතයක් ගෙවන ආකාරයත් ඔහු හා තමන් අතර තිබූ දැඩි සහෝදර බැඳීම ගැනත් සිහි කරන විට නාමලීගේ දෑස් කඳුළින් පෙගී තිබිණි.

අඩ නින්දේ සිටි ‘නාමලී’ගේ ඇස ඇරැණේ කිසියම් ශබ්දයක් ඇසුණු නිසාවෙනි. යෙහෙළියෝ තද නින්දට වැටී සිටියහ. මනාල යුවළ සිටි කාමරයේ පහන යළි දැල්වී තිබෙනු ඈ දුටුවාය. ඒ සමඟම මදක් උස් ස්වරයෙන් ඔවුන් දෙදෙනා කතා කරන හඬ ඇගේ සවන වැකිණි.

නොබෝ වේලාවකින් මනාල යුවළ සිටි කාමරයේ දොර ඇරිණි. කවුදෝ සෙමෙන් සෙමෙන් එන පියවර හඬක් ‘නාමලී’ට ඇසිණි. ඉනික්බිතිව ඒ පියවර ඇගේ කාමරයේ දොරටුව අසල නතර විය.

“නංගීයේ... නාමලී’ නංගියේ..”

අමුතු ස්වරයෙන් ඒ ඇසෙන්නේ සිය එකම සොහොයුරාගේ හඬ බව ඇයට විශ්වාසය. ඇය කිසිවකුට කතා නොකර දොර හැරියාය. අඩ අඳුරේ දුටුවද ඇයට සොහොයුරාගේ පෙනුම දරාගත නොහැකි විය. ඔහු සිටියේ සරම පමණක් ඇදගෙනය. උඩුකය දහදියෙන් නෑවී තිබුණි. දෑස් නෙරපී තිබුණි. ඔහු අසිහියෙන් වාගේ මෙසේ කීවේය.

“නංගී ...ගෑනියෙක්...නෙවෙයි...ඒකි

ගෑනියෙක් නෙවෙයි.... මට බයයි බුදු නංගියෙ...”

ඒ වෙලාවේම කාමරයෙන් ඉකි බිඳුමක්ද ඒ හා මුසුවුණු වේදනාත්මක වාක්‍ය කීපයක්ද ඇයට ඇසිණි.

“මං කොයි තරම් පෙරුම් පුරලද කසාදයක් බැන්දෙ. ඔයා මට ආදරේ කළේ බොරුවටද සේන? අනේ මාව අත අරින්න එහෙම එපා. හැබැයි මාව අත් හැරල දැම්මොත් උඹට යහතින් ඉන්න මං ඉඩ තියන්නෙ නෑ.”

සිද්ධිය එතෙකින් නිමා වූයේ නැත. පසුදා පහන් වන විට ‘සේන’ගේ නිවසේ සියල්ලෝම මනාලිය ගැන සැබෑව දැන ගත්හ. එදා සවස් වනවිට ‘සේන’ට උණ ගැනිණි. ඔහු යථා තත්ත්වයට ආවේ යාතුකර්ම කිරීමෙන් අනතුරුවය.

‘සමන්ති’ සමඟ පවුල් කෑමට තමන් කිසිසේත් සූදානම් නැති බව ඔහු එක හෙළා කියා සිටියේය. ඇය දෑවැද්දට ගෙනා සියලු බඩු භාණ්ඩ, මිල මුදල් සමඟ තමන්ගේ නිවසින් පිටවීම ඔහුගේ කැමැත්ත විය. ඇය සතියකින් පමණ කෙටි දුක්ඛදායී කසාදයකින් සමුගත්තේ, ශාප කිරීම් හා කඳුළු ගංගා මතිනි.

‘සේන’ ආදරය කළේ ‘සමන්ති’ ශාරීරික වශයෙන් සම්පූර්ණ ගැහැනියක යැයි සිතාගෙනය. සාම්ප්‍රදායික කුටුම්භ සංරක්ෂණය ස්ත්‍රිය හා පිරිමියාද ඔවුන්ට ඉපදෙන දූ දරුවන්ද වටා ගෙතුණු දාමයක් වැන්න. අර්ධ නාරියක සමඟ සතුටින් දිවි ගෙවන්නට මිනිසකුට නොහැකි වේද? එයට පිළිතුරක් ‘සේන’ වැනි සාම්ප්‍රදායික ගැමි ගොවි පවුලක තරුණයකුගෙන් මේ ආත්මභවයේ නොව, තවත් ආත්ම ගණනාවකින්වත් බලාපොරොත්තු විය නොහැකිය.

මේ සිද්ධිය සිදු වූයේ, මීට වසර 25 ට පෙරාතුවය. වැදගත්ම කාරණය වන්නේ, ‘සේන’ මේ සිද්ධියෙන් පසු යළිත් ආවාහයක් ගැන නොසිතා තනිකඩවම විසීමයි. කුමක් හෝ හේතුවක් නිසා ඔහුගේ සොහොයුරිය වූ ‘නාමලී’ද තවමත් විවාහ වී නැත. ‘සමන්ති’ යළි විවාහයකට ඇතුළත් වීද, නොවීද යන්න ගැන තොරතුරක් නැත.

[email protected]


නව අදහස දක්වන්න

Or log in with...